ලංකාව 2015 - ( දෙවන කොටස )

Posted by දුමී

පළමු කොටස මෙතනින් කියවන්න.

ගොඩ බැසීම සඳහා තව ඇත්තේ මිනිත්තු කිහිපයකි. කවුළුව තුලින් ඉවත බැලූ විට දැන් දැන් දිස් වනුයේ පහල සුදුවන් වලාකුළු ස්ථරය යටින් රිදී පාටින් දිලිසෙන මුහුදු ජලයයි. දෙකන් අගුළු වට්ටමින්ද දෙකන් වලට සියුම් වේදනාවක්ද ගෙනෙමින්ද වරෙක ගැස්සෙමින්ද ගුවන් යානය ටිකෙන් ටික පහලට ඇදෙමින් තිබේ. කන් අගුළු වැටෙනා විට බලෙන්ම වාගේ ඈනුමක් යැව්වවු විට එය සමණය වී යන බව දුමී දැන ගත්තේ අත්දැකීමෙන්ය. යානය තුල සිටින කුඩා දරුවන් අඬන්නට පටන් ගැනීම මෙවන් ගොඩ බෑම්වලදී සිද්ද වෙන සුළභ දෙයකි. කන් අගුළු වැටීමෙන් ඇතිවන වේදනාව නිසා පොඩි එවුන් ආතක් බූතක් නැතිව කෑගසනු ඇසේ. එවුන්ගේ මව්වරු උන් නලවා ගැනීමට අසාර්ථක උත්සාහයක් ගනු දුමීට පෙනේ.

දැන් දැන් ඈතින් ලංකාවේ වෙරළ තීරය දිස් වෙනුයේ රන් හවඩියක වටේට දැමුනු රිදී පබළු වැලක් ලෙසිනි. කෙලින්ම පහල බැලූ කල දිස් වනුයේ පේලියට නමුත් පිලිවෙලට තැනින් තැන නවතා තිබෙන නැව් සමූහයකි. ගුවන් යානය ගමන් කරනා උසට අනුව ඉතාම කුඩා කඩදාසි බෝට්ටු සේ දිස් වුවද මෙම යාත්‍රා ඉතා විශාල ප්‍රමාණයේ ඒවා බව සිතිය හැක. ගුවන් මග වැටී ඇත්තේ හම්බන්තොට වරායේ පිවිසුම් දොරටුවට ඉහලින් බවට මොනවට පැහැදිලිවේ. මින් වසර කිහිපයකට පෙර ප්‍රථම වෙළඳ නැව් මෙහයුම ඇරඹූ හම්බන්තොට වරාය අද වනවිට ලෝකයේ ඇති ප්‍රධානතම වරායන්ගෙන් එකකි. ඈත පෙරදිග වෙත යාත්‍රා කරන්නාවූ සියළුම නාවික යාත්‍රා තමන්ගේ සැපයුම් සඳහාද, වෙලඳ යාත්‍රා ප්‍රථි නැව්ගත කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසද හම්බන්තොට වරාය යොදා ගන්නේය.

හම්බන්තොට වරාය හේතුවෙන් බුන්වත් භාවයට පත් වූ රටවල් කිහිපයක්ම වෙයි. සිංගප්පූරුව ඉන් ප්‍රධානය. මින් පෙර ඈත පෙරදිග නාවික ගමන් මාර්ගයේ අනිවාර්ය නැවතුම් පලක් වූ සිංගප්පූරු වරායට යන එන මං නැතිව ගියේ ලංකාවට දකුණු දෙසින් යාත්‍රා කරන සියළුම නාවික යාත්‍රා හම්බන්තොටට සේන්දු වී යෑම පුරුද්දක් කර ගත් බැවිනි. කුඩා භූමි ප්‍රමාණයකින්ද, නොගෙණිය හැකි තරම් ස්වාභාවික සම්පත් වලින්ද යුත් සිංගප්පූරුවේ සම්පූර්ණ ආර්ථිකයම ගොඩ නැගී තිබුනේ ඔවුනගේ වරාය වටාය. එයට හිමිව තිබූ ස්ථානය හම්බන්තොට අයත් කර ගත්තේ වසරකටත් අඩු කාල පරාසයකදීය. මේ කාලය වන විට සිංගපූරුව තම අය වැය හිඟය පියවා ගන්නේ ලංකාව විසින් මානුෂීය මට්ටමින් ලබා දෙන ආධාර උපයෝගී කර ගනිමින්ය. සිංගප්පූරුව නොහොත් 'සිංහපුරය' සිංහ දේශය වන ලංකාවට ඈඳා ගැනීමටද රට කරවන ලොක්කන් දත කට මැදගෙන බලා සිටින වග සිංගපූරුවේ අයිති වාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවායැයි කියවෙන ලංකාවේ ගොංබාහු වාදීන් කෑ කොස්සන් ගසන්නේ අද ඊයේ දිනක හිඳ නොවේ.

හම්බන්තොට වරාය නිසා යන එන මං නැති වූයේ සිංගප්පූරු වරායට පමණක්ද නොවේ. අපගේම කොළඹ වරායට අත් වූයේද ඒ ඉරණමමය. මේ දින වන විට කොළඹ වරායේ ඇත්තේ පුරා විද්‍යාත්මක වටිනාකමක් පමණි. කොළඹ වරායේ වර්තමානයේ ක්‍රියාකාරි එකම අංශය 'වරායේ කුස්සියයි' . ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය යැයි විරුදාවලිය ලත් එය මෙකල සිදු කරනුයේ කොළඹ නටඹුන් බලන්නට පැමිණෙන සැදැහැවතුණට කෑම බීම සැපයීමය. කොළඹ නටබුන් වී ඇත්තේ කෙසේද කියතොත්, කලක් 'බෙන්තර ගඟෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගෙනෙන්න එපා' යැයි කියවූ කොළඹුන් දැන් පතන්නේ හම්බන්තොට පැත්තේ පූස් පැටියෙක් හරි වෙලා ඉපදියන් කියාය.

හම්බන්තොට වරාය විවෘත කලේ යැයි කිවූ දින එය රූපවාහිනියෙන් නැරඹුවා දුමීගේ මතකයේ තිබේ. ඉතා උත්කර්ෂවත් යැයි කියා පැවැත්වූ එම උත්සවයේ ප්‍රධාන සංස්කෘතික අංගයක් යැයි කියුවේ, පැවැත්වූ 'මඩ බුරි’ නැටුමයි. ‘බුරි’ නැටුම් කලාව ලංකාවට දායාද කල පරපුරෙන්ම මඩ ගොඩක බුරි නැටුම නටවා ඉදිරිපත් කර එළි දැක්වුනු 'මඩ බුරි' නැටුම දැන් ලංකාවේ ජාතික නැටුම ලෙස පිළිගෙන ඇත. ලෝකයෙන්ද එයට මහා ඉල්ලුමක් ඇතිවී ඇතුවා පමණක් නොව ලංකාවේ විශ්වවිද්‍යාල වලද නැටුම් විශේෂවේදී උපාධිය විෂය නිර්දේශයටද එය ඇතුලත් කර ඇත. දැන් දැන් ලංකාවේ හැම මඩ වලකම, කුඹුරකම මේ ‘මඩ බුරි’ නැටුම් පාඨමාලා පැවැත්වෙනු ඒවා අසලින් ගමන් යන්නෙකුට නිරතුරුවම දැක ගැනීමට පුළුවන.

ලංකාවේ මෑත කාලයේදී සිදු වූ විශාලතම විප්ලවය සිදු කරන ලද්දේ මදුරුවන්ට එරෙහිවය. වසර පහ හයකට පමණ පෙර තනි පංගලමේ මග තොට යන්නෙකු පැහැරගෙන යන තරමටම බෝ වී සිටි මදුරු ගහණය නැත්තටම නැති වී ගියේ දේශීය වශයෙන් නිපදවන ලදැයි කියනා බැක්ටීරියාවක් නිසා යැයි දුමීට මතක තිබේ. ඒ දිනවල ලීටරයක් රුපියල් දෙදහස් ගණනක් වටිනා වූ එම බැක්ටීරියාව නිසාම පොහොසතුන් වූ විශාල ප්‍රමාණයක් අදත් යෙහෙමින් වැජබෙති. එපමණ වටිනාකමක් ඇති වෙනත් දියරයක් නොතිබුනු ඒ යුගයේ එම බැක්ටීරියාව නිපදවීම ගෘහ කර්මාන්තයක් ලෙසට ප්‍රචලිතව ගියේ බඩු මිල පහතට වැටෙනවාටත් වැඩි වේගයකිනි. කලින් හැළි අරක්කු පෙරමින් ජීවත් වූ ජනී ජනයාද වඩාත් ලාබ දායී වූ බැක්ටීරියාව පෙරීමේ කර්මාන්තය තෝරා ගත්තෙන් අතිරික්තක්ද ඇතිවී තිබුනි. නිපදවන ලද අතිරික්තය අදත් කියුබාව, ඇමරිකාව සහ අනිකුත් මදුරුවන්ගෙන් පීඩා විඳින රටවල් වලට අපනයනය කරණු ලැබෙයි. තෙල් අපනයනයෙන් ලැබෙන ආදායමටත් වඩා වැඩි ආදායමක් ලංකාව ලබා ගන්නේ මෙම බැක්ටීරියාව අපනයනයෙන්ය.

දුමී සිතිවිලි අතර සැරි සරත්දීම ගුවන් යානය ධාවන පථය මත ගැටෙනු දැනී නැවතත් කවුළුව අතරින් පිටතට නෙත් යොමු කලේය. දුඹුරු පැහැ දූවිලි පිරුණු අපායක සිට හරිතවන් ගහකොල සපිරි දිව්‍ය පුරයකට සපැමිණියා යැයි හඟීමක් දුමීට දැනුණි. මගී පර්යන්තට පිසිවි දුමී 'ශ්‍රී ලාංකික බලපත්‍ර දරන්නන්' යැයි සඳහන් ආගමන විගමන පේලියට සේන්දු වූයේ ඉන් එහා ඇති වෙනත් රටවල් සඳහා වූ පේලි දෙසට දෑස් යොමා ගෙනය. කලකට පෙර ලෝකයේ ඕනෑම තක්කඩි ගොබිලයෙකුට වීසා බලපත්‍ර නොමැතිව ගුවන් තොටින් ගොඩ බැස රට තුලට පිවිසීමේ අසීමිත නිදහස දැන් අතුරා ඇති සේය. ගව් ගානක් දිග වූ අනෙකුත් රටවල්වල ගමන් බලපත්‍ර දරන්නන් රැඳී උන් පේලියේ උන්ගේ මුහුනත් වල දිස්වනුයේ රට තුලට පිවිසීමට අවසර ලැබෙයිදෝ, නොලැබෙයිදෝ යන අවිනිශ්චිත හැඟීම යැයි දුමීට සිතේ. ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කරමින් වීසා ලබා ගොඩබැස ඇතැයි හෙලි වූ සමහරක් යුරෝපීයන්, බ්‍රිතාන්‍යයන්, ඇමරිකානුවන් නැවතත් තම රටවල් වලට පිටුවහල් කරනාතුරු පසෙක කාමරයක රඳවාගෙනය.

ඉතාමත් කාර්යක්ෂම ආගමන ක්‍රමවේදයකට පසු දුමී බඩු මළුද රැගෙන පර්යන්තයෙන් ඉවතට පිවිසියේ රැගෙන යාමට පැමිණි වාහනය බලාපොරොත්තුවෙනි. කොහේදෝ සිට පැමිණි මදුරුවෙක් දුමීගේ බාහුවේ වසන්නේ මේ අතරය. පුදුමයෙනුත් පුදුමයට පත් දුමී ජන්මෙට වඩා පුරුද්ද ලොකු බැවින් දකුණු අත විහිදා මදුරුවාට පහරක් ගසන්නේ ඌ ඇනෝපිලස්ද නැතිනම් ඊඩස්ද නැතිනම් මොහකටවත් නැති වල් මදුරුවෙක්දැයි නොදැනය. මදුරුවා මැරී බිම පතිත වෙත්ම එතනට දුවගෙන ආවේ පිරිසිදු කරන්නෙක්ය. දූවිලි එකතු කිරීමට හැකි බඳුනක්ද බුරුසුවක්ද රැගෙන දිව ආ ඔහු සැනෙකින් බිම වැටුනු මදුරුවා බුරුසුවෙන් ගෙන දූවිලි එකතුකරන බඳුනට දැමුවේ දුමී දෙස නොරිස්සුම් බැල්මක් හෙලමිනි. එකදු දූවිලි පොදක් වත් නොමැති ඉතාම පිළිවෙලට නඩත්තු කරන්වා වූ වට පිටාව දැකීමෙන් දුමී තුල ඇති වූයේ මහා වරදකාරී හැඟීමකි.

ඒ සමගම පැමිණියේ දුමී බලපොරොත්තුවෙන් සිටි රැගෙන යෑමට පැමිණි වාහනයයි. බඩු පොදිද සමගින් වාහනයට ගොඩ වූ දුමී ඉතාමත් විනීතව මාර්ග නීති රකිමින් ඇදෙන අනෙකුත් වාහන සමග එක්වී ඇදෙන වඩාත් නවීන වූ මාර්ගයට පිවිසියේය. ගුවන් තොටේ සිට මාර්ගයට පිවිසෙන දොරකඩ අසල දිස්වනුයේ ලංකාවේ පාලනය දරනා රාජකීය පවුලේ විශාල ඡායාරූපයකි. මීට ඉහත පාර්ලිමේන්තු ක්‍රමයකින් පාලනය කෙරුනු ශ්‍රී ලංකාව රාජාණ්ඩු ක්‍රමයකට මාරු උනේ පාර්ලි මේන්තුවේ ‘තුනෙන් තුනක’ ඡන්දයෙන් බව දුමීට මතක් විය. පසුගිය අවුරුදු කිහිපයක පටන් වඳ වී යෑමේ තර්ජනයට ලක්වී හුන් ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ විපක්ෂය නැත්තටම නැති වී ගියේ අන්තිමටම විපක්ෂයේ ඉතුරු උන විපක්ෂ නායකයාද ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමත් සමගය. ඉන් දින කීපයකට පසු පැවති පාර්ලිමේන්තු සංශෝධනයකින් පාර්ලිමේන්තුව අහෝසි කර රාජාණ්ඩුවකට අවැසි අණ පනත් සම්මත කර ගත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් තුනක ඡන්ද බලයද සමගය.

එසැනින් වාහනය දෙසට අත දිගු කරන ලද්දේ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙකි. පසෙකින් නවත්වනු ලැබූ වාහනයෙන්න් දුමී ඉවතට බැස පොලිස් නිලදාරීන් දෙසට පිය නැගීය. ඉතාමත් විනීත ලෙස අත් දෙක එකතු කර කට පුරා "ආයුබෝවන්" යැයි පැවසූ නිලධාරියා අත රැඳි කඩදාසියකට නෙතු යොමු කරමින්,

"මහත්මයාගේ නම දුමීද ?" යැයි අසනු ලැබීය. එය එසේ යැයි දුමී සනාථ කලේ ප්‍රශ්නාර්ථයක්ද මුහුනේ රඳවමිනි. "මහත්මයාට අපි සමග එන්න වෙනවා." පොලිස් නිලදාරියා ඉතාමත් කාරුණිකව පවසන ලදී.

"ඒ මොකද ? මොකක් හරි වැරදීමක් සිද්ද වෙලා වගේ" දුමී ප්‍රහේලිකාවකට මැදිවූ ලෙසක් හඟවමින් පැවසීය.

"ලංකාවේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ සංරක්ෂිත සත්වයෙක් විනාශ කිරීමේ වරදට සහ පරිසරය අපවිත්‍ර කිරීමේ වරදට අපිට ඔබව අත් අඩංගුවට ගැනීමට සිදුවෙනවා" පොලිස් නිලධාරියා කියාගෙන යයි.

"මොකක් ? මම එහෙම දෙයක් කලේ නැහැනෙ" දුමීට කියවිනි.

"මහත්තයා වඳ වී යෑමේ තර්ජනයට ලක්වී සිටින, ලංකාවෙ නීතියෙන් සංරක්ෂණය කරන ලද මදුරුවෙක් මරා පාරට දමනවා ඇස දුටු සාක්ෂි අපි ලඟ තියෙනවා . . . " පොලිස් නිලදාරියා පවසයි.

ඉතාමත් සූක්ෂම දෙයකටත් දැන් දැන් ලංකාවේ නීතිය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වීම ගැන සිතින් සතුටු වෙමින්, මදුරුවා මරා පාරට දැමූ වරදට හිරේ යෑමට දුමී පොලිස් රියට ගොඩ විය.

36 comments :

  1. පට්ටම පට්ටෝ......මරේ මරු......"මදුරු මාරයා අත්අඩංගුවට"....:P...

    ReplyDelete
  2. අනේ මචන් ඕක වෙන්නේ තව අවුරුදු පහකින් නේද . .. 2015දිනේ . .

    අනේ ඒ කාලේ වෙනකම් දුකා ජීවත් වෙයිද දන්නේ නෑ . ..

    හිටියොත් හිස් අලියා බෝතලේකට කිරි තේ එකක් දාගෙන ටී බනිස් එකක් පත්තර කොල කෑල්ලක ඔතාගෙන එන එක එනවමයි . . මදුරුවෙක් මරලා හිරේ ගිය දුමීව බලන්න . .. .

    හික් හික් හික් . . .

    මාරයි කියන්නේ මේ පෝස්ට් එකත් මාරම මාරයි මචෝ . . .

    ආපහු පාරක් කියන්න තියෙන්නේ මේ ලිපි දෙක ලොකු ලොකු තැන් වලින් දැක්කොත් මහින්ද අබේසුන්දරට ගෙදර යන්න වෙනවා . . උඹව බලන්න අපිට රූපවාහිනී කෝපරේෂන් එකට හරි අයි ටී එන් එකට හරි ලේක් හවුස් එකට හරි එන්න වෙනවා . . .

    ReplyDelete
  3. "ඒ මොකද ? මොකක් හරි වැරදීමක් සිද්ද වෙලා වගේ"

    මේ ටික කියවද්දි තව ටිකකින් ඉවර බව දැක්කෙමි. කියවාගෙන ආපු වේගෙට බොහෝ වෙහෙස දරා වේගය අඩාල කර ගත්තෙමි.

    පුංචි මදුරුවෙක් නිසා දූමීයාට මිහිපිට ඈති දෙව්ලොවේ විසිමේ භාග්‍ය කැන්සල් වීම ගැන අතිශය කණගාටුවට පත්වීමි. මේක මෙතැනින් නිමි වෙයිද, නැත්තම් මහරජතුමාගේ විනය පරික්ෂණයකින් පසුව නිර්දොෂීහාවය ඔප්පුකොට අතිවිශේෂ ගැසට් පත්තරෙකින් දුමී නිදහස් වී නැවතත් මේ පින් බීමේ වර්ණනා ගෙන ඒයිදැ යන්න දැන් අප මත පැටවී ඈති විශාලම ගැටලුවයි!

    ReplyDelete
  4. 'බෙන්තර ගඟෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගෙනෙන්න එපා' යැයි කියවූ කොළඹුන් දැන් පතන්නේ හම්බන්තොට පැත්තේ පූස් පැටියෙක් හරි වෙලා ඉපදියන් කියාය.


    අනේ අයියේ.. නැහැ නැහැ ඒ කාලේ වෙන කොට අයිය නාකි නේද .. බය වෙන්න එපා අයියට පොලීසියෙන් හොදට සලකාවි...

    ReplyDelete
  5. අයිය මේක හාස්‍ය පිරිල තිබ්බට අපි අපිටම හිනා වෙන කතාවක්... ඇත්තටම දුක හිතෙනව අපිට අපි ගැනම...

    ReplyDelete
  6. අප්පහ්....... දුමී අයියට වෙච්ච දෙයක්.... දැන් අයියට දඬුවම් කොරාවි එහෙනම්....... රාජාණ්ඩු ක්‍රමයකට ලංකාව මාරු උනානම් රාජකීය දඬුවම් ක්‍රම එහෙම අනිවා තියෙන්න ඕන. වධකාගාරෙ ලොක්ක හරි, අලුගෝසුව හරි කැලණිය පැත්තෙ පොරක්ද කියල හොයල බලන්න.

    ReplyDelete
  7. අඩේ අප්පා
    මෙහෙව් සිරි ලංකාවක්.
    මහින්ද් මාමා හැරමිටියකුත් අරන් රට කරනවාද දුමි සහොදරයා...
    අල්ලසක් වත් දීලා බේරෙන්න බලන්න.
    හැබැයි ඒ කාලෙ පොලිසිය අල්ලස කියන එක දන්නෙත් ඇතුව අති නේද?

    ReplyDelete
  8. එළම... එළ. ආයේ දෙකක් නෑ.

    ReplyDelete
  9. අපේ අතර් සී ක්ලාක් මහත්තයගේ නෑදැයෝ ද මේ දුමී?

    ReplyDelete
  10. පට්ට විත් මැක්සාම තමයි....
    අනේ ද කියන්නේ මේ අපි ගැනම නේද වහෙන් ඔරෝ කියලා තියෙන්නේ....ඇඩෙනවා......

    ReplyDelete
  11. හික් හික්! එළකිරි මචෝ...

    ඒත් මේක කියවලා අඩන්නද? හිනාවෙන්නද කියලා හිතාගන්න අමාරුයි!

    ReplyDelete
  12. හෆොයි.. මම හිතුව අර මදුරුව කද්දි නින්දෙන් ඇහැරෙයි කියල. කෝ ඒත් තාම මෙයා හීන දකිනවනේ. ඊලඟ කොටසෙදිවත් නින්දෙන් ඇහැරෙමු නේ... (විහිලුවට කිව්වෙ හොදේ) :)

    ReplyDelete
  13. ගින්දර. මම උන්නා හීනයක්වත් දෝ කියලා. ඔය අන්තිම ටික වෙනස් කරන්න තිබ්බෙ "මීට අව්රුදු පහකට පෙර අනාගතය දැකපු උත්තමයාට රජ සැලකිලි දෙන්න රජතුමා ලගට එක්ක ගියා"‌කියලා.

    ReplyDelete
  14. නියමයි සහෝ,ඈත්තටම ගඩොල් සහෝ කිවුවා වගේ මේක කියවලා අඩන්නද හිනාවෙන්නද මන්දා?

    ReplyDelete
  15. උපරිමයි දුමී අයියා...

    ReplyDelete
  16. මචං එලකිරි තමා....දැන්ම ඇහැරෙන්ඩ එපා ඕං...ඔය කාලෙ වෙනකොට හිරගෙවලුත් වෙනස් වෙලා තියෙන්නෙ නැතා...ඒ ගැනත් ලිව්වනම් නේද හොද? ලංකාවම වෙනස් වෙලා, යහපත් සමජයක් හැදිල, ආගම දහම අදහගෙන ඉන්න මිනිස්සු ඉන්නකොට හිරගෙදර දුමීට හරි පාලු හිතෙන්ඩ ඇති. අනේ මට දුකත් හිතෙනව මෙයා. සමහරවිට අර අ.කු.දි. වගේ පක්ෂ නායකයෙක් නම් හම්බවෙයි ඔයාට තනියට......එතකොට මට තව හරි ආසයි අපේ 3 වීල් මහත්තුරුයි, ප්‍රයිවට් බස් අයයි ගැනත් දැනගන්ඩ....තව ටිකක් නිදාගෙනම ඉන්ඩ හොදේ.....

    ReplyDelete
  17. නියමයි අයියා :D

    ReplyDelete
  18. අනේ මුගේ කටට කවුරුහර තව ස්ලීපිං ටැබ්ලට් දෙකතුනක් දාපං මේකා ඇහැරෙන්න කලිං. එක දිගටම ඔහෝම නිදා ගත්තාවේ...

    මචෝ-- උඹත් හොරාට හොරාට මෙගා ටෙලියක් වත් ලියනවද?

    ReplyDelete
  19. අනේ උබට පින් දුමියො මේ අවුල් උන ඔලුවට මේ වගේ දෙයක් දැම්මට කියවන්න. ඈ බොල රාජාන්ඩුව නම් පරිස්සමින්... මොන දඩුවම් දෙයිද දන්නවයේ... ආයෙ නින්දක දාල ඉතිරියත් දාමු කො... හපොයි බොල උබ ඉන්න ඕනි ඔතන නෙමෙයි... උබට හොඳ හැකියාවක් නොවැ තියෙන්නේ....

    ReplyDelete
  20. හානේ හම්බන්තොටට වතුර පිරෙන තුරු මේ වගේ හීනෙක හරි අතරමං වෙන්න ලැබුන එක කොච්චරක් හොඳඳ ඇත්තටම..
    ඔන්න මම අහගෙන ඊයේ විල මැදබංගලාවෙදි කියනවා පිරුණ වතුර ආපහු ගිහිල්ලලු..
    මුහුදේ වතුර අඩුවෙලා නේ ඒ කියන්නේ..??:P
    බලන්න සිදුවෙන වාසි මේ වරාය හදපු එකෙන් ..මාලදිවයින තව ටික කාලෙකට හරි බේරෙනවා.[ආ ආයම සැරයක් රටේ තියන ප්‍රශ්න ටික විසඳලා එන්න යන්න පුලුවන් වෙයි වගේ]
    ගෝලීය උශ්නත්වය කොයිතරම් වැඩිවෙලා ග්ලැසියර් ඔක්කෝම දිය උනත් ඒ වතුර ඔක්කෝම මේ යන විදියට හම්බන්තොටට පුරවයි මගෙ හිතේ :-)))

    ReplyDelete
  21. සිනාසෙමු අපි අප දෙස බලා....

    නියම කතාවක් දුමී අයියේ....

    එක හුස්මට කියවගෙන යද්දි නිරායාසයෙන්ම හිනා ගියත්...
    ආයේ නැවතිල නිවි හැනහිල්ලෙ හිතල බලත්දි..
    හිනාවෙන්ඩ ද අඬන්න ද කියල හිතාගන්න බැහැ...

    ReplyDelete
  22. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ.එහෙම ලබු තිත්ත වෙච්ච කාලේක දූමී මහතා නීතිය ඉදිරියේ දඬුවම් ලැබීය.
    දෙයියනේ කියලා තාම නම් ලබු තිත්ත වෙලා නෑ මයෙ හිතේ.
    මරු 3 වැනි කොටසක් බලාපොරොත්තු වෙන් සිටියාට කමක් නැද්ද?
    :D

    ReplyDelete
  23. "ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කරමින් වීසා ලබා ගොඩබැස ඇතැයි හෙලි වූ සමහරක් යුරෝපීයන්, බ්‍රිතාන්‍යයන්, ඇමරිකානුවන් නැවතත් තම රටවල් වලට පිටුවහල් කරනාතුරු පසෙක කාමරයක රඳවාගෙනය..."

    වෙනකල් ඉමි...!

    ReplyDelete
  24. අයියො ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඒකනේ. මෙච්චර හොඳ රටකට ඇවිල්ලත් දූමී අයියට මදුරුවා නොමර ඉන්න බැරි උනානේ. දැන් හිටපන්කෝ කූඩුවේ.

    ReplyDelete
  25. පොස්ට් එක නම් පට්ටම පට්ට. හිර ගෙදර තොරතුරු සහ ඉතිරි තොරතුරු දැනගැනීමේ නොඉවසිල්ලෙන් සිටිමි.

    ReplyDelete
  26. මචං උඹේ අනිත් කතා වලට වගේ මේ කතාවට හිනාවෙන්න නම් හිතෙන්නෙ නෑ. මේ හීනය උඹේ විතරක් නෙවේ. අරාබි මරු කතරේ සැපසේ දුක් විඳින අපි හැමෝගෙම හීනය මේකයි, හැමෝගෙම ප්‍රාර්ථනය මේකයි.

    මේ කතාව තව දුරට කියවන්න නම් ආසයි......

    ReplyDelete
  27. හප්පේ මම සෑහෙන කාලෙකින් ජාල ගත වෙන කොට පෝස්ට් බර තොගයක් තිබ්බා නෙව මේ බ්ලොග් එකේ කියවන්න.
    ඔන්න සේරම කියෙව්වා. මේකට පමණක් කමෙන්ටුවක් දැම්මා.
    3 වෙනි කොටසක් තියේද???
    :D

    ReplyDelete
  28. අප්පට බොල යකඩෝ මට මේක මිස් උනේ කොහොමෙයි.. කමක් නෑ දැන් හරි දැක්කා නේ..ආයෙ ඉතිං කියලා වැඩක් නෑ. සිනා සාගරේ තමා. ඒත් මෙහෙව් රටකට උරුමකම් කියන්න තරම් අපි වාසනාවන්ත නෑ නේද කියලා හිතද්දි ඇඬෙනවා..ඔව් අම්මපා.. ඉක්මනට අනිත් කොටසත් දාන්ඩෝ.. (හූ කවුද දන්නෑ දැන් මෙගා ලියන්නේ)

    ReplyDelete
  29. මේක නම් මාරම මාරයි දුමී අයිය .... අර උනන්දුවා කිව්ව වගේ මටත් හරි ආසයි 3වීල් අයයලා ගැනයි බස්කාරයො ගැනයි දැනගන්න ....
    මිනිස්සු කොහොමත් සොදුරු සිහින තුල ජීවත් වෙන්න කැමති හින්දා වෙන්න ඇති මටත් හිතෙන්නෙ 3වෙනි කොටසකුත් තිබුනන් හොදයි නේද කියල ..... මම කමෙන්ට් එක දාන කාලෙ (2010)පිස්සන්කොටු වගේ තිබුනු ලංකාවෙ උසාවි ගැන හිරගෙදර ගැන එහෙම ඊලග කොටසින් දාන්ට

    ReplyDelete
  30. ලොලේ ලොල්

    ReplyDelete
  31. ඒ කතාවට උඹේ කටේ අත දාන්න වටිනවා.
    මාතර රාල

    ReplyDelete
  32. Dumi ge oluwata kauru hari gahuwada?

    ReplyDelete

Related Posts with Thumbnails