කාලාර්ථයේ තීර්ථ යාත්‍රික දුමියා

Posted by දුමී

දුමීට ඉස්සෙල්ලාම විද්‍යා ප්‍රබන්ධයක් කියවන්න ලැබුනේ අර විදුසර පත්තරේ පටන් ගත්තු දවසෙ ඉඳලා ඒක ගන්න පුරුදුවෙච්ච නිසා. එකේ සතියකට සැරයක් හරිම අපූරු විද්‍යා ප්‍රභන්ධයක් පල උනා. ආතර් සී ක්ලාක් රචනා කරපුවා වගේම ආධුනික රචකයන්ගේ කතාත් පල උනා.

දුමීගේ හිතට මේ ටයිම් ට්‍රැවලින් ගැන උනන්දුවක් ඇති කලේ ඔය විදුසරේ ගිය කතා දෙක තුනක් නිසයි. ඔය කතා කියවපු දවස්වල ඉඳන්ම ටයිම් ට්‍රැවලින් මැෂින් එකක් හදන්න ඕනෙයි කියලා දුමීගේ හිතට තදින්ම කාවැදිලයි තිබුනේ. ඒ නිසා දුමී ඒ දවස්වල ඉඳලම පරණ බල්බ් (විශේෂයෙන්ම ටියුබ් ලයිට් ) , පරණ බැටරි කෑලි, යකඩ ඇණ, බෝල්ට් ඇණ වගේ දේවල් එකතු කලේ මේ ටයිම් මැෂින් එක හදාගන්න. ඒ වගේම පකිස් පෙට්ටි දෙක තුනකුත් හොයාගත්තෙ මේ ටයිම් මැෂින් එකේ බොඩි එක හදාගන්න.

ඔය කාලෙ තමයි ඔය බ්ලේක් සෙවන්, බැට්ල්ස්ටාර් ගැලැක්ටිකා, ස්ටාර් ට්‍රෙක් වගේ අභ්‍යවකාශ කතා සෙට් එකක් ටී.වී එකේ ගියේ. ඔය හැම යානෙකම එක එක බල්බ් පත්තුවෙන නිවෙන ලොකු ලොකු මැෂින් තියෙනවා දැකලා හොයලා බැලුවම කවුදෝ කිව්වා ඕවා හදලා තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් වලින් තමයි කියලා. ඔන්න ඉතින් දුමීටත් ඕනෙ උනේ ඉස්සෙල්ලාම මේ ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් ගැන ටිකක් ඉගෙන ගන්න ඕනෙ කියලයි.මොකද ටයිම් මැෂින් එක හදන වැඩේට ඒවා අනිවාර්යයෙන්ම ඕනෙ වෙන නිසා. ඔය අදහස දුමීලගේ තාත්තට දාන පරක්කුවෙන්ම දුමීව ගොහිල්ලා බැන්දෙව්වා බත්තරමුල්ලේ තියෙන "කැපිටල් රේඩියෝ ටෙලිවිෂන් ස්කූල්" එකට. ඔන්න ඉතින් දුමිත් මාස 8ක් විතර තිස්සෙ ඔකෙන් රේඩියෝ, ඇම්ලිෆයර් වගේ නානා ප්‍රකාර ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් හදන්න ඉගෙන ගත්තා. කොහොමෙන් කොහොම හරි ගෙදර ඇවිල්ලා දුමිත් දන්න දන්න සෙල්ලම් දාලා රේඩියෝ හදන්න පටන් ගත්තා...! මොන කරුමයක්ද දන්නෙ නෑ හදන හදන රේඩියෝ වලින් අහු උනේම දෙමළ චැනල් විතරයි. ඔන්න ඉතින් මේ ඉලෙක්ට්‍රොනික් දැනුමෙන් ටයිම් මැෂිමක් හදන්න ගියොත් තමිල්නාඩුවෙන් එහාට යන්න වෙන එකක් නෑ කියලා දුමීට හිතිලයි තිබුනේ. ඔන්න එහෙම්මම ඒ මැෂිම හදන වැඩේ අත ඇරලම දැම්මා...

ඊට පස්සෙ ටික කාලෙකට පස්සෙ තමයි අපේ ජයන්ත චන්ද්‍රසිරි ගොයියගේ "දඬුබස්නාමානයයි" ඊට පස්සෙ "කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා" කියන ටෙලි ටික ටී.වී එකේ ගියේ. ඔන්න දැන් දුමීට හරි සතුටුයි. මොකද දැන් ටයිම් මැෂින් එකක් හදන්න ඕනෙ වෙන්නෙ නෑනේ. යෝග පාරක් දාලා කුණ්ඩලීණී යෝගය ලබා ගත්තා නම් ගොඩ. අතීතයටද අනාගතයටද ඕනෙම එකකට සුටුස් ගාලා ගිහිල්ලා එතැහැකි.
ඊටත් පස්සෙ දවසක තමයි දුමීට මෙන්න මේ පින්තූරේ තියෙන පුස්කොල පොත පරණ පොත් ගොඩක තිබිලා හම්බ උනේ. පුරාණ සෘෂිවරයෙක් ලියලා තියෙන පුස්කොල පොතේ නම "කුණ්ඩලීණි ෆොර් ඩමීස් (දුමීස්ද මන්දා )". ඔන්න ඉතින් පුස්කොල පොතේ කියලා තියෙන හැටියට උදේ කෑමට පෙරයි, රෑ කෑමෙන් පස්සෙයි පැය ගානෙ දවසට පැය දෙකක් යෝගේ වැඩුවොත් අවුරුදු 5කින් කුණ්ඩලීණි ලැබෙනවා ෂුවර් කියලා තමයි පොතේ නම් තිබුනේ. ඒත් ඉතින් දවසට පැය දෙකක් ඕකට යොදවන්නෙ කොහොමද කියලා කල්පනා කරපු දුමී අඩු ගානෙ විනාඩි 15ක් හරි යොදවනවා කියලා තමයි වැඩේට බැස්සෙ.

දුමී වැඩේට බැහැලා අවුරුදු 15ක් විතර ගියාට පස්සෙ ඊයෙ පෙරේද දවසක දුමී රෑ කෑමෙන් පස්සෙ කුණ්ඩලීනි යෝගේ වඩමින් තමයි හිටියේ. එක පාරටම "බරස් බරස්" කියලා සද්දයක් ඇහිච්චි නිසා දුමී ඇස් දෙක ඇරලා බැලුවා. ඒත් මුකුත් නැති නිසා ආපහු ඇස් දෙක පියාගෙන යෝගේ වඩන්න පටන් ගත්තා. ආයෙමත් අර "බරස් බරස්" සද්දෙ සැරටම ඇහිච්ච නිසා දුමී ආයෙත් ඇස් දෙක ඇරලා බැලුවා. එතකොට තමයි දුමී දැක්කෙ දුමීගෙ ඉස්සරහා දිලිසි දිලිසි ඔටුන්නකුත් දාගෙන බුවෙක් එරමිණියා ගොතාගෙන ඉන්න හැටි. "ඔබ තුමා කවුද....?" දුමීගේ කඩ හඬත් වෙව්ලනවා....

“දුමී, මම තමයි කුණ්ඩලීනි දෙයියෝ....ඔන්න ඔය සරම ගලවලා දාලා මෙන්න මේක ඇඳගන්නවා දැන්...” එහෙම කියපු කුණ්ඩලීනි දෙයියෝ කහපාටින් මහපු බාච්චුවක් වගේ දිග කලිසමකුයි අත් දිග කමිසෙක්යි දුමී දිහාට විසිකලා.

"ඒ මොකද ඒ...?" අඤ්ඤකොරොස් වෙලා දුමියත් ඇහුවා.

“දැන් තමුන් කුණ්ඩලීනි යෝගෙ ලබලා ඉන්නෙ. ඇහුනේ නැද්ද අර බරස් බරස් සද්දේ...? යෝග ලැබුවහම අඳින ඇඳුම වෙනස් කරන්න ඕනෙ...! හා හා ගලවනවා සරම...!” දෙයියොත් දුමීගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා....

“ඔබ තුමා පොඩ්ඩක් අහක බලා ගන්නවද මට සරම ගලවන්න ?” දෙයියෝ උනත් පොරගේ බැල්ම එච්චර ඇල්ලුවෙ නැති නිසා දුමියත් කියලා දැම්මා.

දෙයියෝ අහක බලනකම් ඉඳලා දුමී සුටුස් ගාල සරම ගලවලා අර කහ පාට බාච්චු කලිසමට බැහැලා අර කහ පාට ෂර්ට් එකත් ඇඳ ගත්තා.

“දැන් දුමී ඔහේගෙ නම අද ඉඳන් වෙනස් කරන්න ඕනෙ. ‘බමන්ත සද්ද’ කියලා.” ඔන්න ආයෙත් දෙයියෝ කියන්න පටන් ගත්තා....

“අර මක්කෙයි අර... මේ යසට තියෙන දුමීගෙ නම වෙනස් කරන්නෙ..? ” මල පැනපු දුමියත් කියලා දැම්මා...

"තමුසෙට කුණ්ඩලීනි ඕනෙද එපාද... ඕනෙ නැත්නම් කියනවා මම වෙන කාට හරි දෙන්නම්....දැන ගන්නවා මේ වගේ යෝග ලැබුනම නම වෙනස් කරන්න ඕනෙ... ඇඳුම වෙනස් කරන්නත් ඕනෙ" දෙයියන්ට මල පැනලද කොහෙද.

"හා හා හරි හරි, ඕක ඉතින් ඔබ තුමා කලින් කිව්වනම් ඉවරයිනේ" අමාරුවෙන් අතට ගත්ත දේ කටේ දාගන්නවත් කලින් මිස් උනොත් කියලා දුමිත් කැමති උනා.

ඔන්න ඉතින් 'බමන්ත සද්ද' කියලා නම වෙනස් කරගත්ත දුමියත් ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කට බලියගෙන දැන් බලාගෙන ඉන්නවා.

"බමන්ත සද්ද, දැන් අහගන්නවා මේ කුණ්ඩලීනි නීති ටික...." දෙයියොත් මහ නපුරු පෙනුමක් ආරුඨ කරගෙනම කියනවා.

"තමුන්ගේ කුණ්ඩලීනි ලයිසන් එක තාම අළුත්. ඒ නිසා වැඩි ඈත යන්න දෙන්න බෑ. අනාගතයට අවුරුදු 100යි අතීතයට අවුරුදු 100යි තමයි පටන් ගන්නකොට දෙන්නෙ. තමුන්ගේ පර්ෆෝමන්ස් බලලා තමයි ඒක වැඩි කරන්නෙ."

“අතීතයට ගිහිල්ලා, අනාගතේදි අදින ස්වීප් ටිකට් ගන්න තහනම්....එහෙම දැනගන්න ලැබුනොත් ඒ වෙලාවෙම කුණ්ඩලීනි ලයිසන් කැන්සල්.”

“අතීතයට ගිහිල්ලා තමුන්ගේ තරහ කාරයන්ට ගේම් දෙන්න තහනම්...”

“මේ ලඟදි එක්කෙනෙක්ගේ ලයිසන් එක කැන්සල් කරා මොකද පොර අනාගතයට ගිහිල්ලා ඒ.ලෙවල්. ඕ.ලෙවල් ප්‍රශ්න පත්තර බලලා අතීතයට ගිහින් ටියුෂන් කඩයක් දාගෙන ඉඳලා. ඒවගේ ඒව කරලා අහු උනොත් දැඩි දඬුවම්..... තේරුනාද ?”

"එතකොට මොනවද මේකෙන් කරන්න පුළුවන්....?" මේ නීති ටික ඇහුවහම මේ රෙද්දෙන් වැඩක් නෑනේ කියල දුමීට, නෑ බමන්ත සද්දට හිතිච්ච නිසා අහලා දැම්මා.

"හොහ් හොහ් හොහ්... ඒක ගිහිල්ලම බලපන් බමන්ත සද්ද ඒක ගොහිල්ලම බලපන්...." දෙයියොත් නක්කල් හිනාවක් දැම්මා....

"හරි මම දැන් කොහාටද ඉස්සෙල්ලම යන්නෙ.....?" බමන්ත සද්ද අහනවා.

"ඔහේ තාම එල් බෝඩ් නිසා හැමතැනම යන්න දෙන්න බෑ. තමන් ඉපදිච්ච රටේ අතීතයට හරි අනාගතයට හරි යන්න පුළුවන්...." දෙයියොත් හරියට අතින් පයින් යනවා වගේ කියනව.

හ්ම්ම්..අතීතයට..? වැඩක් නෑ. බමන්ත සද්දට ඉතිහාසය සහ සමාජ අධ්‍යනයට විශිෂ්ඨ සම්මනයක් තියෙන නිසා අතීතයට ගිහින් වැඩක් නෑ. "හරි මට යන්න ඕනෙ ලංකාවෙ ආශ්චර්යය බලන්න අනාගතේට....." බමන්ත සද්දට කියවුනා....!

කට කොණට නක්කල් හිනාවක් දාගත්ත කුණ්ඩලීනි දෙයියෝ..

"හා හොඳයි එහෙනම්....ගොහිල්ලා එමුකෝ බලන්න......" කියන ගමන් සුටුස් ගාලා අන්තරස්දාන උනා.....









ප.ලි: බමන්ත සද්ද කුණ්ඩලීනි පාවිච්චි කරලා ආශ්චර්යය බලන්න අනාගතේට ගිය හැටි ඊලඟ කොටසෙන් බලාපොරොත්තු වෙන්න....!


picture taken from : http://paranormalspy.com/news/is-that-the-time-it-will-be.html

දුමී බබා කාලේ - එන්ටද ඩ්‍රැගන් ?

Posted by දුමී

දුමීලගේ ගෙදරට ඉස්සෙල්ලාම ටී.වී එකක් ගෙනාවෙ 1979 දිහාවෙ. දුමීලගේ තාත්තා රට ගිහිල්ලා එනකොට ටී.වී එකක් විතරක් නෙමෙයි තඩි වීඩියෝ ප්ලේයර් එකකුත් ගෙනාවා. ටී.වී එකේ ජාතිය Sanyo. හරියටම ඔය පින්තූරෙ තියෙන ජාතියේ ටී.වී එකක්. තඩි නොබ් දෙකක් එක්ක ඔන් ඕෆ් කරන්න ඉස්සරහට අදින්නයි පස්සට දාන්නයි පරණ කාර් එකක් ගියර් එක වගේ බටන් එකක් තිබුනා මතකයි.
චැනල් මාරු කරනකොට ටොක ටොක ටොක කියලා නොබ් එක එහාටයි මෙහාටයි කරකවන්න ඕනෙ. කොහොමත් ටී.වී එක ගෙනැල්ලා වැඩි කාලයක් යනකන් ඒ චැනල් මාරු කරන එක එච්චර ප්‍රොයෝජනවත් උනේ නෑ මොකද ඒ කාලේ තිබුනේ අයි.ටී.එන් එක විතරයි. වීඩියෝ රෙකෝඩර් එකේ ජාතිය Mitsubishi. හරියටම මේ පින්තූරෙ තියෙන්නෙ ඒක. බර කිලෝ 20කට එහා පැත්තෙ. තනිකරම පරණ මිට්සුබිෂී මෝටර් සයිකලයක් විතර සයිස් යකඩගොඩක්.
මම හිතන්නෙ ඒ දවස්වල මුළු කළුබෝවිලටම ගෙනාපු පලවෙනි ටී.වී එක තමයි දුමීලගේ ටී වී එක. කලින් කිව්වත් වගේ ඒ කාලේ ලංකාවටම තිබුනේ අයි.ටී එන් චැනල් එක විතරමයි. ඒකත් තාත්තා එනකොට ගෙනාපු ඇන්ටනා එකට හරියට අහු උනේ නෑ. පස්සෙ ගෙදර පිටිපස්සෙ තිබුනු කොස් ගහ මුදුනෙනුත් හැතැප්මක් විතර උඩට යකට බටයක් හයි කරාට පස්සෙ තමයි ඔන්න යාන්තන් ඒ චැනල් එක හරි පෙනුනේ. ඒ පෙනුනත් හරියට පැහැදිලිව පෙනුනේ නෑ. තිත් ගොඩවල් එක්ක තමයි පින්තූර පෙනුනේ. අනිත් එක දුමීට මතක විදිහට හවස 6ට තමයි චැනල් එක පටන් ගන්නෙ. ඊට පස්සෙ රෑ 10ට ඉවරයි. මතක විදිහට නම් ඒ දවස්වල පටන් ගත්ත ගමන්ම යන්නෙ සැසම්-ස්ට්‍රීට්, ඊට පස්සෙ මපට් ෂෝ. තව කතා කරන අස්සයෙක්ගෙ ප්‍රෝග්‍රෑම් එකක් ගියා මිස්ටර් එඩ් කියලා. බදාදා දවස්වල ගියා හරිම බය හිතෙන සීරීස් එකක් ඩොකටර් හූ කියලා. ඩොක්ටර් හූ එක පටන් ගන්නකොට යන මියුසික් එකේ ඉඳලම දුමී ඒකට මර බයයි. හැම බදාදාම ඉක්මනටම තියෙන දෙයක් කාලා දුමී ඇඳට පනිනවා අර මියුසික් එක ඇහෙන්න කලින් නිදාගන්න.

ටී.වී එක දාන වෙලාවට මුළු කළුබෝවිල පීරිස් මාවතේම ඉන්න කොල්ලො කුරුට්ටො ඔක්කොම ටික එනවා ටී.වී බලන්න දුමීලගේ ගෙදර. ජනෙල් අස්සෙන්, ජනෙල් කූරු වල එල්ලිලා උන් ටී.වී බලනවා. සමහර දවස්වලට අම්මගෙන් දෝස් මුරේ ලැබෙනවා ඒ ගොල්ලන්ට මොකද අම්මා අමාරුවෙන් වවාගත්ත බිගෝනියා, ඇන්තූරියම්, ඕකිඩ් වගේ වල් පැල ටික අරුන් ඇවිත් පාගලා, මල් පෝච්චි කඩලා විනාස කරලා යන නිසා. හැබැයි දුමී නම් හරිම කැමතියි ඒ කොල්ලෝ කුරුට්ටෝ ටික එනවට. මොකද දුමීලත් එක්ක සෙල්ලම්කරන්න එහෙම හිටපු ගැන්සිය තමයි ඒ. ඒත් එක්කම ඔය වල් පැලයක් දෙකක් පෑගිලා මැරිලා යන එකටත් දුමී ඒ හැටි අමනාපයක් දැක්කුවෙ නැත්තෙ හවසට අම්මගේ වදේට පැලවලට වතුර දාන්න වෙනකොට, වතුර දාන්න වෙන එක පැලයක් හරි අඩු වෙන නිසා.

ඒ දවස්වල මාසෙකට සැරයක් සෙනසුරාදා රෑට සිංහල ෆිල්ම් එකක් යනවා. ඒ දවසට මුළු ගමේම ගෑණු ටික දුමීලගේ ගෙදර පිරිලා. ඉතින් දුමීලගේ ගෙදරත් පැදුරු එලලා දීලා, කට්ටියට මාරි බිස්කට් එකක්, තේ කහට ටිකක් එහෙම හදලා දීලා සංග්‍රහ කරනවා ෆිල්ම් එක යන වෙලාවට. ඒ වගේ දවස්වලට පහුවෙනිදා උදේ පාන්දරම ගෙදර වැඩට ඉන්න දයාගේ මැසිවිල්ල තමයි ඇහෙන්නෙ. "මේකනම් කරන්න බෑ නෝනා... මුන් ඇවිත් බයිස්කෝප් විතරක් බලලා යනවනං මදෑ......... මේ බලන්න මේ පැදුරෙ චූත් කරලා...!" පැදුරු ටික අව්වේ දාලා පොල් කුඩු දාලා බිම මදින ගමන් දයා එහෙම කියපු සෑහෙන්න වාර ගානක් දුමීට මතකයි. එහෙම උනා කියලා තව කාලාන්තරයක් යනකං ටී.වී එකේ සිංහල ෆිල්ම් එකක් පෙන්නන දවස් වලට දුමීලගේ ගෙදර ප්‍රජා ශාලාවක් වෙන එක නැවතුනේ නෑ.

දයා කියන්නෙ දුමීට මතක ඇති කාලෙ ඉඳන්ම දුමීලගේ ගෙදර වැඩ පල වලට උදව් දීගෙන ගෙදරම නතරවෙලා හිටපු ගෑණු මනුස්සයෙක්. දයත් එක්ක දයාගේ දුව බට්ටිත් දුමීලගේ ගෙදර නැවතිලා තමයි හිටියේ. බට්ටිට තාත්තා කෙනෙක් හිටපු බවක් නම් දුමී කවදාවත් දැකලාවත් අහලවත් තිබුනේ නෑ. දයා ඇවිල්ලා ක,ක,ක ජාතියේ එක්කෙනෙක්. ඒ කියන්නෙ කළු, කොට, කැත සහ බත දිහා බැලුවම හොද්ද පේන තරම් වපරයක් තිබුනු පොඩි එවුන් දැකපු ගමන් බය වෙන ජාතියේ එක්කෙනෙක්. ගති ගුණත් ඒ පෙනුමට හරියන විදිහට තමයි තිබුනේ. අම්මා, ආත්තම්මා වගේ අය වට පිට ඉන්නකොට හරිම බය පක්ශපාතව හැසුරුනත් ඒ ගොල්ලො අහල පහල නැති වෙලාවට නිතරම කේන්තිගන්න ඒ වගේම දුමීලව, නංගිලව සහ නැන්දගේ පුතාලව කොනිත්තන එක දයා කවදාවත් නැවැත්තුවෙ නෑ. ඉතින් දුමීලත් පුළු පුළුවන් වෙලාවට දයාටත් රිටර්න් එක දෙන්න අමතක කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට සම්බෝල කඩන, ටින් කඩන සෙල්ලම් එහෙම කරන වෙලාවට දයා ලඟ පාතක හිටියොත් බෝල පාරවල් දෙක තුනක් නොකා දයා ගියේ කලාතුරකින් තමයි. දයාට දුමීලත් එක්ක සෙල්ලම් කරන්න නිතර යන එන අහල පහල කොල්ලො කුරුන්ටන්ව පෙන්නන්න බැරි වෙන්නත් ඒක එක හේතුවක් උනා.

ඔය කාලේ දුමීලගේ ගෙදර අයගේ ජීවිත වලට අළුතෙන්ම ඇතුළු වෙච්චි විනෝදාංශෙ තමයි මේ වීඩියෝ ෆිල්ම්ස් ( ප්‍රායෝගික භාෂාවෙන් කියනවන් වීඩියෝ පීස් ) බලන පුරුද්ද. ගොඩක් වෙලාවට රට ගිහිල්ල නිවාඩුවට ගෙදර එන තාත්තාගේ යාළුවන්ගේ අතේ තාත්තා නා නා ප්‍රකාර වීඩියෝ කැසට් එවන්න පුරුදු වෙලා හිටියා. ඔය කාලේ දුමීගේ වීරයෝ වෙලා හිටියේ 25කට 30කට තනියෙම ගහලා බිම දාන බෲස් ලී, ඒ වගේ අහසට පැනලා, කැරකිලා, සෙල්ලම් දාලා හතුරන්ව බිමට සමතලා කරලා දාන අමිතාබච්චන්, තොප්පියක් දාගෙන අස්සයගේ පිටේ ගිහිල්ලා රතු ඉඳියන් කාරයන්ව පෙනේර කරන කව්බෝයිලා වගේ අය. ඔය අතරින් බෲස්ලි උන්මාදය කොච්චර දරුණුද කියනවනම් දුමීගේ ඉස්කෝලේ යාළුවන් අතර තරඟ පවා තිබුනා බෲස්ලීගේ ස්ටිකර් වැඩිම ගාණක් පොත් බෑග් එකේ අලවන්න. ඒ තරඟ වලින් හැමදාම දින්නෙ දමින්ද කියලා දුමීගේ යාළුවෙක්. දමින්ද ඉස්කෝලෙ අරගෙන ආපු පොඩි සූට් කේස් එකේ ඇතුළු පැත්තෙ විතරක් නෙමෙයි, පිටත පවා බෲස්ලිගේ ස්ටිකර් තොග ගාණේ අලවලා තිබුනා. ඒ කාලේ දුමිත් සිහින මැව්වේ දමින්ද වගේ බෲස්ලිගේ ස්ටිකර් මහ ගොඩක් අලවපු සූට් කේස් එකක හිමි කාරයෙක් වෙන්න.

දුමීලගේ ගෙදර වීඩියෝ එකක් තියෙනවා කියලා මුළු කළුබෝවිලම දැනගෙන තමයි තිබුනේ. ඒ කාලේ හිටපු ගමන් ජීවිතේට නොදැකපු සමහර අය එනවා වීඩියෝ කැසට් උස්සගෙන ඒවා බලන්න කියලා. මුලදි කීප දෙනෙකුට එහෙම බලන්න අවස්ථාව දුන්නත් මේක කරදරයක් වෙන තරමට වැඩි වෙච්ච නිසා දුමීලගේ කොච්චර අකමැත්ත පිට උනත් පහු වෙනකොට ඒ කැසට් අරන් එන අයට අහන්න ලැබුනේ "අනේ, අපේ වීඩියෝ එක දැන් ටික දවසක ඉඳන් කැඩිලනේ..." කියන වචන සෙට් එක. ගොඩක් වෙලාවට වත්තට ඇතුළුවෙන තැන ඉඳන්ම මේ වාක්‍යය සෙට් එක කියන්න දයා පුරුදු පුහුණු වෙලා හිටියේ. නාඳුනන අයට විතරක් නෙමෙයි, දුමිත් එක්ක සෙල්ලම් කරන්න එන කොල්ලෙක් විඩියෝ කැසට් එකක් අරගෙන ආවත් දයා මේ වාක්‍යය සෙට් එක කියලා හරවලා යවපු අවස්ථා දුමීට යාළුවන්ගෙන් දැන ගන්න ලැබුනා. හැබැයි බෲස්ලිගේ ෆිල්ම් බලන්න දයාටත් තිබුනේ පුදුම පෙරේත කමක්. බෲස්ලිගේ ෆිල්ම් එකක් අරගෙන ආපු කෙනෙක්ව දයා කීයටවත් හරවලා ඇරියෙ නෑ. ඉතින් දුමිත් යාළුවන්ට කියලා තිබුනා දයා එන්න දුන්නෙ නැත්නම් අතේ තියෙන්නෙ බෲස්ලිගේ ෆිල්ම් එකක් කියලා දයාට කියන්න කියලා.

දවසක් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත් විජය පත්තරෙත් කියව කියව අම්ම බෙදල දුන්න බත් එකට වග කියන කොට මිදුලේ ඉඳන් දයා කාටදෝ බැනිනව ඇහිච්ච අම්මා ඇහුවෙ

"දයා, කාටද කෑගහන්නෙ...." කියලයි.

“මේ අර විදුලි බල මණ්ඩල ගෙදර සුමනෙගේ ලොකු එකානේ නෝනා. මොකක්ද මන්දා කැසට් පීස් එකක් උස්සගෙන ඇවිත්...”

"ඉතින් දයා ඇයි බනින්නෙ....?"

"ඌ එන්ටද කියලා ඇහුවා....මම එපා කිව්වා....මේ අසමජ්ජාතියා මට ඉංග්‍රීසියෙන් නමකුත් පට බැන්දනේ නෝනා..."

"ඒ මොකක්ද දයා...."

"ඩ්‍රැගන්.... කියලා...! ඌ මගෙන් අහනවා 'එන්ටද ඩ්‍රැගන්' කියලා. ආවොත් එහෙමනම් මම කඩනවා ඕකගේ කකුල්....!"  දයා කොස්සත් අරගෙන ආපහු මිදුලට බැස්සේ අපිට ඇහෙන්න තරම් තදින් දත් මිටි කාලයි.







ප.ලි : ඊටත් කාලෙකට පස්සෙ ගෙදර හොරකමක් කර අසුවී ගෙදරින් යන්න සිදුවෙන කල්ම අහල පහල කොල්ලො කුරුට්ටෝ දයාට "එන්ටද ඩ්‍රැගන්" කියා කෑගසා දිවීමත්, උන් පස්සෙ ටික දුරක් ඉදලත් උස්සගෙන දිවීමත් සෑම දවසකම වගේ වෙන සාමාන්‍ය දෙයක් බවට පත් උනා.

මාරියා කියන්නෙ බඩුවක්ද ?

Posted by දුමී

මෙහේ ඉන්නකොට පාළුව, කාංසිය, ඒකාකාරිත්වය, ආතතිය ඔය මෙකී නොකී දේවල් වලින් බේරෙන්න කියලා අපි යාළුවො ටිකක් එක්ක එකතු වෙලා වෙවේකී වෙලාවට සින්දුවක් කියලා පොඩි ජොලියක් දානවා. එහෙම සුළුවෙන් ජොලියට පටන් ගත්ත අපේ සංගීත වැඩවලට පහු කාලෙ වෙනකොට සෑහෙන්න වැඩ වැඩි උනා. දැන් වෙනකොට ගෙදර නිදහසේ ඉන්න පුළුවන් සති අන්තයක් හොයාගන්න බැරි වෙන තරමට වැඩ වැඩි වෙලා.

අපි හැමදාම උත්සාහ කලේ මෙහේ ඉන්න අපේ ලාංකිකයන්ට සංගීතය සපයලා විනෝදාස්වාදය සපයන අතරම ඒ හරහා එක එක චැරිටි වැඩ වලට යම් කිසි සම්මාදමක් ලබාගන්න තමයි. ඒ විදිහට අපි මෙහේ තියන හෙළබිම කියන සංවිධානයක් එක්ක එකතු වෙලා 2010 මැයි මාසෙ සංගීත ප්‍රසංගයක් පවත්වලා මුදල් හොයාගෙන අපේ රට බේරගන්න පෙරමුණට ගිහින් අද වෙනවිට අභාධිත තත්වයට පත්වෙලා, අසරණ වෙලා ඉන්න රණ විරුවන්ගේ සුභ සාධනය උදෙසා ව්‍යාපෘතියක් සම්පූර්ණ කලා. හෙළබිම සංවිධානයෙන් මේ දවස්වල තවත් ප්‍රංගයක් සංවිධානය කරගෙන යනවා. අවසාන සටනින් අත් පා අහිමි වූ අපේ වීරෝධාර රණ විරුවන්ට කෘතිම අත් පා ලබාදීම තමයි ඒ ප්‍රසංගයේ අරමුණ. ලංකාවෙ පවත්වපු "රණවිරු රියල් ස්ටාර්" රියලිටි වැඩසටහනේ ජයග්‍රහණය ලැබූ රණවිරුවන් තමයි මේ ප්‍රසංගයේ ගීත ගායනා කරන්න නියමිත වෙලා තියෙන්නෙ. අපිත් මේ දවස්වල ආත බූත කඩාගෙන පුහුණුවීම් කරන්නෙ ඒ ප්‍රසංගයට සංගීතය සපයන්න අපේ වාදක කණ්ඩායමට ඇරයුමක් ලැබිලා තියෙන නිසයි.

මොනව උනත් අපේ පුහුණුවීම් හරිම විනෝද ජනක ලෙස ගෙවිලා යනවා. විශේෂයෙන්ම ඒ අපේ කණ්ඩායමේ ඉන්න බේස් ගිටාර් වාදක "කින්චා" නිසා. කිංචා අපේ තාත්තටත් වඩා වුරුදු දෙකක් විතර වැඩිමල් උනාට අපිට කට පුරෝලා "මචං" කියලා කියන්නෙ කිසිම ලෝබ කමක් නැතිව. ඉතිං මේ අපේ කිංචා ගැන කියනවනං, පොර ඇවිල්ලා ලංකාවෙ කණ්ඩායම් සංගීතය පටන් ගත්ත කාලෙ ඉඳන්ම කණ්ඩායම් සංගීතයේ යෙදී ඉන්න වෙටරන් කෙනෙක්. කොටින්ම කියනවනම් ඔය ලංකාවෙ මුල් කාලේ ප්‍රසංග වල සංගීතය සපයපු "සුපර්ස් ස්ටාර්ස්" සංගීත කණ්ඩායමත් එක්කත් අපේ කිංචා වාදනය කරලා තියෙනවා. කොච්චර වෙටරන් කෙනෙක්ද කියනවනම් කියනවනම් සුපර්ස් ස්ටාර්ස් සංගීත කණ්ඩායමේ අය තරුණ කාලෙත් අපේ කිංචා නාකියි.

ඊලඟ දේ තමයි අපේ කිංචාට සිංහල භාෂාවෙ සමහර බරපතල වචන නුහුරු නුපුරුදු වීම. පොර සිංහල කතා කරන්නෙ බිලිං ගෙඩියක් කාලා සුද්දෙක් විසිල් ගහනවා වගේ. මොකද කිංචා ඇවිල්ලා උපතින්ම බර්ගර් ජාතිකයෙක්. ඉතින් ඔය සමහර සිංහල වචන කින්චට තේරුම් ගන්නෙ පොරටම ආවේනික විදිහට. ඒ වගේම මිනිහගේ ලොජික් දැනුමත් සෑහෙන්න අන්තිමයි.

ඔන්න දවසක් කිංචා අපෙන් අහනවා,

"මචං, චන්ද්‍රසේන හෙට්ටිආරච්චියි නිහාල් නෙල්සනුයි තරහයිද ?"

"ඈ...? ඒ මොකෝ කිංචෝ එහෙම අහන්නෙ.....?"

“නෑ බං මම ලංකාවෙ නිවාඩුවට ගිහිලා ඉන්න වෙලාවක සංගීතයක් බලන්න ගියා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඇවිල්ලා කිව්වෙ අර ‘නාවල අන්නාසි’ කියන සින්දුව. ඒකෙ තියෙනවනේ අර ‘නුවර පොල් හොදී, කොළඹ මස් කරී’ කියලා. පොර එහම කියලා බැහැලා ගියා විතරයි, නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැගලා කියනවා ‘එපා එපා මස් කන්නට’ කියලා....! දෙන්නා තරහා නැතිනම් ඌ එහෙම කියනවද දෙනෝ දාහක් ඉස්සරහා ?”

කින්චා එයින් නවතින්නෙ නෑ. උගේ ගීත විචාර තවත් ඉදිරිපත් කරනවා...!

"ඔන්න බලපන්, අපේ රටේ ගායකයන්ටත් ප්‍රතිපත්තියක් නෑ....! බලපන් දැන් එඩ්වර්ඩ් ජයකොඩි....! පොර ස්ටේජ් එකට නැගලා කෙල්ලෙක්ට එන්න කියනවා මෙන්න මෙහෙම........."

“මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි ඔබ එනවා නම්...... දේදුණු පාලම උඩ හැන්දෑවේ...... මම ඉන්නම්”

ඔන්න ඊට පස්සෙ පොරම කියනවා,

“ඔබ තෙමෙයි කියා බයයි වැසි වැටේ සුළං තදයි......” කියලා.

ඉතින් බං කොහොමද කෙල්ලෙක් හිත හදාගෙන මූව බලන්න පාලම උඩට එන්නෙ ?

ඔන්න තවත් දවසක් නිවාඩුවට ලංකාවට ගිහිල්ලා ආපු කිංචා දවසක් ඇවිත් ලංකාවෙ ගායකයන්ට පළු යන්න බනිනවා මෙන්න මෙහෙම,

“ෂිහ් මචං, ලංකාවෙ සදාචාරය බල්ලට ගිහිල්ලා තියෙන්නෙ. දැන් මුන් මලකට ඉන්න දෙන්නෙත් නෑනේ. මල් එක්කත් වල් කං කරන්න කතා කරනවා.....”

"ඇයි කිංචෝ, මොකද උනේ....?"

“ඇයි බං උඹලා ඇහුවෙ නැද්ද අර අළුතෙන් සින්දුවක් ඇවිත් තියෙන්නෙ...”

“සුදු අරලියා මල... පිපුනේ ඇයි තනිව.... ලිංගික ඇසුරකට... මට දැන් අවසරද.... “ කියලා

“මොකක් කිව්වා ? මොන ඇසුරක් ? කිංචෝ, ඒ සින්දුවේ තියෙන්නෙ ලෙංගතු ඇසුරකට කියලා...” අපි බඩවල් අල්ලගෙන හිනාවෙනවා..

"ලෙංගතු ? මොකක්ද බං ලෙංගතු කියන්නෙ.....!" කිංචා අහනවා...

කිංචා ලංසියෙක් නිසා ඌට ලෙංගතු කියන වචන්ගේ ඇහෙන්නෙ "ලිංගික" කියලායි. අනික ලෙංගතු කියලා වචනයක් උගේ ශබ්ධ කෝෂේ නෑ....!

කිංචා ආපහු වැරදියට තේරුම් ගත්ත සින්දුවක් තමයි අර පරණ කැලිප්සෝ සංගීත කණ්ඩායමක් වෙන "මීමැස්සො" සංගීත කණ්ඩායම ගායනා කරන "මුළු ගතම වෙහෙසුනා - දහඩියෙන් නැහැවුනා" කියන සින්දුව.

ඔන්න කිංචා දවසක් කියනවා,

“මොන රෙද්දකටද බන් වේසියෝ කම්මලේ දුක් විඳින්නෙ........?”

“කිංචෝ, මොනවද බං කියවන්නෙ ?” අපිත් තක්කු මුක්කු වෙලා අහන්වා...

ඇයි බං අර සින්දුවේ තියෙන්නෙ,

"වේසීලා..... දුක් විඳලා....කම්මලේ යකඩ තලා..........! උන් මොකටද බං දුක් විඳ විඳ කම්මලේ යකඩ තලන්නෙ ?”

අනේ ඉතින් අපේ බඩවල් හොයා ගන්න නෑ..... කොර වෙලා කුඩු වෙලා යනවා....!

"කිංචෝ, වේසීලා නෙමෙයි යකෝ, ඒකෙ කියන්න වෙහෙසීලා කියලා...." අපිත් යන්තන් ඌට තේරුම් කරලා දෙනවා....

ඔන්න මේ අළුත්ම ජවනිකාව උනේ මේ ඊයේ පෙරේදා. ලඟ එන ප්‍රසංගයට එක ගායකයෙක් ගායනා කරන "මාරියාවේ" කියන ගුණදාස කපුගේ මහත්මයාගේ අපූරු ගීතය පුරුදු පුහුණු වෙනකොට.

"මචං.... මාරියා කියන්නෙ බඩුවක්ද ?" ඔන්න කිංචා අහනවා....

මේකා ආපහු වලිගේ පාගගෙන කියලා දන්න අපිත් අහනවා..

"ඇහි බං එහෙම කියන්නෙ....?"

"ඇයි බං, ඕක තේරෙන්නෙ නැද්ද ? මාරියා කියන හොර ගෑණි ආපු දවසෙ ඉඳන් ගෙදර කචල් කියලනේ බං මේ සින්දුවේ තියෙන්නේ...!"

මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ ඔහෙ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැ‍‍‍‍ඳෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිණි - හද තුළ මෙළවී ඇවිළෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ


කිංචගේ බූට් දෙකට බැහැලා, ඌ හිතන විදහට ලොජික් එක හිතලා ඇහුවහම තමයි මූ මේ ඇත්තනේ කියන්නෙ කියලා හිතෙන්නෙ.....!

දොළ දුක සහ අපේ දුක

Posted by දුමී

කාලෙකට ඉස්සර මම පොඩි කාලේ ටී.වී එකේ ගිය ඔය සිංහල ෆිල්ම් එකක් බලපු වෙලාවක දැක්කා, ඒකෙ හිටපු ගෑණු ළමයෙක් මහ පෙරේත කමින් අඹ ගැටයක් කාගෙන කාගෙන යනවා. ඊට පස්සෙ ඒ ගෑණු ළමයගේ අම්මා මේක දැකලා අර ගෑණු ළමයට අල්ලගෙන තඩිබානවා. ෆිල්ම් එකේ ඔය සීන් එක මගේ ඔළුව කරපට් කරලා දැම්මා, හත් ඉලව්වෙ මොකද බොලේ අර අම්මා අඹ ගැටයක් කෑවට අර ගෑණු ළමයට අර විදිහට තඩිබෑවෙ කියලා. ඒ ගෑණු ළමයා හොරෙන් අඹ වල්ල කඩාගෙන කෑව නිසා අම්මා ගැහුවා කියලා මුලින්ම හිතුනත්, ලඟ හිටපු නැන්දා කෙනෙක්ගෙන් ඔය පුරශ්නේ ඇහුවහම නම් කිව්වෙ, ආ ඒ අර ගෑණු ළමයා දවල්ට බත් කන්නෙ නැතිව අඹ ගැට කාපු නිසා තමයි එයාගේ අම්මා ගැහැව්වෙ කියලා. එදායින් පස්සෙ ඉදිච්ච නැති අඹ ගෙඩියක් ලැබුනොත් එක්කෝ හොරෙන් ඒක කාලා දානවා, නැතිනම් බත් කාලා කන්න තියා ගන්නවා.

බබාලා හම්බ වෙන්න ඉන්නකොට තමයි ගෑණු අයට එහෙම කෑම කන්න ආස හිතෙන්නෙ කියලා පහු කාලෙකදි කවුරු හරි තේරුම් කරලා දුන්නත්, ඔය ඉස්කෝලේ යන ගෑණු ළමයිනුත් ඔය අඹ ගැට, දිවුල් ගැට, වෙරළු වගේ ඇඹුල් ජාති විකුණන ගෑණු මනුස්සයා ගාව පොර කන එක දකිනකොට මගේ ඔළුව තවත් කොලොප්පම් වෙලා යනවා හත් ඉලව්වෙ මුන්ට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා.

පහු කාලෙකදි හිටපු ගමන් අම්මගේ යාළුවෙකුට, එහෙම නැතිනම් නෑදෑ වෙන ගෑණු කෙනෙකුට බබෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා උයලා, කෙහෙල් කොලවල ඔතලා දෙන බත් එක ඩිලිවර් කරන්න බයිසිකලේ නැගලා මුළු රට වටේම යන්න වෙනවා. නැතිනම් කාට හරි බඩ දරු අම්මා කෙනෙකුට වෙරළු සප්ලයි කරන්න, දිවුල් ගැට හොයාගෙන එන්න වගේ කොන්ත්‍රාත්තුත් අඩුවක් නැතිවා ලැබිලා තියෙනවා. ඔය දොළ දුක නිසා මුල් කාලේ කාපු කටු තමයි ඕවා.

මගෙයි, ගම හාමිනේගෙයි කුළුඳුල් දූ සිඟිත්ත බඩේ ඉන්න කාළේ අපේ ගම හාමිනේට දොළ දුක හැදුනේ දූරියන් කන්න. අවාරේ දූරියන් හොයන්න වෙච්ච දුක මම කාලෙකට කලින් ලිව්වා. ඔන්න ඒ කාලෙම ඊට මාස කීපයකට පස්සෙ තවත් හොඳ දුකක් වින්දා මේ දොළ දුක නිසා.

මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් නිසා මහ රෑ වෙනකං වැඩ කරලා ගෙදර ඇවිල්ලා, ගෙදර තිබුනු පානුයි පරිප්පුයි කාලා ඇඳට වැටිලා නිදා ගන්න ලැබුනේ පැය දෙකයි, මාව උඩ ගිහින් ඇහැරුනේ අපේ ගම හාමිනේ නැගිටලා ඇඳ උඩ වාඩිවෙලා හෝ ගාලා අඬනවා ඇහිලයි. අඬන්නෙ මොකද කියලා ඇහුවත් මුකුත් නොකියා බඩත් උස්සගෙන තව හයියෙන් අඬන ගම හාමිනේ දැකලා මම දඩි බිඩි ගාලා නැගිට්ටෙ වාහනයක්වත් හොයාගෙන හාමිනේව ඉස්පිරිතාලෙට එක්කගෙන යන්න වත් වෙයිද කියලයි. ඔන්න ඊට පස්සෙ වදෙන් පොරෙන් තව දෙතුන් පාරක් ඇහුවහම අමාරුව මොකක්ද කියලා ඔන්න ගම හාමිනේ කියනවා,

"මට බඩගිනියි....!"

“අයියෝ ඕකත් අඬන්න දෙයක්ද, ඉන්න මම පාන් බාගයක් මැදට පරිප්පු දාලා ගේන්නං...” කියලා යන්න හදනකොටම ගම හාමිනේ අඬන ගමන්ම කියනවා,

"මම රෑට පාං බාගයක් කෑවනේ....! ආපහු නං පාං කන්න බෑ..!"

"පාං කන්න බෑ...? එහෙනං මොනවද ඕනෙ ....?" ඔන්න ඉතින් මමත් ඇහුවා.

"කිඹුලා බනිස්....!", ගම හාමිනේ තව හයියෙන් අඬනවා....!

"හුටා, කිඹුලා බනිස්....! පාන්දර දෙකහමාරට.............?”

දැන් ඉතින් මොනවා කරන්නද ? දොළ දුක හැදුනහම ඒක දුන්නෙ නැතිනම් බොහොම භයානක දේවල් වෙනවා කියලා මම අහලා තියෙනවා. ඔන්න ඉතින් මමත් නිදි මරගාතෙ ෂෝටකුත් ගහගෙන, ටී ෂර්ට් එකකුත් දාගෙන, රබර් සෙරප්පු දෙකත් දාගත්තෙ කොහෙන් හරි කිඹුලා බනිස් හොයාගෙන එන්න.

"අනේ ඔයා දැන් කිඹුලා බනිස් හොයන්න යන්න එපා....! මම කොහොම හරි බඩගින්නෙ නිදා ගන්නම්....!" ඔන්න ගම හාමිනෙත් අඬන ගමන් කියනවා....!

"එහෙම කියලා කොහොමද...? කිඹුලා බනිස් නොකා පුළුවන්ද ? මම කොහොම හරි කිඹුලෙක් හොයාගෙන එනවා....!" මමත් පුරුෂ ධෛර්‍යය අරගෙන එළියට බැස්සා.

හද්ද පාන්දර දෙකහමාරට, හිටු කියලා පිණි බාන වෙලාවෙ මමත් ගෑටුවා කළුබෝවිල හන්දියට. පාරෙ බලු බල්ලෙක් නෑ. කළුබෝවිල හන්දියේ ඉඳලා අපේ ගෙදරට හැරෙන පාරෙම බේකරියක් තියෙනවා. පොඩ්ඩක් කිට්ටු කරලා බලන කොට ඒකෙ කට්ටිය තාම පාන් අනනවා.

ඔන්න මමත් නුගේගොඩ පැත්තට හැරිලා පයින්ම ගාටන්න ගත්තා. අනිවාර්යයෙන්ම නුගේගොඩ "නවරස" එකේ කිඹුලා බනිස් තියේවි. (නුගේගොඩ නවරස එක මේ කාලේ වෙනකොට වහලා තිබුනේ නෑ, නවරස එක 24 පැයේම ඇරලා තිබ්බ හෝටලයක් ). ඔන්න ඉතින් මමත් නවරස එකට කිට්ටු කලා කොහොමෙන් කොහම හරි. ඒත් කරුමෙක මහත, ඒකෙ කබඩ් පුරෝලා උණු උණු මාළු පාන්, සීනි බනිස්, රෝල් කටලට් තිබ්බට කිඹුලා බනිස් නෑ....! දැන් මොකද කරන්නෙ, කෝකටත් මාළු පාං එකකුයි, සීනි බනිස් එකකුයි අරගෙන ආපහු පයින්ම එන්න පිටත් උනා.

ඒ එනින් ගමන කොහුවල පොලීසිය ඉස්සරහා තිබිච්ච බේකරියටත් ගොඩ උනා... ඒත් නෝ කිඹුලා....! ඔන්න ඉතින් ආපහු කළුබෝවිලට එනකොට පාන්දර තුනහමාරත් පහුවෙලා. ඒ වෙනකොට කළුබෝවිල බේකරියෙන් මුළු පලාතටම ෂෝක් එකට පාන් සුවඳ පැතිරෙනවා. කෝකටත් ඔන්න මම ආපහු ඔළුව දාලා ඇහුවහම,

"මහත්තයෝ, පාන් බනිස් බාන්නෙ හතරහමාරට, බෑවට පස්සෙ කිඹුලා බනිස් දෙන්නම්......"

ආහ් තව පැයයිනේ කියලා හිතලා, ඔන්න ඉතින් මමත් බේකරිය ඉස්සරහා ලී බංකුවේ වාඩිවෙලා මදුරුවෝ තල තල පාන් බානකං ඉඳලා කිඹුලා බනිස් දෙකකුත් අරගෙන ගෙදර ගියා. ගෙදර ගිහින් මම කිඹුලා බනිස් හොයන අතරේ ෂෝක් එකට ගොරෝ ගොරෝ නිදාගෙන හිටපු ගම හාමිනේවත් ඇහැරෝලා කිඹුලත් කවලා ආපහු නිදි කෙරෙව්වා. ඔන්න ඔහොමයි දොළ දුක නිසා අපි දුක් වින්දේ.

සමහර අය කියනවා ඔය අම්මලාට කන්න හිතෙන කෑම වලින් බඩේ ඉන්න බබාගේ රුචි අරුචි කම් දැන ගන්න පුළුවන් කියලා. ඒත් එක්කම සමහර පරීක්ෂණ එහෙම කරපු විද්‍යාඥ්ඥයෝ එහෙම කියන්නෙ අම්මගේ ඇඟට ඒ කාලෙදි අවශ්‍ය වෙන ඛණිජ ලවණ එහෙම ඌණතා නිසාත් එහෙම දොළ දුක ඇති වෙනවාය කියලා. හැබැයි මට නම් තාම හිතා ගන්න බෑ කිඹුලා බනිස් වලින් ඇඟට ලැබෙන ඛණිජය මොකක්ද කියලා...!

තවත් අය කියනවා බඩේ ඉන්න බබා ගිය ආත්මේ කන්න කැමති සහ පුරුදු වෙලා හිටපු කෑම බීම අම්මා ලවා දොළදුකක් විදිහට ඇති කරනවා කියලා. මේ කතාව සනාථ කරන්න පුළුවන් සාක්ෂියක් මගේ ටීම් එකේ ඉන්න මලබාර් යාළුවෙකුගේ වයිෆ් කෙනෙක්ට හැදුනු දොළ දුකෙන් දැන ගන්න ලැබුනා. මේ යාළුවගේ වයිෆ්ට කන්න හිතිලා තියෙන්නෙ අමු තක්කාලි. ඕක ඉතින් මහ දෙයක්ද කියලා හිතුනත් මෙයාට මේ තක්කාලි කන්න හිතිලා තියෙන්නෙ තක්කාලි ගෙඩිය ගහේ තියෙද්දිම .

ඉතින් මේ ඩුබායි වල කොහෙන්ද තක්කාලි ගස් කියලා මගේ යාළුවාට එයාගේ නෝනව තකහනියක් ඉන්දියාවට එක්කගෙන යන්න උනා තක්කාලි කවන්න. ඔන්න ඉතින් ඉන්දියාවෙ තක්කාලි ෆාම් එකකට එක්කගෙන ගිහින්, ෆාම් එකේ අයිතිකාරයටත් ගාණක් දීලා වයිෆ්ට කිව්වලු දැන් ඇති තරං තක්කාලි කන්න කියලා. ඔන්න ඒ පාර වයිෆුත් බිම දිගේ දිගාවෙලා ගහේ තියෙද්දිම තක්කාලි ගෙඩි දෙක තුනක් කාල දැම්මලු. ඔය කතාව මාත් එක්ක උජාරුවෙන් කියපු වෙලාවෙ මම කිව්වෙ,

"එහෙනං ෂුවර් එකටම උඹේ නෝනගේ බඩේ ඉන්නෙ ගිය ආත්මේ තක්කාලි පණුවෙක්....!" කියලයි.

ඌ එදායින් පස්සෙ මාත් එක්ක සති ගාණක් කතා කලේ නෑ. පස්සෙ දවසක මගේ යාළුවා පණුවෙක් වගේ කෙට්ටු පොඩි එකෙක් වඩාගෙන ඔෆිස් ආපු වෙලාවෙ මට මේ තක්කාලි කතාව මතක් වෙලා ඉස්පොල්ලෙ යන්න ගිහින් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා.

සමහර අම්මලාට අඟුරු කන්න හිතෙනවලු. පත්තරේක දැක්ක සුද්දෙක් තමන්ගේ වයිෆ් ගල් අඟුරු කෑව කියලා එයාව ඩිවෝස් කරලා තියෙනවා.

මගේ තවත් යාළුවෙක්ගේ නෝනාට බබා හම්බවෙන්න ඉන්නකොට කන්න හිතිලා තියෙන්නෙ පස්. කොහොම හරි එයා පස් කාලා දොළ දුක සංසිඳව ගත්තා කියලා තමයි මගේ යාළුවා නම් කිව්වෙ. කාලෙකට ඉස්සර උනත් උන් දෙන්න වලියක් දාගත්ත ගමන් නෝන මූට බනිනවා කියන්නෙ,

"අපේ අම්මලා කිව්ව මට තමුසෙ එක්ක ආවොත් පස් තමයි කන්න වෙන්නෙ කියලා... ඒත් මම ඒක අහන්නෙ නැතිව තමුසෙ එක්ක ආවට හොඳ පාඩම්...." කියල.

ඔන්න ඔහොමයි මේ දොළ දුක නිසා පිරිමි විඳින දුක.

මෙනිකියෝ, පෙටිකියෝ සහ බටර්කියෝ

Posted by දුමී

මේ පහුගිය දොහක මගේ යාළුවෙක්ගේ ගෙදර ගිය වෙලාවකදි අපි ඔය ආගිය සහ නොගිය දේවල් ගැන එහෙම සතුටු සාමීචියක් කර කර හිටියා. දන්නවනේ ඉතින් විශේෂයෙන් සති අන්තයක දවසක සෙට් වෙච්ච නිසා පොඩ්ඩක් ඇඟ රත් වෙන දේවල් පාවිච්චි කර කර තමයි අපේ සාකච්චාව කරගෙන ගියේ. චුට්ටක් විතර පදම වැදිලා ඉන්න මොහොතක මගේ යාළුවා ෆොටෝ එකක් ඇඟිල්ලෙන් පෙන්නලා වචන ටැපලි ටැපලි කියවනවා,

“බලහන්කෝ දුමී අපේ නයනා එල්ලගෙන ඉන්න මේක එන්න එන්නම ලොකු වෙනවනේ....”

“ඉස්සර අපි යාළුවෙච්ච කාලේ නම් මේක හෙනම පොඩියි මචන්. කොච්චර පොඩිද... දැන් නම් බලාගෙන ඉන්නකොට ලොකු වෙනවා.... අද තියෙන සයිස් එක නෙමෙයි හෙට තියෙන්නේ....”

අපිත් එක්කම පොඩ්ඩක් එහාට වෙන්න වාඩිවෙලා හිටපු නයනා තක්බීර් වෙලා බලාගෙන ඉන්නවා. මටත් ෆුල් හොල්මන් මොකක්ද යකෝ මූ මේ කියවන්නෙ කියලා.

ඊට පස්සෙ නයනත් පපුව අතකින් කවර් කරගෙනම ඇවිත් මගේ යාළුවට බනිනවා.

"මොනවද මනුස්සයෝ ඔය කියවන්නෙ... පොඩ්ඩක් කට ගාගත්ත ගමන් උන් හිටි තැන් අමතක වෙනවනේ...."

"ඇයි, මම වැරදි දෙයක් කිව්වද ? ඔයාම බලන්නකෝ, ඉස්සරට වඩා මේක කොච්චර ලොකුද කියලා...." මගේ යාළුවා ෆොටෝ එක උස්සලා නයනට පෙන්නුවා.

නයනත් ඒ පාර කට තද කරගෙන හිනාවෙනවා.....!

"මේ මනුස්සයට පිස්සු අනේ....! මෙයා මේ කියලා තියෙන්නේ මගේ හෑන්ඩ් බෑග් එක ගැනනේ.... මම බයවෙච්ච තරමක්.....!"

බැලින්නම් මගේ යාළුවා කියලා තියෙන්නෙ මේ නයනගේ හෑන්ඩ් බෑග් එක ගැන. ඒ ගොල්ලො යාළු වෙන කාලෙ හරිම හුරුබුහිටියට පොඩියට තිබිච්ච හෑන්ඩ් බෑග් එක මේ වෙනකොට අලියෙක් දාගෙන යන සයිස් එකට ලොකු වෙලා.

තව පොඩ්ඩෙන් මමත් නාගන්නවා මගේ යාළුවා කියපු දේ වැරදි විදිහට තේරුම් අරගෙන.

ඉතින් ඔහොම ටිකක් කල්පනා කරනකොට තමයි මටත් හිතුනේ මේ කාන්තා පක්ෂයේ අය ටික ටික වයසට යනකොට ලොකු වෙන, මහත් වෙන දේවල් අතර මේ හෑන්ඩ් බෑග් එක සුවිශේෂතම එකක් නේද කියලා. මොකද ඒ අය ජීවිතේට ඔය බෑග් එකට දේවල් දානවා මිසක් කවදාවත් ඔය බෑග් එකෙන් කිසිම දෙයක් අයින් කරන්නෙ නෑනේ. ඉතින් අවුරුද්දෙන් අවුරුද්දට කොයිතරම් දේවල්නම් ටිකක් ඕක ඇතුලට යනවද. ඉතින් ඉඩ කඩ මදි උනාම මොකද කරන්නෙ, දැනට තියෙන එකට වඩා ලොකු එකක් අරගෙන අර පරණ බෑග් එක ඔක්කොම ඒකට හලා ගන්නවා.

ඒ අස්සෙ එක දවසක් මම ඔය ප්ලේන් එකේ ගමනක් යන වෙලාවක වෙච්ච සිද්ධියක් මතක් උනා. ඔය 2001 සැප්තැම්බර් 11 දිහාවෙ ට්වින් ටවර් වලට බින්, ලාඩන් ගැහුවට පස්සෙ මේ ගුවන් ගමන් වල ආරක්ෂාව එහෙම පිටින්ම කණ පිට පෙරලුනානේ. ඊට පස්සෙ ප්ලේන් එක ඇතුලට අරගෙන යන හෑන්ඩ් ලගේජ් එකේ කිසිම මුවහත් දෙයක්, ඒ කියන්නෙ පොඩි පිහි තල, කතුරු, වගේ ආයුධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කිසිම දෙයක් ඇතුලට ගෙනියන්න දෙන්නෙ නෑ. බෝඩින් ගේට් එකට කලින් ස්කෑන් කරලා, ආයි කතා දෙකක් නෑ ඒ වගේ දේවල් තිබුනොත් එයාර් පෝට් එකේ සිකියුරිටි එකෙන් ඒවා අරගන්නවා. නිතර ගුවන් ගමන් වල යන අය නම් දන්නවා බෝඩින් ගේට් එකේ ගාව ස්කෑනර් එක ගාව තඩි පෙට්ටියක ඔය කතුරු, පිහි තල, දහස් ගණනක් ගොඩ ගහලා තියෙන හැටි.

අනේ ඉතින් එදත් මම දෙයියනේ කියලා ප්ලේන් එකට නගින්න බලාගෙන ස්කෑනින් පෝලිමේ ඉන්නවා. මට කලින් ස්කෑනර් එකට බෑග් දැම්මේ යුරෝපියන් වගේ රටක බවලතෙක්. ඔන්න එතන හිටපු සික්කත් බෙල්ට් එක එහාටයි මෙහාටයි කීප සැරයක් යවලා අර ගෑනු මනුස්සයට කිව්වා එයාගේ හෑන්ඩ් බෑග් එක අරින්න කියලා. ඊට පස්සෙ සික්කෙක් ඒකට ඇදලා අරගත්තා අර පැන්සල් පෙට්ටියක් වගේ පෙට්ටියක්. ඊට පස්සෙ ඒක ඇරලා බලනකොට ඒකෙ ඇතුලේ වෛවාරණ්‍යය ජාතියේ කතුරු, පිහි තල, පීරි මහ ගොඩයි. අනේ අර ගෑනු එක්කෙන කිව්වා

"ඒක මගේ මෙනිකියෝ සෙට්" එක කියලා.

ම්ම්හ්හ්... කිසිම සමාවක් නෑ අර සික්කගෙන්, ඒක කෙලින්ම අර එයාර් පෝට් එකේ කතුරු, පිහි තල, එකතු කරන පෙට්ටියට ගිහින් වැටුනා. ඊට පස්සෙ ආපහු සික්කා අත දාල ගත්තා තවත් ඒ වගේම පෙට්ටියක්. ඒකත් අර වාගේම එක එක සයිස් එකේ පීරි, පිහි තල, කතුරු මහ ගොඩක්. ඒ පාර අර ගෑණු කෙනා කියනවා

"මගේ පෙටි කියෝ සෙට්" එක කියලා.

අනේ මට නම් ඔය දෙකේ වෙනස තේරුනේ නෑ. මම දැකපු විදිහට දෙකේම තිබුනේ යුද්දෙකට අරගෙන යන්න පුළුවන් විදිහේ ආයුධ සෙට් එකක්. අනේ ඉතින් අර සික්කත් කට කොනකින් හිනාවෙලා ඒකත් ජොබොහ් ගාල දැම්ම අර පෙට්ටියට.

ඔන්න ආයෙත් සික්ක බෑග් එකට අත දාල ගත්තා, අරගෙන සික්ක කියනවා

මේ ඔහේගේ බටර් කියෝ එකද ?”

බැලින්නම් තඩි බටර් පිහියක් තවම වටේට ගෑවිච්ච බටරුත් එක්කම බෑග් එක ඇතුලේ. මම හිතන්නේ කලින් ෆ්ලයිට් එකේදි කෑම කන්න දීපු බටර් නයිෆ් එක ගෑනි හොරෙන්ම හෑන්ඩ් බෑග් එකට දාගෙන. පෝලිමේ හිටපු අපි බොහොම අමාරුවෙන් කටවල් තද කරෙගෙන ප්ලේන් එකට නැගලා සීට් බෙල්ට් දාගෙනම බිම පෙරලි පෙරලි හිනා උනා.

එදා ඉඳන් මට නිදහසේ පාන් පෙත්තකට බටර් ටිකක් ගාගන්න විදිහක් නෑ. බටර් නයිෆ් එකක් දැක්ක ගමන් හිනා යනවා.

මම කලින් වැඩ කරපු කම්පැනියේ (එමිරේට්ස් අයි.ටී සෙක්ෂන් එකේ) මගේ ටීම් එකේ හිටියා ලීනා කියලා කේරල ප්‍රාන්තෙන් ආපු යාළුවෙක්. ඒ කම්පැනියෙන් ස්ටාෆ් එකට බස් දාල තිබුනා උදේට ඔෆිස් එන්නයි, හවසට ආපහු යන්නයි කියලා. දවසක් ලීනා හවස ගෙදර යනකො,ට පස්සෙ තමයි ලීනා දන්නේ එයාගේ හෑන්ඩ් බෑග් එක ස්ටාෆ් බස් එකේ අමතකවෙලා දාලා ගිහිල්ලා . මෙහෙ තියෙන එක හොඳක් තමයි අනුන්ගේ දෙයක් ගොඩක් වෙලාවකට වෙනින් එක්කෙනෙක් ගන්නෙ නෑ. ඒ වගේ දෙයක් නැති උනොත් ගොඩක් වෙලාවට ඒක ආපහු හම්බවෙනවා. ලීනා පහුවෙනිදා ඔෆිස් ඇවිල්ලා ට්‍රන්ස්පෝට් ඩිපාට්මන්ට් එකට කතා කරලා බැලුවහම, හොඳ වෙලාවටම ලීනාගේ හෑන්ඩ් බෑග් එක කවුරු හරි බස් එකේ ඩ්‍රයිවර්ට බාර දීලා ඊට පස්සෙ එයා ඒක ට්‍රන්ස්පෝට් ඔෆිස් එකේ “ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ්” සෙක්ෂන් එකට දීලා.

ඉතින් හවස් වෙලා ලීනත් ගිහිල්ලා එයාගේ නැති වෙච්ච හෑන්ඩ් බෑග් එක අරගන්න කියලා. එයා ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ් සෙක්ෂන් එකට ගිහින් අනන්‍යයතාවය එහෙම තහවුරු කරහම, ලීනට ගෙනැල්ල දුන්නලු හිස් හෑන්ඩ් බෑග් එකයි, සීල් කරපු කාඩ් බෝඩ් පෙට්ටියකුයි. ඊට පස්සෙ ලීනට පිටු තුන හතරක ටයිප් කරපු ලිස්ට් එකක් දීලා කිව්වලු, ප්‍රොසීඩයර් එකේ හැටියට ඒ ගොල්ලො බෑග් එකේ තියෙන හැම දෙයක්ම ලිස්ට් එකක් හදන්න ඕනෙ කියලා. දැන් ලීනට තියෙන්නෙ ඒ ලිස්ට් එක බලලා බඩු හරිද වැරදිද කියලා පරීක්ෂා කරලා බාර ගන්න එක. අනේ ඉතින් අර ලිස්ට් එකේ බඩු බාහිරත් එක්ක තියෙනවලු, "බාගෙට කාපු" ඇපල් ගෙඩියක්, බාගෙට කාපු කාපු චොකලට් 10ක් 15ක්, පොඩි එකාගේ පාවිච්චි කරපු පැම්පර් එකක් වගේ මෙතන ලියන්න බැරි දේවලුත්. ඔන්න ඉතින් ලීනත් දැන් මූණ රතු කරගෙන බඩු ටික චෙක් කර කර ආපහු බෑග් එකට දානවලු .

ලීනා ආපහු හෑන්ඩ් බෑග් එකට බඩු පැක් කරනකොට එතන ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ් සෙක්ෂන් එකේ ඉන්න ඔක්කොම කට්ටිය 10ක් 15ක් විතර වටවෙලා බලාගෙන ඉන්නවාලු ලීනා මේ ටික බෑග් එකට දාගන්න හැටි. ලීනට දැන් තවත් ලැජ්ජයි. ඒ පාර ලීනා අහුවලු ඇයි කට්ටිය පුදුමෙන් වගේ බලාගෙන ඉන්නේ කියලා. එතකොට එතන ඉන්න එක්කෙනෙක් කිව්වලු,

"මැඩම්, මෙතන ඉන්න අපි හැමෝම ට්‍රයි කලා ඔය බඩු ටික ආපහු බෑග් එකට දාන්න. ඒත් අපි එක්කෙනෙක්ටවත් බැරි උනානේ මේ ටික ඔක්කොම බෑක් එකට අඩුක් කරන්න. අපි මේ බලාගෙන ඉන්නේ මැඩම් කොහොමද මේ ටික ඔක්කොම බෑග් එකට දාගන්නෙ කියලා බලාගන්න....."



ප.ලි: මම නම් කවදාවත් අපේ ගම හාමිනේට එයාගේ හෑන්ඩ් බෑග් එක අතේ අරගෙන ප්ලේන් එකට යන්න දෙන්නෙ නෑ. ඒක චෙකින් ලගේජ් (ප්ලේන් එකේ කාගෝ සෙක්ෂන් එකට දාන බෑග්) එක්කම දානවා.

ප.ප.ලි: මෙඩිකල් ඉන්ෂුවරන්ස් එකක් නැතිනම් ජීවිතේටවත් තමන්ගේ හාමිනේගේ හෑන්ඩ් බෑග් එකට වැරදිලාවත් අත දාන්න එපා. ඕකේ තියෙන මොන මොන ජාති වලට අහුවෙලා ඇඟිල්ලක් දෙකක් නැති වෙයිද දන්නෙ නෑ.....!



picture taken from --> http://4.bp.blogspot.com/-PIr2ixq-FUE/TcBOGwGG3I/AAAAAAAABTg/P8Mkci4juiE/s1600/ana18.jpg

අමතක වීමේ ඵල විපාක

Posted by දුමී

මතකයේ ප්‍රධාන ලක්ෂණය නම් අමතක වීම කියලා අපි ඒ ලෙවල් කරන කාලේ අපිට කියලා දුන්නේ මම ගොඩක් ගෞරව කරන, මට ඒ.ලෙවල් පියෝ-ඇප්ලයිඩ් උගන්නපු සුමේධ උඩවත්ත සර්. ඉතින් එහෙම කියපු සුමේධ සර් ගොඩක් දේවල් අමතක නොවෙන්න මතකයේ තියාගන්න මෙමරි මැප් වගේ ක්‍රම සහ විධි ගොඩක් අපිට කියලා දුන්නා. ඒත් ඉතින් ආයෙත් මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීම නිසා ඒ කියලා දුන්නු ට්‍රික්ස් ඔක්කොම ටික කාලයක් යනකොට අමතක වෙලාම ගිහිල්ලා.

ඔන්න ඉතින් ඒ අස්සේ මමත් බැළුවේ මම මේ බ්ලොග් එකක් කරනවා නේද කියලා අමතක වෙන්න කලින් මෙන්න මේ අමතක වීම නිසා වෙච්චි අකර තැබ්බ කීපයක් ලියලා දාන්න.

මම ඉතින් දවසක් සුපුරුදු විදිහට ඔය රේඩියෝ එක කාරිය අහගෙන වැඩට යන වෙලාවක ඇහිච්ච නිව්ස් එකක හැටියට ඔය එංගලන්තෙ පැත්තෙ සුද්දියෙක්ට (ඇත්තටම කියුබානු සම්භවයක් ඇති සුද්දියෙක් ) තමන්ගේ ජීවිතේ අන්තිම අවුරුදු 15වම අමතක වෙලා ගිහිල්ලා. අවුරුදු 32ක් වෙච්ච මේ ගෑණු මනුස්සයා දවසක් උදේ නැගිටිනකොට එයාගේ මතකේ ඔක්කොම නැතිවෙලා ගිහිල්ලා හිතාගෙන ඉඳලා තියෙන්නෙ එයා අවුරුදු 15ක කෙල්ලෙක් කියලා. ඇත්තටම ඒක කලාතුරකින් ඇති වෙන්න පුලුවන් ලෙඩක්ලු. ඒකට කියන්නේ “transient global amnesia” කියලා. හැබැයි ඒ වෙලාවෙ මට නම් හිතුනේ මේ ලෙඩේ මේ ගෑණු හැමෝටම වගේ තියෙන ලෙඩක් නේද කියලා. මොකද ඒ ගොල්ලන්ගේ වයස ගොඩක් වෙලාවට ඒ ගොල්ලන්ට අමතක වෙලාම යනවනේ. ඒ ගොල්ලො හැම තිස්සෙම හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන්ට 16 යි මාසයයි කියලා. ඔන්න දැන් තේරෙනවා නේද මේ අයට ඇත්තටම තියෙන ලෙඩේ මොකක්ද කියලා.

මගේ අති ජාත යාළුවෙක් හිටියා (තාම ඉන්නවා, හැබැයි ඌ කසාද බැන්දායින් පස්සෙ ඇහැට දැක්කෙ නෑ තවම. ) අපි ඌට නානා කියලා තමයි ආදරේට කිව්වෙ ( තාම එහෙම තමයි ආදරේට කියන්නේ ). කට්ටිය ඌට ඒ නම දාන්න එක හේතුවක් එකක් ඌ මුස්ලිම් ආගමේ, අනික ඇටයා වගේ හිටියට ඌට කොම්පඤ්ඤ වීදියේ තියෙන නානගේ කඩේ හිස් කරන්න යන්නෙ පැය භාගයයි. ඉතින් අපේ නානගේ ගම තමයි වැලිගම. අම්ම තාත්තා සහ සහෝදර සහෝදරියෝ සනුහරේම ඉන්නවා කියන්නේ එහේ තමයි. නානට සහෝදර සහෝදරියෝ කී දෙනෙක් ඉන්නවද කියලා ඌ දන්නෙ නෑ. නානා පොඩි කාලේ ඉඳන්ම හැදිලා තියෙන්නෙ කොළඹ ඉන්න උගේ මාමා කෙනෙක් ගාව. කොළඹ අයි.ඩී.එම් එකේ තමයි ඌ කම්පීතර ඩිග්‍රියට වෙනකන් ඉගෙන ගෙන තියෙන්නෙ. හැබැයි අවුරුද්දට දෙපාරක් තුන් පාරක් ඔය ලොකු නිවාඩුවක් එහෙම ලැබුනහම නානා ගම රට ගිහිල්ල අදෙමව්පියෝ, නෑදෑ සනුහරේ බලලා එන්න අමතක කරන්නේ නෑ. ඉතින් එක පාරක් එහෙම අතින් කටින් තෑගි බෝග අරගෙන නානා ගමේ ගිය වෙලාවක සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ.

ඔන්න නානා වැලිගමට ඇවිත් බස් එකෙන් බැහැලා ගෙදර මිදුලට යනකොට නානගේ තත්තා ඉන්නවාලු හාන්සි පුටුවකට වෙලා පත්තරයක් බල බල. ඔන්න නානා ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම තාත්තා අර බල බල හිටපු පත්තරේ පැත්තකින් තියලා, කණ්නාඩි දෙක යටින් බලලා බඩු පොදි උස්සගෙන ඉස්සරහ එන නානා දිහා බලලා කිව්වලු,

"නෑ නෑ... අපිට තොරම්බල් ඕනෙ නෑ......!"

ඉතින් නානත් "නෑ නෑ.. මේ තොරම්බල් නෙමෙයි... තෑගි.තෑගි...!"

"තෑගි ? කාටද ? කාව හම්බවෙන්නද ආවෙ ?"

"නෑ නෑ... තාත්තේ... මේ මම නානා... තාත්තගේ පුතෙක්.....!"

"ඈහ්.... මගේ පුතෙක්ද....? පළයන් ගේ ඇතුලට.....!"

ඉතින් එහෙමයි නානගේ තාත්තට ඉන්න ළමයි ගාණ මතක නැති වෙන්නෙ. මේ කතාවත් අපිට කිව්වෙ නානම තමයි. හැම පාරම ඌ ගමට ගියාම අළුතෙන් සහෝදර සහෝදරියෝ හතර පස් දෙනෙක් හොයාගෙන තමයි ආපහු එන්නෙ. ඔය ඒ පාර ගමට ගිය වෙලාවෙත් ඌ හොයාගෙන තිබුනා ඌට නිවුන් සහෝදරයෙකුත් ඉන්නවා කියලා.

මම කිව්වනේ නානා කම්පීතර ඉගෙන ගත්තෙ අයි.ඩී.එම් එකේ කියලා. අයි.ඩී.එම් එකට එන්න කලින් ඌ ඉගෙන ගත්තද කියලා නම් මම දන්නේ නෑ. හැබැයි ඔය අයි.ඩී.එම් එකේ නානලාගේ කාලෙ ඉඳලා තියෙනවා පොඩ්ඩක් ක්‍රැක් වෙච්ච ඩොකෙක්. නානා ඕකෙ ඩිග්‍රිය ඉවර කරලා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනා කාලේ, දවසක් මේ ඩොකා නානා උගන්න උගන්න හිටපු ලැබ් එකේ වීදුරු දොර අරින්න අමතක වෙලා ඒක කඩාගෙන ඇතුලට ආවලු. ඇවිල්ලා කම්පීතරයක් ඉස්සරහ වාඩි වෙලා බරටම වැඩලු. දොර කඩාගෙන ආපු පාරට පොරගේ මූන තැන් තැන් වලින් කැපිලා හිටු කියලා ලේ ගලනවා. ඒත් පොරට මතක නැහැල්ලු පොර ලැබ් එකේ දොරේ වීදුරුව කඩාගෙන තමයි ආවෙ කියලා. ඉතින් අන්තිමට බැරිම තැන නානලාගේ එකෙක් ගිහිල්ලා කිව්වලු,

"සර් ! ඔන්න සර්ව තුවාල වෙලා බ්ලීඩ් වෙනවා...." කියලා....!

ඒ පාර සර් කිව්වලු, "ඒක තමයි... මම හිතන්නේ අර ඔය ගොල්ලන්ගේ වීදුරු දොරක් තිබුනේ, ඒකකැඩුනද කොහෙද.....!"

(කැඩුනද කොහෙද නෙමෙයි, වීදුරු දොර කුඩු පට්ටම් වෙලාලු මූ දොර කාඩාගෙන ආපු පාරට )

අන්තිමට පොරව ඉස්පිරිතාලේ අරගෙන ගිහිලා මැහුම් හිටන් දාලලු ගොඩ ගත්තෙ.

ඔන්න නානා කිව්ව තව කතාවක් තමයි, තව දවසක් මේ ඩොකා දවල්ට ලන්ච් එක කක කකා ඉන්නකොට පොරට කෝල් එකක් ඇවිල්ලා ලැබ් එකේ තිබුනු ෆෝන් එකට. (ඒ කාලේ අද වගේ හැමෝටම මොබයිල් ෆෝන් තිබුනේ නෑනේ. ඉඳලා හිටලා හරි කාට හරි තිබුනා නම් තිබුනේ අර මෝටොරෝලා ගඩොල් බාගේ සෙල්ටෙල් ෆෝන් ). ඔන්න ඉතින් අපේ නානත් දුව ගෙන ලන්ච් රූම් එකට ගිහිල්ල පොරට කිව්වලු, සර් අන්න සර්ට කෝල් එකක් කියලා. ඔන්න ඩොකා මොකද කරලා තියෙන්නෙ දඩි බිඩි ගාලා නැගිටලා අතත් හෝදගෙන මොකද කරලා තියෙන්නෙ, කාලා ඉවර උනාට පස්සෙ කන්න ගෙනැල්ලා තිබිච්ච ආනමාළු ගෙඩිය අතට අරන් කනේ තියාගෙන "හෙලෝ...." කියලා කිව්වලු....! පොරට අමතක වෙලා පොර තාම ඉන්නෙ ලන්ච් රූම් එකේ කියලා.

මෙන්න මේ සිද්ධිය උනේ මගේ තවත් අතිජාත මිත්‍රයෙක් වෙන කීර්තිට. ඔය ගොඩක් පිරිමි වගේ කීර්තිටත් මේ උපන්දින, ඇනිවර්සරි මතක හිටින්නෙ නැති ලෙඩක් තියෙනවා. හැමදාම ඔය උපන්දින, ඇනිවර්සරි අමතක වෙලා පොර වයිෆ්ගෙන් අම්බානෙකට බැනුම් අහනවා. ඔන්න දවසක් කීර්ති උදේ වැඩට යන්න හදනකොට වයිෆ් ඉඳන් කියනවලු....

"අනේ කීර්ති, අද පොඩ්ඩක් වේලාසනින් ගෙදර එන්න... චර්ච් යන්න ඕනෙ....!"

වෙනදට ඉරිදට විතරක් පල්ලි යන වයිෆ් මේ තකහනියක් සතියේ දවසක පල්ලි යන්නෙ ඕන කියන්නෙ මොකද කියලා කීරිතිට දැන් හිතා ගන්න බැහැල්ලු. ටික වෙලාවක් කල්පනා කරනකොට තමයි කීර්තිට මතක් වෙලා තියෙන්නෙ මේ මාර්තු මාසෙ නේද, ඒ ගොල්ලන්ගේ වෙඩින් ඇනිවර්සරි එකත් වැටෙන්නෙ මේ මාසෙ නේද කියලා කල්පනා උනේ.

වෙනදට හැමදාම අමතක වෙන ඇනිවර්සරි එක අදනම් කොහොම හරි සෙලිබ්‍රේට් කරනවා කියලා එදා කීර්ති ශෝට් ලීව් එකකුත් දාලා ෆැබ් එකට ගිහින් හොඳවැයින් වයිෆ් කන්න කැමති චොකලට් කේක් එකකුයි, රෝසමල් පොකුරකුයි අරගෙන වීරයා වගේ ගෙදර ගියාලු.

ඔන්න එදා වේලපහින්ම ගෙදර ආපු කීර්තිව දැකලා වයිෆ්ට ෆුල් හොල්මන්ලු.

කීර්ති රෝස මල් පොකුරත් වයිෆ්ගේ අතට දීලා, කේක් එකත් මේසෙ උඩ තියලා වයිෆ්ට ලඟට ඇදන් අරගෙන හොඳ කිස් එකක් දුන්නලු.

ඒ පාර වෆ්යි ඇහුවලු,

"කීර්ති... මොකද මේ කවදාවත් නැතිව...?" කියලා.

ඔන්න ඒ පාර කීර්ති කියනවලු,

"අනුෂ්කා, අද තමයි මගේ ජීවිතේ සන්තෝසම දවස.....!"

ඔන්න අනුෂ්කාත් ෆුල් ප්‍රශ්නාර්ථයක් මූනේ තියාගෙන කීර්ති දිහා බලාගෙන ඉන්නවලු.

"අද වගේ දවසක තමයි අපේ ආදරයට තිබුනු ලොකුම බාධාව අපිට නැති උනේ....ඉතින් මට හරි සන්තෝසයි .!"

ඒක ඇහුනා විතරයි, අනුශ්කා කීර්තියට ඔරවලා, පට ගාල කාමරේට ගිහිලා දඩාං ගාල දොර වහ ගත්තලු.

කීරිතිටත් තේරුනාලු මොකක් හරි අබිලික් එකක් උනා තමයි කියලා. දැන් හිටු කියලා කල්පනා කරනවලු. මොකක්ද යකෝ මේ උනේ කියලා. ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි කීරිතිට මතක් උනේ අද මාර්තු 10 වෙනිදා, බොලේ අද අනුෂ්කාගේ අම්මගේ ඩෙත් ඇනිවර්සරි එක නේද කියලා.....

ප.ලි: අනුෂ්කයි කීර්තියි තාම හොඳින් පවුල් ජීවිතේ ගත කරනවා. (නම් ගම් පමණක් මනඃකල්පිත බව සලකන්න )

නිවාඩුවත් ඉවරයි ඕං

Posted by දුමී

පහුගිය දොහේ අපේ ගම හාමිනේ සහ පොඩි එවුන් ටික සමර් නිවාඩුව ගත කරන්න ලංකාවට ආවනේ. ජූනි මැද හරියේදි ඒගොල්ලන්ව ලංකාවට බස්සලා ජූලි මැද හරියේ ආපහු ගිය මම, අගෝස්තු අන්තිම සමර් නිවාඩුවේ අවසානය නිසා ආපහු ගියා ඒ ගොල්ලන්ව එක්කගෙන එන්න කියලා. එහෙම ගිහිල්ලා අපි ඔක්කොම ආපහු ආවේ පසුගිය 30 වෙනිදා. ඒ එනකොට මම අපේ අම්මවත් මෙහේ එක්කගෙන ආව මාස තුනක් විතර අපිත් එක්ක නිවිහැනහිල්ලේ ඉන්න කියලා.

ඉතින් ඔන්න මගේ මාස හයක් වයස පොඩ්ඩිට ඇරෙන්න අනිත් පස් දෙනාටම කිලෝ 30 ගානේ බැගේජ් එලවන්ස් එකක් තියෙනවා. ඊට අමතරව පස් දෙනාටම තවත් කිලෝ 7 ගාණේ හෑන්ඩ් ලගේජ් අරගෙන යන්න පුළුවං. ඔන්න ඉතින් අපේ ගම හාමිනෙත් පුළුවන් තරම් ධෛර්‍ය දැම්මේ මේ බැගේජ් එලවන්ස් එක අපතේ නොහරින්න. අපි යනකොට එනකොට අපේ බෑග් වල කිලෝ එකක් දෙකක් වැඩි උනහම හැමදාම අපිට සද්දෙ දාන එයාර්ලයින් එකට පාඩමක් උගන්න ඕනෙ කියන අදහස තමයි මම හිතන්නේ එයාට තිබුනේ. ඒක නිසා එක කිලෝ එකක්වත් අපතේ නොයන්න කලින්ම එයා ප්ලෑන් කරගෙන හිටියේ.

ඊලඟ අවුරුද්දටම කන්න කට්ට කරෝල කිලෝ තුන හතරකුයි, හොඳට ඔළු ටික කඩලා හාල්මැස්සෝ කිලෝ ගාණකුයි, තව පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් චොකලට් රෝල් දුසිමකුයි, හොඳ මැටියෙන් හදපු මැටි වලන් හතරක් පහකුයි (මේ මැටි වලං හැමදාම ගෙනියනවා, අන්තිමට එහේ ගියාට පස්සෙ ඒවයින් පොඩි එව්න්ට බට්ටෝ පනින්න තමයි වෙන්නේ ) වගේ මෙකී නොකී දේවල් බර තොගයක් එහෙම ලෑස්ති කරගෙන තමයි එයා හිටියේ. ඇයි කජු ? ඔන්න බොලේ කජු කිලෝ දෙක තුනකුත් අපේ ගම හාමිනේ ලෝබ නැතිවම ලෑස්ති කරගෙන තිබුනේ. අපි එහේ ඉඳන් නිවාඩුවට එනකොට එහෙන් මෙහෙට කජු ගේනවා. නිවාඩුව ඉවරවෙලා මෙහෙන් යනකොට මෙහෙන් ආයෙත් කජු එහේ ගෙනියනවා. ගම හාමිනේ නම් කියන්නේ එහේ කජු කන්න මෙහේ අය හරි ආසයි කියලා. ඊට පස්සෙ මෙහෙන් කජු එහෙ ගෙනියන්නෙ මොකද කියලා අහුවහම කියන්නේ මෙහේ කජු තරම් එහේ කජු රස නෑ කියලා.

ඒ අස්සේ මගේ ඇඟ හීතල වෙලා දාඩිය දැම්මේ අපේ ගම හාමිනෙයි එයාගේ අම්මයි කරපු කතාවක් ඇහිලා. දෙන්නත් එක්ක ගම හාමිනේලගේ ගෙදර කුස්සියේ ඉඳන් කතා කරන්නේ මේ ගල් වංගෙඩියේ දාල කොටලා ගන්න සම්බෝලේ තියෙන රස ගැන. මගේ වෙලාවට අපේ ගම හාමිනේට ගල් වංගෙඩි විකුණන තැනක් හොයාගන්න බැරි උනා ඒ සුනංගුවේ. නැතිනම් හයේ හතරේ ගල් වංගෙඩියකට සිද්ධ වෙනවා බෑග් එහෙකට බැහැලා ප්ලේන් එකේ නැගලා ඩුබායි එන්න.

ඒ අස්සේ අපේ අම්මත් ගම හාමිනේට දෙවනි නෑ. කොහොමත් අම්මලා හිතන්නේ මේ පිට රටක ඉන්නකොට තමන්ගේ පුතාලට හරි හමන් විදිහට කෑමක් බීමක් ලැබෙන්නේ නෑ කියලනේ. හැමදාම නිවාඩුවට ගෙදර ආපු ගමන් අම්මා කියන්නේ "අයියෝ ලොකු පුතේ, මොකද මේ ඇදිලා පැදිලා ගිහින්... මේ බලන්නකෝ... හකුත් බැහැලා...." කියලා.

අනේ ඉතින් අම්මත් මාස තුනක් අපිත් එක්ක ඉන්න එන එකේ ගොටු කොල මිටි සෑහෙන්න ගාණකුයි, කතුරු මුරුන්ගා, මුකුණුවැන්නා, කුරිඤ්ඤං කොල වගේ පලා ජාතිත් කොහිල දළු, කොහිල අල මහ ගොඩක් ගෙනියන්න ලෑස්ති කරගෙන හිටියා. ඒ අස්සේ රතු කැකුළු කිලෝ දහයකුත් ගමෙන් ගෙන්නගෙන ඕං අරගෙන යන්න කියලා. ඒ අස්සේ අම්මා මගෙන් අහනවා "ලොකු පුතේ, ඩුබායි වල පොල් ගෙඩියක් කීයක් විතර වෙනවද ?" කියලා අහනකොටම අම්මගේ යටි හිතේ හැංගිලා තිබිච්ච අදහස මට තේරිච්ච නිසා මම කිව්වා "අයියෝ අම්මේ, එහේ පොල් මෙහෙට වඩා ලාබයි......" කියලා.

කොහොමෙන් කොහොම හරි ඊට අමතරව මාළු ඇඹුල් තියල් හට්ටියකුයි, පොලොස් හට්ටියකුයි තව කැවුම්, කොකිස්, අතිරස අළුවා එහෙම පොදි බැඳගෙන තිබුනා. ඊට අමතරව මෙහේ ආපු ගමන් කන්නය කියලා කෙහෙල් කොල වල ඔතලා හොඳවැයින් බත් පාර්සල් කීපයකුත් අම්මා ලෑස්ති කරලා.

මමත් ඉතින් තව අවුරුද්දක්ම මෙහේ ජීවත් වෙන්න ඕනෙ නේද දෙයියනේ කියලා හොඳවැයින් 'ඕල්ඩ්' බෝතල් තුන හතරක් පරිස්සමින් බිඳෙන්නෙ නැතිව පැක් කරගත්තා. ගම හාමිනේත් කියන්නේ "ඔයාට ඉතින් ඔච්චරම තමයි ඕනෙ.... වෙන මොනවා නොගෙනිච්චත් කමක් නෑ..." කියලයි. ඇයි හත් ඉලව්වේ මගේ යාළුවෝ කී දෙනෙක් නම් බලන් ඉන්නවද ලංකාවෙන් ගෙනියන පොල් රස ටිකක් විඳ ගන්න. අනික ඔය කොස්, දෙල් පොලොස් පලා ජාති ලංකාවටත් වැඩියෙන් යහමින් එනවා ඩුබායි දේසෙට. මෙහේ හොයාගන්න බැරි ජාති නේද අපි මෙහෙන් ගෙනියන ඕනෙ ? ස්ත්‍රී පක්සෙට ඕවා කියලා දෙන්න ගොහින් වරිගේ නහ ගන්න ඕනෙ නැති හින්දා මමත් කටේ සිප් එක වහගෙනම හිටියා.

ඊට පස්සෙ මගේ රාජකාරිය උනේ ඔය ලට්ට ලොට්ට ටික ඔක්කොම හරියටම එක බෑග් එකකට කිලෝ 30ක් වෙන විදිහට පැක් කරලා දාන්න. හම්මේ, ඒකෙ සැප කියලා වැඩක් නෑ. පැක් කරනවා, කිරනවා, ආපහු වැඩි හරිය තව බෑග් එහෙකට දානවා, ආපහු කිරනවා, කොහොමෙන් කොහොම හරි පැය 4කින් 5කින් බඩු ටික පැක් කරලා ඉවර වෙනකොට මගේ කොන්දෙන් "කීන් කීන්" ගාල සද්දයක් එනවා. බැලින්නම් ඒ කොන්ද මගෙන් අහනවා "මචං, බඩු කිරලා ඉවරද කියලා..."

ෆලයිට් එක යන්න තිබුනේ පාන්දර 4.30 ට නිසා පාන්දර එකට විතර තමයි ගෙදරින් යන්න හිතාගෙන හිටියේ. කොහොම හරි රෑ 11.30 වෙනකොට බෑග් ටික පැක් කරලා ඉවර වෙච්චි නිසා යන්තන් පැයක් විතර ඇස් දෙක පියාගන්න පුළුවන් උනා. ඒ වෙනකොට අපේ අනිත් කට්ටියනම් සුන්දර හීන බල බල හොඳටම නිදි. මමත් ඉතින් අත්දෙකෙන්ම කොන්ද අත ගාගන්න අතරම ඇඳට වැටිලා ඩෝං ගාල නිදා ගත්තා. කොන්ද මට "තැන්ක් යූ මචන්.." කියලා කියනවා වගේ තමයි මට අන්තිමට මතක.

කොහොම හරි ඊලඟ කෙලිය තමයි එයාර් පෝට් එකට ගියහම. කිලෝ 30 බෑග් පහයි, තව හෑන්ඩ් ලගේජ් ටිකයි, ලැප්ටොප්, බේබි ට්‍රොලි (ප්‍රෑම්) අරවද මේවද එයාර් පෝට් ට්‍රොලි තුනක් පිරෙන්න බඩු. ඔන්න ඉතින් වෑන් එකෙන් බානවා, ආපහු ට්‍රොලි වලට පටවනවා, ඊට පස්සෙ ආයිත් ස්කෑන් මැෂින් එකට උස්සලා දානවා, ආපහු ස්කෑන් මැෂින් එකෙන් ට්‍රොලි වලට පටවනවා, ඊට පස්සෙ චෙකින් කවුන්ටර් එකේදි උස්සලා බෙල්ට් එකට දානවා, කොහොමින් කොහොම හරි ඔය ටික ඉවර වෙනකොට කොන්ද මාත් එක්ක තරහා වෙලා. නිකන් මගේ නෙමෙයි වගේ.

ඒ අස්සේ චෙකින් කවුන්ටරේට තිබුනු පෝලිම. කොහොමත් මේ දවස්වල සුද්දොයි, වැද්දොයි, කල වැද්දොයි මෙකී නොකී හැම ජාතියේ එවුන්ම එනවනේ ලංකාවෙ නිවාඩු ගත කරන්නය කියලා. කොහොම හරි එහෙම ආපු ඔය යුක්‍රේනය පැත්තේ හම සුදු එවුන් සෙට් එකක් ඉන්නවා පෝලිමේ මුලින්ම. අනේ උන් ටික මුළු ලංකාවම බෑග් වල දාගෙන අරගෙන යන්නද කොහෙද ට්‍රයි කරන්නේ. එකෙක් ගාව අර කැන්වස් රෙද්දකින් මහපු තඩි ගෝනියක් වගේ එකක් පිරෙන්න බඩු. එයාර්ලයින් වල ජාත්‍යාන්තර නීතිය තමයි එක බෑග් එකකට දාන්න පුළුවන් උපරිම බර කිලෝ 32යි කියන එක. එහෙම නීති දාල තියෙන්නේ මේ බැගේජ් හසුරුවන කම්කරුවන්ව ආබාධ වලින් වලක්ව ගන්න. බලන කොට අර යුක්‍රේන් පොරගේ ගෝනියේ කිලෝ 60කට වැඩියෙන් බඩු. අනේ ඉතින් කවුන්ටරේ හිටපු සුන්දර මූනක් තිබිච්ච නංගි බබා ඒ යුක්‍රේන් අංකල්ට දන්න ඉංග්‍රීසියෙන් කියනවා. ඒත් මොන, මූට ඉංග්‍රීසි මෙලෝ ඇල්ෆබට් එකක් බෑ. ඔන්න කොහොම හරි අර නගාගේ සපෝට් එකට පොරවල් සෙට් එකක් ඇවිත් හස්ත මුද්‍රාවෙනුයි, පාද මුද්‍රාවෙන් සහ තව මුද්‍රා පාවිච්චි කරලා පොරට සිද්ධිය විස්තර කලා. ඔන්න පොර ලැජ්ජාවක් බයක් නැතිව අර ගෝනිය ඇරලා ලට්ට ලොට්ට ටික එළියට ගත්තා. අර ගෝනිය පිරෙන්නම තිබුනේ මොනවද දන්නවද ? එක එක ජාතියේ සිලෝන් තේ. තේ බොන එක කොච්චර හොඳද, ඒත් මෙහෙමත් තේ බොන රටක් තියනවද ? මම හිතන්නේ ඒ පොර අර යුක්‍රේන් හන්දියේ තියන තේ කඩේ අයිති මුදලාලි....!

අනේ ඉතින් මේ ඇක්ශන් ෆිල්ම් ටික ඔක්කොම බල බල පැය එකහමාරක් විතර පෝලිමේ ලැග්ගට පස්සෙ තමයි බෝඩිං කාඩ් එක ලැබුනේ. ඉතින් බෝඩිං කාඩ් ටිකත් අරගෙන ඊලඟට යන්න තියෙන්නෙ ඉමිග්‍රේෂන් (ආගමන විගමන ) කවුන්ටරේටනේ. හප්පා එතනට යනකොට දඹදිව වන්දනාවෙ යන ආච්චිලා සියාලා 100 කට වැඩි නඩයකින් මුළු කවුන්ටර් ටිකම පිරිලා. කතාවෙ හැටියට ඒ නඩය ඔය අනුරාධපුර පැත්තෙ ඉඳලා තමයි ඇවිල්ලා තිබුනේ. ඒගොල්ලන්ව වන්දනාවෙ එක්කගෙන යන්නේ හාමුදුරුවො නමක්.

ඔන්න අපි ටිකත් කට්ටිය ටිකක් අඩු පෝලිමකට සෙට් උනා. මෙන්න බොලේ ටික වෙලාවකින් ඒ පෝලිමේ ටිකක් ඉස්සරහින් හිටපු ආච්චි කෙනෙක් තව පෝලිමක ඉන්න ආච්චි කෙනෙක්ට කතා කරනවා. "බේබි නෝනා අක්කේ.... මේකට වරෙන් බං..." අනේ ඉතින් අර බේබි නෝනා අක්කා ආච්චිත් ඒ පෝලිමේ ඉඳන් මේ පෝලිමට එනවා. තනියම නෙමෙයි, ඒ වෙනකොට අර පෝලිමේ ඉඳලා අළුතෙන් යාළුවෙච්ච අච්චිලා පස් හයදෙනෙකුත් එක්ක. ඇවිත් අර කතා කරපු ආච්චි ගාවින් පෝලිමට සෙට් වෙනවා. හරිම ශ්‍රද්ධාවක් තමයි එතකොට ඇති වෙන්නේ. ඔන්න ඒ අස්සෙ අර හාමුදුරුවො වඩිනවා දෙතුන් දෙනෙකුගේ ඩිපාචර් ෆෝම් (ලංකාවෙන් පිට වෙනකොට හැමෝම පුරවන්න ඕන ෆෝම් එකක්) ටිකකුත් එක්ක. ඇවිත් කෑගහලා නම් කියවනවා. අනේ ඉතින් අර පෝලිම්වල ඉන්න ආච්චිලා සීයලා ඔක්කොම ටික ඇවිත් අර හාමුදුරුවන්ව වටකර ගන්නවා. ඊට පස්සෙ අර දෙතුන් දෙනාට ෆෝම් ටික දුන්නට පස්සෙ රොත්ත පිටින්ම ආපහු අර පෝලිම්වලටම යනවා.

ඒ ආච්චිලා සීයලා ජීවිතේ ඉස්සෙල්ලාම මෙහෙම එයාර්පෝට් එකකට ඇවිත් ඉන්න නිසා ඒ හැම කරදරයක්ම හොඳ උපේක්ෂාවෙන් විඳ දරා ගත්තා කියමුකෝ.හැබැයි කැම්කෝඩර් එකකුත් දික්කරගෙන බොහොම උජාරුවෙන් හොඳ පලපුරුදු කාරයෙක් වගේ එහෙට මෙහෙට යන අර හාමුදුරුවො ගැන නම් හරිම පහන් හැඟුමක් තමයි ඇති උනේ. ඒ වයසක මිනිස්සුන්ට හරි හමන් විදිහට ලියකියවිලි ටිකවත් ලෑස්ති කරලා, ඒ ගොල්ලන්ව දැනුවත් කරන්නෙ නැතිව එහාටයි මෙහාටයි දක්කන දැක්කිල්ල දැකලා.

කොහොමෙන් කොහොම හරි පාන්දර 3.30 වෙනකොට අපි බෝඩින් ගේට් එකේ. අතින් කටින් පොඩි එවුන්වත් අරගෙන ඒ වෙලාව වෙනකොට පාං කියාගන්න බෑ. සනීපේ කියන්නේ ෆලයිට් එක පැයක් පරක්කුයි. එයාර්ලයින් එක කොච්චර පාරිභොගිකයන්ට සලකනවද කියනවනං කිසිම දැනුම් දීමක්/සමාව ගැනීමක් නෑ. කොහොමෙන් කොහොමහරි ඔන්න ඉතින් ප්ලේන් එකට බෝඩ් කරන වෙලාවත් ආවා. අනේ ඉතිං කට්ටිය ලංකාවෙ ප්‍රයිවට් බස් වලට නැගලා පුරුද්දට හිටු කියලා දොර ගාව පොර කනවා. හරියට නිකං ප්ලේන් එකේ හිටගෙන යන්න වෙයි කියලා වගේ. හැමෝටම අමතකයි ඒ ගොල්ලන්ගේ සීට් එක කලින්ම වෙන් කරලා තියෙන්නේ කියලා. ඔන්න ඒ පොරකකා හිටපු කට්ටිය ප්ලේන් එකට ගියාට පස්සෙ අන්තිමට අපි ටිකත් ප්ලේන් එකට නැග්ගා. හුටා, ඒ ඩිංගට මගේ සීට් එක උඩ බවලතෙක් අරක් අරගෙන හොඳටම බුදි. ඉතින් මම කාරුණිකව ඇඟිල්ලෙන් ඇනලා කිව්වා "ඔය සීට් එක මගේ" කියලා. ඔන්න ඊට පස්සෙ එයා හරිම ආදරණීය බැල්මකින් මගේ දිහා බලාගෙන ඉඳලා පුපුර පුපුර මීටර් දෙතුන් සීයක් ප්ලේන් එකේ පිටි පස්ස පැත්තට ගියා.

ඔන්න ඉතින් ප්ලේන් එක පිටත් වෙන වෙලාවත් ආවා. සුපුරුදු විදිහට දැනුම් දීමක් කරනවා ලැප්ටොප්, මොබයිල් ෆෝන් සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ක්‍රියා විරහිත කරන්න කියලා. මොකද ඒවා නිසා ප්ලේන් එකේ නැවිගේෂන් සිස්ටම් එකට බාධා පැමිනෙන්න පුළුවන් නිසා. ඒ අස්සෙ ඉස්සර සීට් එකක ඉන්න බවලතෙක් ෆෝන් එකෙන් තොඳොල් වෙමින් මල් කඩනවා හිටු කියලා. ටික වෙලාවකට පස්සෙ මෙයා දඩි බිඩි ගාලා හෑන්ඩ් බෑග් එක ඇතුලෙන් නොකියා ෆෝන් චාර්ජර් එකක් අරගෙන ඒක ගහන්න තැනක් හොයනවා. ඒක දකලා මම තද කරලා ඇස් දෙක පියාගත්ත පාරට එහෙම්මම නින්ද ගියා. ආපහු ඇහැරුනේ සාජා වලට ප්ලේන් එක ගොඩ බාන්න විනාඩි විස්සක් විතර තියෙත්දි. ඉතින් පැය හතරහමාරක් විතර යන මුළු ගමන් කාලේදි ප්ලේන් එක ඇතුලේ වෙච්ච දේවල් බලාගන්න මට බැරි උනා.

ඔන්න ඔහොමයි නිවාඩුව ඉවරවෙලා ආපහු එන දවසේ අන්තිම පැය කීපෙදි අත්දකින්න වෙච්ච දේවල්.





ප.ලි : මම ලියන්න ගියේ මේ කතාව නෙමෙයි. ලියන්න ගිය කතාවට පූර්ව කථනයක් විදිහට මේක ලියාගෙන යනකොට දන්නෙම නැතිව පෝස්ට් එකටත් වඩා දික් උනා. ඔන්න ඒ පාර මේක වෙනම පෝස්ට් එකක් විදිහට දාන්න තීරණය කලා. ලියන්න ගිය පෝස්ට් එක ඊලඟට දාන්නම්.

ඔවා දෙනු පරහට - දිගට හරහට

Posted by දුමී

පොඩි කාලේ ඉඳලම අපිට කොච්චර නම් අවවාද අනුශාසනා ලැබෙනවද ? දෙමව්පියන්ගෙන්, වැඩිහියන්ගෙන් ගුරුවරුන්ගෙන්, පන්සලේ හාමුදුරුවන්ගෙන්, පල්ලියේ ස්වාමිගෙන් වගේ ඔය මෙකී නොකී අයගෙන්. ඔහොම යනකොට අපිට අම්මලා තාත්තලා දෙන අවවාද අනුශාසනා දිරවන්නෙ නැතිව යන කාලයක් තියෙනවා, මොකද ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නෙ "එපා.." කියන අවවාදේ තමයි ගොඩක් වෙලාවට, "ඕක කරන්න එපා...", "ඒ ගමන යන්න එපා...", "ඔය ඇඳුම අඳින්න එපා..." වගේ දේවල්. ඒවා කනකට ගන්නෙ නැති උනත් අපිට නොදැනුවත්වම අවවාද අනුශාසනා ගන්න, ඕන වෙලාවට ඉදිරිපත් වෙන යාළුවො සෙට් එකක් ලැබෙනවා විතරක් නෙමෙයි, අපෙන් අවවාද අනුශාසනා ගන්නත් යාළුවො සෙට් එකකුත් ගොඩක් වෙලාවට අපිට සෙට් වෙනවා. ඉතින් අපි ඔය උපදෙස් ගන්න වැඩේ හරි උපදෙස් දෙන වැඩේ හරි එහෙම ලේසියෙන් අත අරින්නේ නෑ. අපිත් ඉතින් කරන්නෙ යාළුවො නයි අරින හැටි අහගෙන ඉන්න ගමන්ම අපිත්, ලඟ ඉන්න පොඩි නයි දෙන්නෙක් තුන් දෙනෙක් විතර උඩ අරිනවා. තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් ඇරෙන්න වෙන ඕනෙම කෙනෙක් කියන දෙයක් ගොඩක් වෙලාවට ඉස් ඉස්මුදුනින්ම තමයි පිළිගන්නෙ. ඇයි ඊට අමතරව ඔය රේඩියෝ වල ටී.වී වල ඉන්න ගිරව් දෙන නා නා ප්‍රකාර උපදෙස්, ඒ වගේම පත්තර කාරයෝ එහෙම ඒ ගොල්ලන්ගේ තීරු ලිපි වලින් දෙන උපදෙස්, මෙන්න මේ වගේ, "මල් දෙවැට දිගේ පියනගමු....!", "මල් වැටෙන් මලක් කඩා ගමු...", වගේ දේවල්. මේ ඔක්කොම ලියන්න ගියොත් මගේ කට විතරක් නෙමෙයි ඔළුවත් කහන්න ගන්නවා.

ඔය රේඩියෝ වලින් උපදෙස් දෙන ගිරව් ලංකාවෙ විතරක් නෙමෙයි මේ පැත්තෙත් යහමින් ඉන්නවා. දැනට මාසෙකට විතර කලින් මම උදේ වැඩට එන ගමන් රේඩියෝ එකේ ලොකු සාකච්චාවක් යනවා. උදේ වැඩ සටහන ඉදිරිපත් කරන "ආකේලියා" කියන ප්‍රෙසෙන්ටර්ගේ එක ඇහැක් පැය ගාණක් තිස්සේ නටන්න පටන් අරගෙන (eye twitching) අලි විකාරයක්. දැන් ඉතින් මෙයා අහගෙන ඉන්න අයවත් සම්බන්ධ කරගෙන මෙහෙම ඇස් නැටවෙන්න හේතුයි, ඒකට ප්‍රථිකාරයි, අරවැයි මේවයි තොරතෝංචියක් නැතිව කියවනවා. ඔන්න ඉතින් එක එක අය එස්.එම්.එස් වලින් එහෙමත් නැත්නම් කෝල් කරලා එයාලගේ අදහස් කියනවා. ටික වෙලාවකට පස්සෙ කෝල් එකක් එනවා. කතා කරපු විදිහට එංගලත්තෙ පැත්තෙ සුද්දෙක් වෙන්න ඕනෙ. පොර නියමෙට ඇස් නටන එක ගැන එක්ස්ප්ලේන් කරනවා. ඒකට බලපාන හේතු මොනවද , ස්ට්‍රෙස් එක නිසා හැදෙන්න පුළුවන්, නිදි මැරීම නිසා හැදෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ස්නායු ආබාධ, ස්පාකින්සන් (අංශභාගේ) රෝගේ මුල් අවස්ථාව වෙන්න පුළුවන් වගේ දේවල් දැන් පොර කියනවා. ඔන්න ඊට පස්සෙ පොර කියලා දෙනවා මේක වලක්වගන්නෙ කොහොමද කියලා. මූනට කරන්න පුළුවන් එක එක එක්සසයිස් ගැනයි, රුධිර පීඩනය පරීක්ෂා කරගන්න එක ගැනයි, මේක වලක්වා ගන්නවා නම් කන්න ඕන කෑම ගැනයි ෆුල් ප්‍රොෆෙෂනල් විස්තර කිරීමක් දෙනවා. දැන් ආකේලියාට හරිම සතුටුයි. එයා කියනවා,

"ඔබ තුමාට ගොඩක් ස්තූතියි, මේ වගේ ඇස් නටන එක දිගටම තිබුනොත් අපේ අසන්නන්ට ඔබතුමා හමුවෙලා ප්‍රථිකාර ගන්න ඔබ තුමාගේ ක්ලිනික් එක කොහෙද තියෙන්නෙ ?"

"මගේ ක්ලිනික් එක ? මට කිලින්ක් එකක් නෑ. මම පයිප්ප බාස් කෙනෙක්....!"

ඇස් නැටීම ගැන ප්‍රෝග්‍රෑම් එක එතනින්ම ඉවරයි.

                             ෴෴෴

දැන් මේ කියන්න යන්නෙ මෙහේ ඉන්න මගේ යාළුවෙක් මට කියපු කතාවක්. ගොඩක් වෙලාවට ලංකාවෙදිනම් පොඩි බබාලව හදන කොට අපේ බිරින්ඳෑ වරුන්ට අපේ අම්මලාගෙන් එහෙම උපදෙස් ලැබෙනවා මොනව හරි දන්නෙ නැති දෙයක් එහෙම අහගන්න ඕන උනහම. ඒත් ඉතින් මෙහෙදි ඒ වගේ හදීසි අවස්ථාවලට ගොඩක් වෙලාවට උපදෙස් ගන්න වෙන්නෙ යමක් කමක් දන්න යාළුවන්ගෙන්. ඔන්න මගේ යාළුවගේ වයිෆ් ළමයි දෙන්නෙක් ඉන්න ටිකක් දැනමුතුකම් තියෙන එක්කෙනෙක්. ගොඩක් වෙලාවට අනිත් යාළුවන්ගේ වයිෆ්ලා එහෙම මෙයාට කතා කරලා තමයි ඔය බබාලට අසනීප උනහම කරන්නෙ මොනවද, අළුත් කෑමක් එහෙම හදන්නෙ කොහොමද වගේ පොඩි පොඩි උපදෙස් එහෙම ගන්නෙ. කොහොම හරි මේගොල්ලන්ටත් ඉන්නවා මාස ගානක මේ ඊයේ පෙරේදා ඉඳුල් කට ගාපු පොඩි එකෙක්. ඒ වගේම තවත් යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක්ටත් ඉන්නවා ඒ වයසෙම වගේ පොඩි එකෙක්. අපි මේ දෙවනියට කිව්ව වයිෆ්ට ෆාතිමා කියලා කියමුකො කතාව කියන්න ලේසි වෙන්නත් එක්ක. ඔන්න දවසක් නිවාඩු වෙලාවක යාළුවගේ වයිෆ්ට ෆාතිමාගෙන් කෝල් එකක් එනවා. යාළුවගේ වයිෆුත් පොඩි එකාගේ වැඩ කර කර ඉන්න ගමන් නිසා ස්පීකර් ෆෝන් දාගෙන තමයි කතා කරන්නෙ. ඔන්න සංවාදේ යන්නෙ මෙහෙම.

ෆාතිමා : "අනේ අක්කේ, අපේ බබාට හාල්මැස්සෝ දුන්නට කමක් නැත්ද ?"

යාළුවගේ වයිෆ්: "ෆාතිමා, හාල් මැස්සෝ හරිම ගුණයි පොඩි බබාලට, ඔයා හාල්මැස්සො හොඳට තම්බලා, කටු සුද්ධ කරලා, පොඩි කරලා බත් එක්ක කවන්න...."

ෆාතිමා : "ආහ් හරි, තැන්ක් යූ අක්කේ...!"

ඔන්න ඉතින් ඒ සංවාදේ එහෙම ඉවර උනා. ( ඇත්තටම ඉතින් සංවාදේ එහෙම ඉවර වෙන්නෙ නෑ. ඕක පැය එකහමාරක් දෙකක් යන එකක්නේ. ඒත් ඉතින් මේ ටික ඔක්කොම බ්ලොග් එකේ දාන බැරි නිසා ඔය අවශ්‍යය කරන කෑල්ල විතරයි දාල තියෙන්නෙ. )

ඔන්න ඊට සති දෙකකට විතර පස්සෙ අපේ යාළුවගේ වයිෆ් ෆාතිමාට කෝල් එකක් දෙනවලු. ඒ සංවාදේ යන්නෙ මෙහෙම,

යාළුවගේ වයිෆ් : "අනේ ෆාතිමා, අපේ පොඩි බබාට කරෝල දුන්නට කමක් නැත්ද ?"

ෆාතිමා : "ඔව් ඔව් අක්කේ, කරෝල හරි ගුණයි පොඩි බබාලට. ගොඩක් ප්‍රෝටීන් තියෙනවනේ....."

යාළුවගේ වයිෆ් : "එතකොට හාල්මැස්සෝ....?"

ෆාතිමා : "ඔව් ඔව්, හාල්මැස්සොත් හරි ගුණයි. මගේ යාළුවෙකුත් මට කිව්ව කටු අයින් කරලා බත් එක්ක අනලා දෙන්න කියලා..."

යාළුවගේ වයිෆ් : "අනේ තැන්ක් යූ ෆාතිමා, මම බයෙන් හිටියේ හාල්මැස්සෝ බබාට දෙන්න. හොඳ වෙලාවට ඔයා කිව්වෙ...."

අනේ ඉතින් මගේ යාළුවට කලෙන්තෙ වගේ ඇවිල්ලා ඉක්මනට වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගියාලු.

                           ෴෴෴

ඔය බඳින්න කෙල්ලො හොයන කොල්ලන්ට දෙන උපදේශයක් තියෙනවනේ. අර කසුත් මේක ලිව්වා එක පෝස්ට් එහෙක. කොහොම හරි මේ කතාව මම අහලා අවුරුද්දක් දෙකක් වෙනවා. ඒ උපදේශෙ තමයි,

"කෙල්ලව බලන්න කලින් කෙල්ලගේ අම්ම දිහා බලපන්.....!" කියන එක. මොකද අම්ම තප්පදෝරු සයිස් නම් කෙල්ලත් ටික කාලෙකින් ඒ සයිස් එකට පත් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි නිසා. අම්ම ෆුල් ස්ලිම් එකේ ඉන්නවනම්, බය නැතිව ගෑනිට ඕන තරම් කන්න දෙන්න පුළුවන්.

ඔන්න ඔහොම ඉන්නකොට මට අහන්න ලැබුනා කොල්ලෙක් එක්ක යාලු උන කෙල්ලෙක්ට කෙල්ලගේ අම්මා දෙන උපදෙසක්. මෙන්න මෙහෙම,

"දුවේ, උඹ යාළුවෙලා ඉන්න කොල්ලගේ ඔළුව ලොකුද කියලා බලපන් ?"

ඔන්න ඉතින් දුව කියනවා,

"අනේ නෑ අම්මේ. එයා හරිම හොඳ නිහතමානී එක්කෙනෙක්....!"

ඔන්න ඒපාර අම්මා කියනවා,

"මගුල් නිහතමානී කමක් නෙමෙයි බං මම කියන්නෙ, බලපං උගේ ඔළුව, ඔළු බක්කෙක් වගේ ලොකුද කියලා...නැතිනම් උගේ ළමයි වදන්න ගියාම උඹට තමයි අමාරු වෙන්නෙ...!"

මයිනෙක් ගැන සහ ගෙම්බෙක් ගැන සින්දුවක්

Posted by දුමී

මම පුංචිම පුංචි කාලේ කවුරු හරි කිව්වොත් පුතේ සින්දුවක් කියන්න කියලා මම කියන්නෙම "බණ්ඩලාගේ හාවා, දිව්වා බයවෙලා..." කියන සින්දුව. ඕක ඉතින් එහෙමයි කියලා දන්නෙ අපේ අම්මා කියන හින්දා. මට අවුරුදු 5ක් විතර වෙනකොට අපේ තාත්තා විදේශ ගත වෙච්ච නිසා, ටික කාලෙකට පස්සෙ තාත්තා ගෙදරට එව්ව කැසට් රෙකෝඩර් එකෙන්ම ඔය සින්දුව කියලා රෙකෝඩ් කරපු කැසට් එකක් අපේ ගෙදර තිබුනා ගොඩක් මෑතක් වෙන තුරුම. ඒ කැසට් එකේ අපි ඔක්කොමල්ලා සින්දු කියලා රෙකෝඩ් කරලා තාත්තට යවලා තිබුනා ඒ දවස්වල අහන්න කියලා. අපි ගොඩක් ලොකු වෙන තුරුම තාත්තා ගාව මේ කැසට් එක පණ වගේ ආරක්ෂා කරන් තිබුනා. ඒ කාලේ මට මේ ගැන එච්චර හිතට වැදුනේ නැති උනාට, අපි ගැන තාත්තාගේ හිතේ තිබුණු අප්‍රකාශිත සෙනෙහස මැනූ මිම්මක් ලෙස තමයි මට අද ඒ සිද්ධිය මතක් කරන්න පුළුවන් වෙන්නෙ. ඒක මට අද වඩාත්ම හොඳින්ම දැනෙන්නෙත් ඒ කාලේ තාත්තගේ ඇස් දෙක ඒ කැසට් එක නිසා කී පාරක් තෙත් වෙන්න ඇතිද කියලා හිතෙන්නෙත්, මම අද වෙනකොට දරුවො තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක් නිසා.

ඉතාමත්ම සොඳුරු කලාකාමී හදවතක් තමයි අපේ තාත්තාට තිබුනේ. ලංකාවෙ නාවික හමුදාවෙ නිලධාරියෙක් විදිහට රාජකාරි කරන කොට තමයි තාත්තා ඉස්සෙල්ලාම ගිටාරයක් වාදනය කරන්න ඉගෙන ගෙන තියෙන්නෙ, ඒ වෙනකොට නාවික හමුදාවෙ තූර්ය වාදක කණ්ඩායමේ සේවය කරමින් ඉඳලා තියෙන ෆෝචූන්ස් නායක ස්ටැන්ලි පීරිස් මහත්මයාගෙන්. මේ කියන්නෙ එකදාස් නමසිය හැට ගණන්වල. නාවික ඉංජිනේරුවෙක් වූ තාත්තා විසින්ම පස්සෙ කාලෙක ඉතාමත් විශිෂ්ඨ විදිහට හදා ගත් ඉලෙක්ට්‍රික් ගිටාර් එකකින් තමයි තාත්තා ප්‍රිය සාද වල, සමහර වෙලාවට සංගීත කණ්ඩායම් එක්ක වාදනය කරලා තියෙන්නෙ. මට අද දිනයේදී යම් වාදන හැකියාවක් තියෙනවානම්, ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන අපේ තාත්තාට. තාත්තගෙන් මට උරුම වෙච්ච වටිනාම දායාදය ලෙස මම සලකන්නෙ මේ හැකියාවයි.

මගේ මුල්ම සංගීත ගුරුවරයා උනෙත් තාත්තාමයි. මගේ පොඩි බාප්පා විසින් මට තෑගි කරන ලද බොක්ස් ගිටාරයකින් මට මුල්ම ගිටාර් පාඩම කියලා දෙන කොට මට වුරුදු 12ක් විතර වෙන්න ඇති. ඒ 1986 වගේ තමයි මතක. පස්සෙ 1990 දී පැවති සාමාන්‍යය පෙළ විභාගය විෂිශ්ඨ ලෙස සමත් වෙච්ච සතුටට තාත්තා විසින් මට තෑගි කලේ විදුලි ඕගනයක් සහ Ten Speed බයිසිකලයකුයි. මොනවා උනත් ඒ තෑගි දෙක අතරෙන් මට වඩාත්ම වටිනා තෑග්ග උනේ බයිසිකලයයි. කොළු වයසේ සිටි මට මුළු කොළඹ පුරාම අස්සක් මුල්ලක් නෑර කරක් ගහන්න පහු කාලෙකදී දුකට සැපට දෙකටම තිබුනේ ඒක තමයි.කොහොමෙන් කොහොම හරි විදුලි ඕගනයටත් ඇඟිලි හුරු කරගන්න ඒ ලැබුනු තෑග්ග රටක් වටින දෙයක් උනා. උසස් පෙළින් පස්සෙ වැඩිදුර අධ්‍යාපණය ලබන කාලෙදි සංගීත කණ්ඩායමකට සම්භන්ධ වෙලා මගේ වියදම් මා විසින්ම සොයා ගත්තෙ ඕගන් වාදක ශිල්පියෙක් විදිහට කටයුතු කරලා තමයි.

ඉස්කෝලේ හයේ පන්තියේ ඉඳන්ම මම පාසලේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමත් එක්ක සම්භන්ධ වෙලා හිටියේ බට නලා වාදකයෙක් විදිහට. ඒ කාලේ පාසලේ මිතුරන් අතර මම කොච්චර ජනප්‍රියද කියනවානම්, මටත් වඩා ඉහල පන්තිවල අයියාලාත් තමන්ගේ විනෝද චාරිකා වලට මාව සම්භන්ධ කරගත්තෙ මම විසින් සපයන ලද නොනවතින සංගීතය නිසාමයි. තම්මැටමක්, දවුලක් සමග බට නලාවෙන් මැවෙන සංගීතය පපර බෑන්ඩ් එකකට නොදෙවනි වෙච්ච නිසා පාසලේ බිග් මැච් කාලෙටත් මට හොඳ ඉල්ලුමක් තිබුනා. ඇත්තටම කිසිම බරක් පතලක් නොතිබිච්ච ඒ කාලේ තරම් සුන්දර කාලයක් තවත් තිබුනේ නෑ නේද කියලා තමයි දැන් අපහු හැරිලා බලන කොට පේන්නෙ.

(ඇත්තටම මට ඉතාමත් කෙටියෙන් කියන්න ඕන වෙච්ච දේ ඇඟිලි තුඩු විසින්ම නොදැනුවත්වම මහා විස්තරයක් බවට පත් කරලා.)

ජීවිතේ ඉස්සෙල්ලාම මිතුරන් රැලකුත් එක්ක මධුවිතක් තොලා ගාන්න පෙළඹෙන්නෙ NIBM එකේ මම ඉගෙන ගන්න කාලෙදි තමයි. ඉඳලා හිටලා එක්සෑම් එකක් ඉවර වෙච්ච ගමන් යාළුවො ටික සෙට් වෙන්නෙ කාගෙ හරි ගෙදරක පොඩි සින්දුවක් කියලා මදු විතක් තොල ගාන්න. එතනදිත් යාළුවන්ට මාව සහ මගේ බොක්ස් ගිටාර් එක නැතිවම බැරි අංගයක් උනා. ගොඩක් වෙලාවට ඒ හමුවන් ඉතාමත් සුන්දර මතකත් එක්ක තමයි පිරිලා තියෙන්නෙ. ඒ අතර හිටපු ගොඩක් යාළුවො ඒ වෙනකොට සමහර වෙලාවට තමන්ගේ සිහින කුමරියන් වෙත දුර ඉඳන් පෙම් කරන අය, සමහරක් අය ආදරය බිඳ වැටිලා, මගේ වගේ සමහරෙක් අයගේ ආදරයේ උච්චතම අවස්ථාව තමයි ගෙවෙන්නෙ. ඉතින් ගොඩක් වෙලාවට ගායනා කරන්නෙ "සඳ හොරෙන් හොරෙන්....", "කුමරියක පා සළඹ සැලුනා...", "පෙරදිනයක මා..", "මංමුලාවී....", "විකසිත පෙම්...", "කොළොම් තොට.." ඔන්න ඔය වගේ හරිම සුන්දර ගීත.

NIBM එකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට මගේ මුල්ම රැකියාව කරන කාලෙදිත් ඔය පුරුද්ද නැති උනේ නෑ. NIBM එකේම හාඩ්වෙයාර් ලැබ් එකේ යාළුවෙක් ගිටාර් එකක් ගෙනැල්ලා තියෙලා තිබ්බා. ගොඩක් වෙලාවට හවස 6ට ස්ටුඩන්ට්ස්ලගේ ප්‍රැක්ටිකල් ඉවර වෙච්ච ගමන් කට්ටියම එකතු වෙලා තව පැය දෙකක් විතර සින්දු කියලා තමයි ගෙවල් වලට යන්නෙ. හරිම සුන්දර කාලයක් තමයි ඒක. විනෝද සවාරිත් ඒ වගේම ගීත වලින්ම පිරිලා ඉතිරිලා තමයි තිබුනේ. ඔන්න ඔය කාලෙදි තමයි අපේ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකේ කොල්ලෝ ටික "Boys night out" එකක් ඕගනයිස් කලේ. ඒක තිබ්බේ තවත් යාළුවෙක්ගේ ගෙදර. ඒ යාළුවාගේ අම්මයි තාත්තයි මූට ගේ බාර දීල පිට රට ඉන්න අක්කලාගේ ගෙදර ගිහිල්ලා මාස කීපයකට. ඉතින් මුළු ගෙදරම අපේ වගේ තමයි. ඔන්න ඉතින් හවස 5ට විතර පටන් ගත්ත සොඳුරු සැන්දෑව හරිම ලයාන්විතව ගලා ගෙන යනවා අර මම කලින් කියපු වගේ ගීතත් එක්ක. එක එක්කෙනා තමන්ට කැමති ගීත රික්වෙස්ට් කරනවා "මචං අරක ගහපන්... මේක ගහපන්..." කියලා. ඉතින් පුළු පුළුවන් විදිහට ඒ රික්වෙස්ටුත් ඉටු කරමින් වැඩේ නැගලා යනවා. එදා මාත් එක්ක තවත් යාළුවෙක් ගිටාර් එක ප්ලේ කලා. ඉතින් දෙන්නත් එක්ක සහයෝගෙන් වැඩේ ඇදගෙන යනවා. ඉතින් ටිකක් රෑ බෝ වෙනකොට කට්ටියගේ පදමත් ටික ටික හරියාගෙන එනවා. ඒ අස්සෙ එකෙක් රික්වෙස්ට් කරනවා "මචන් මචන් මිල්ටන්ගේ සින්දුවක් ගහපන්.....” කියලා. ඔන්න ඉතින් මමත් මගේ ගිටාර් සගයාට කිවා හරි මචං "ඒ මයිනර් (A minor)" ගහපන් කියලා. මොකද ඒ සින්දුව යන්නෙ A minor ස්කේල් එකේ නිසා.

ඔන්න ඒපාර තව එකෙක් අහනවා "මචං අළුත් සින්දුවක්ද ?"

ඉතින් මමත් කිව්වා "පිස්සුද බං, මේ සින්දුව හෙන පරණ එකක්..." කියලා

"අනේ නෑනෙ බං මම අහලා නෑනේ.... මිල්ටන් කියන ‘ඒ මයිනා.....’ සින්දුව....."

අනේ ඉතින් හිතා ගන්න පුළුවන්නෙ යාළුවාට වෙච්චි දේ. එදා ඉඳන් උගේ නම "ඒ මයිනා..." උනා.

හැබැයි ඒක එතනින් නැවතුනෙත් නෑ. තව් ටිකක් රෑ වෙලා දැන් පොඩ්ඩක් නැගලා යන සින්දු යන වෙලාව. දැන් ටිකක් විතර පදමට වඩා වැදිලා හිටිය අර යාළුවා ආපහු කියනවා...

"මචං..... අර ගෙම්බෙක් ගැන සින්දුවක් තියෙන්නෙ.... ඒක ගහපන්කෝ....." කියලා.

"ගෙම්බෙක් ගැන සින්දුවක්......? ඒ මොකක්ද බං......?" මමත් දැන් අහනවා. මොකද මට ෂුවර් මම නම් ගෙම්බෙක් ගැන සින්දුවක් දන්නෙ නෑ කියලා.

"අර අර කව්බෝයිලා කියන්නෙ මචං.... ගෙම්බෙක් ගැන සින්දුවක්...." මූ ආපහු කියනවා.

"මොකක් ? කොහෙද බං කව්බෝයිලා ගෙම්බෝ ගැන සින්දු කියලා තියෙන්නෙ.....?" තවත් එකෙක් දැන් මුගෙන් අහනවා.

කට්ටියම දැන් ෆුල් හොල්මං වෙලා මූ මේ කියන සින්දුව මොකක්ද කියලා......!

“ඔව් බං.... අර අන්තිමට ගෙම්බෙක් ගෙම්බෙක් ගෙම්බෙක් කියලා තියෙන්නෙ....අපි පොඩි කාලේ කව්බෝයි කරන කොටත් ඒක කිව්වනේ.....”

"මොකක්, උඹ පොඩි කාලේ කව්බෝයි කලා...."

"ඔව් ඔව්, අර කවුබෝයි මචං... බාලදක්ෂ බාලදක්ෂ ...."

හුටා මූට ස්කවුට්වයි, කව්බෝයිවයි පැටලිලා. කට්ටිය දැන් බඩවල් අල්ලගෙන හිනා වෙනවා.

තවත් ටික වෙලාවකට පස්සෙ තමයි කට්ටියට මීටර් උනේ මූ මේ කියන ඒ කව්බෝයිලා ගෙම්බෙක් ගැන සින්දුව මොකක්ද කියලා.

ඔන්න ඉතින් ඒ සින්දුව තමයි

"ගිං ගැං ගුලි ගුලි........."

මූට අර "ගෙම්බෙක් ගෙම්බෙක් ගෙම්බෙක්" කියලා ඇහිලා තියෙන්නෙ "වොම්බහ්ක් වොම්බහ්ක් වොම්බහ්ක් " කියන කෑල්ල.


(ප.ලි - මේ සින්දුව ලියලා තියෙන්නෙ බාල දක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවුල් සාමි වරයා විසින් අප්‍රිකානු ජන ගීයක් ඇසුරෙන්.මේ ගීතය හැම බාලදක්ෂ කඳවුරකම නොවැරදීම ගායනා කරන එකක්.)

(බ්ලොග් දෙවියන්ගේ ප්‍රශ්නයක් නිසා සුපුරුදු කමෙන්ට් බොක්ස් එක ඇපියර් වෙන්නෙ නෑ. කමෙන්ට් එකක් දැමීමට සුපුරුදු කමෙන්ට් බොක්ස් එකට පහලින් තාවකාලික කමෙන්ට් බොක්ස් එකක් දමා ඇත.)

අවුරුද්දයි - පනහයි

Posted by දුමී


ගිය අවුරුද්ද අප්‍රේල් මාසේ දිහාවෙ නිකං කම්මැලි කමට මූනු පොතේ රවුමක් ගගහා ඉන්න කොට තමයි "දුකාගේ 100 වෙනි පෝස්ට් එක ...." කියන ලිපිය මගේ හිතවත් මිතුරෙක් වන පාලිත විසින් ෂෙයාර් කරලා තිබුනේ. දැකපු ගමන්ම හිතුනේ මේ මම දන්නා හඳුනන "දුකා" (වසන්ත බන්ඩාර දුක්ගන්නරාල ) විසින් දාපු ලිපියක් කියලා තමයි. මම ඒ දුකාව දැනගෙන හිටියේ මීට අවුරුදු බර ගාණකට කලිනුයි. ඒ මම සංගීතය පැත්තෙන් ලංකාවෙ රඟ දක්වපු ප්‍රසිද්ධ නාටිටි සෑහෙන ගාණක් එක්ක සම්භන්ධ වෙලා ඉන්න කාලේ. මට ඒ දුකාව මුණ ගැහුනේ ප්‍රසන්නජිත් අබේසූරිය විසින් නිර්මාණය කරපු "දොර්දණ්ඩා" කියන නාට්ටියට සම්භන්ධ වෙලා ඉන්න කොට. දුකා ඒ නාට්ටියේ සත්තු වත්තේ මුර කාරයාගේ චරිතය රඟ පෑවා. අවුරුදු කීපයක් මේ නාට්ටිය එක්ක මුළු රට වටේම කරක් ගහලා තිබුනු නිසා, ඒ දුකාව ලඟින් ඇසුරු කලා ඒ කාලේ.

කොහොමෙන් කොහොම හරි දාල තිබුනු ලින්ක් එක දිගේ ගිය මට දැක ගන්න ලැබුනේ මේ දුකා ඒ දුකා නෙමෙයි කියලා. ඒත් ඉතින් ඔන්න ඔහේ ආපු එකේ දාලා තියෙන ලිපිය කියවගෙන කියවගෙන ගියා. ඒ ලිපියත් දාල තිබුනේ මම ඉතාමත් ආදරය කරන ගායකයෙකු වන අබේවර්දන බාලසූරිය ගැනයි. හරිම රසවත් විදිහට ලියවිලා තිබුනු ඒ ලිපිය හරහා මම දුකාගේ අනිකුත් ලිපිත් එකින් එක කියෙව්වා. කොහොමත් ඒ ලිපි කියවලා ඉවර වෙනකොට මම නොම්මර එකේ "දුකා රසිකයෙක්" වෙලා ඉවරයි. ඔන්න ඊට පස්සෙ දුකාගේ බ්ලොග් රෝල් එක හරහා අනිත් බ්ලොග් වලට යන පාර හම්බ උනා. ඔය කාලේම තමයි කතන්දර විසින් පටන් අරන් තිබුනු චූ කතන්දර බ්ලොග් අවකාශෙ පුරා නැගලා ගියේ. කොහොමෙන් කොහොම හරි ඊට පස්සෙ මට සෙට් උනේ, මාරයාගේ හෝරාව සහ අතිතයෙන් අහුලන මතකයන්, සොඳුරු සිත වගේ බ්ලොග් අඩවි. කලින් සිංහල පත්තර ටික කියවන්න දවසින් කාලයක් වෙන් කරගෙන හිටපු මට, ඒ කාලේ යොදවලා බ්ලොග් ටික කියවගන්න ලැබුනා.

ඒ කාලේ මාරයා පංසලේ කතාව පටන් අරගෙන කරගෙන යනවා හරිම රසවත් සහ තමන්ටම ආවේණික ශෛලියකට. මම ඉස්සෙල්ලාම කියෙව්වෙ මාරයාගේ කතාවෙ මාරයා කියලා තිබුනේ ඇබිත්තයෙක් විදිහට පන්සලේ ජීවිතය පටන් ගත්ත විදිහයි. කොච්චර ලස්සනට ඒ කතාව ලියලා තිබුනාද කියනවනන් මම හිතුවේ මේ මාරයා නව කතාවක් ලියනවා කියලයි. පස්සෙ දවසක මම මාරයාගෙන් කමෙන්ටුවකින් ඇහුවා මතකයි, මේ ලියන්නෙ ඇත්ත කතාවක්ද නැත්නම් නව කතාවක්ද කියලා. දිල් ලියපු අතීතයෙන් අහුලන මතකයන් කතාවත් කොච්චර හිතට වදින විදිහට ලියලා තිබුනද කිව්වොත් මම මුලදී හිතුවේ කොටස් වශයෙන් පලවෙන නව කතාවක් කියලයි. මම මාරයගෙන් අහපු ප්‍රශ්නෙම දිල්ගෙනුත් ඇහුවා මතකයි.

ඔය විදිහට කාලයක් බ්ලොග් රසිකයෙක් වෙලා ගිටිය මට මේ වෙනකොට බ්ලොග් එකක් කරන්න තදින්ම ඕන වෙලා තිබුනේ. ඊට පස්සෙ මගේ පිහිටට ආවෙ SBU එකේ තිබුනු සිංහල බ්ලොග් එකක් පටන් ගමු කියන කුප්පියයි. ඊට පස්සෙ පැය ගාණක් කට්ට කාලා බ්ලොග් එකට දාන්න හොඳ ටෙම්ප්ලේට් එහෙකුත් හොයාගෙන, නමකුත් තෝරගෙන පලමුවෙනි ලිපිය දුමීගේ පිවිසුම කියලා දැම්මෙ හරියටම අදට අවුරුද්දකට කලින් 2010, මැයි 24 වෙනිදා.

ඉස්සෙල්ලම බ්ලොග් පෝස්ට් එකක් ලියලා පබ්ලිෂ් කලාට පස්සෙ ඒක සිංහල බ්ලොග් කියවනයෙයි, ලාංකීය සින්ඩියෙයි පබ්ලිෂ් වෙච්ච වෙලාවෙ දැනුනු සතුට ගැන නම් කියලා වැඩක් නෑ. මම හිතන්නෙ හැම අංකුර බ්ලොග් කරුවෙක්ම ඒ වින්දනය ඒ විදිහටම විඳිනවා. ඊට පස්සෙ මගේ බ්ලොග් එකේ පලවෙනිම ෆලෝවර් උනේ හසිත ජයසූරිය මල්ලි. ඉස්සෙල්ලාම කමෙන්ට් එක දැම්මෙත් එයා. මගේ පලවෙනි පෝස්ට් එකටම ඒ වෙනකොට බ්ලොග් අවකාශයේ පතාකයන් වන දුකා සහ කතන්දරත් කමෙන්ට් කිරීම මට සෑහෙන්න ලොකු දෙයක් උනා. ඉන් නොනැවතුන දුකා ආගන්තුකයෙක් වෙච්චි මගේ බ්ලොග් එක එයාගේ බ්ලොග් රෝල් එකට දාගත්තා. අද උනත් මගේ බ්ලොග් එකට සිංහල බ්ලොග් කියවනයයි, ලාංකීය කියවනයයි ඇරුනහම වැඩියෙන්ම හිට්ස් එන්නෙ දුකාගේ බ්ලොග් රෝලෙන්. ඒ පලවෙනි පෝස්ට් එක තුලින් මුන ගැහුනු දුකා කියන සුන්දර මිනිහා සහ ඒ මිත්‍රත්වය තමයි මගේ මේ බ්ලොග් කරණයේදි මේ තාක් කාලයක් මම නෙලා ගත්ත වටිනාම ඵලය.

සොඳුරු සිත ලියන වත් නංගිත් මගේ පෝස්ට් අනිත් අය අතරට අරගෙන යන්න සෑහෙන්න උදව් කලා ඒවා ගුග්ල් බස් එකෙයි, මූනු පොතෙයි පබ්ලිෂ් කරලා. ඒකෙන් ගොඩක් දෙනෙක් මගේ බ්ලොග් එක ගැන දැන ගත්තා. බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඒකට කමෙන්ට් එකක් වැටෙනවා වගේ සන්තෝසයක් බ්ලොගර් කෙනෙකුට තවත් නෑ. සමහර වෙලාවට ජී මේල් ඉන් බොක්ස් එක රී ෆ්‍රෙෂ් කර කර හිටපු අවස්ථා තියෙනවා කමෙන්ටුවක් වැටෙනකම්.

මම සැබෑ ජීවිතයේදි මගේ හැඟීම් විවෘතව පෙන්නන මිනිහෙක් නෙමෙයි. ගොඩක් දේවල් හිතේ තියාගෙන බොහොම ටිකක් වචන වලින් පිට කරන මට මේ ගැන අපේ ගම හාමිනෙත් සෑහෙන්න දොස් පවරලා තියෙනවා. එහෙම හිටිය මට මගේ හිතේ තෙරපෙන අදහස් නිදහසේ ගලාගෙන යන්න මේ බ්ලොග් එක ලොකු පිටිවහලක් උනා. ඉතාමත් ආතතියකින් යුතු රැකියාවක් කරන වෙලාවට, බ්ලොග් එකක් ලියලා, තෙරපිච්ච හිත ලිහලා දාන්න පුළුවන් වෙන එක කොච්චර ලොකු දෙයක්ද ?

අද බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන දවස. මේ පෝස්ට් එකත් එක්ක මම මේ තාක් දාලා තියෙන්නෙ පෝස්ට් 50යි. ඒක මහ ගොඩක් නෙමෙයි. එහෙම බලද්දි මම තාම ආධුනිකයෙක් කියලයි මට හිතෙන්නෙ. මගේ බ්ලොග් එක වටේ සෑහෙන්න බ්ලොග් රසිකයෝ ටිකක් වටවෙලා ඉන්නවා පේනකොට නම් දැනෙන සන්තෝසේ කියලා නිම කරන්න බෑ. බ්ලොග් පෝස්ට් එකක් දාලා වැටෙන හැම කමෙන්ට් එකක්ම කොච්චර දිරියක්ද කියලා ඔනෙම බ්ලොගර් කෙනෙක් දන්නවා.

ඔන්න ඉතින් මමම මගේ මේ කට කහන බ්ලොග් එකට හැපි බර්ත් ඩේ කියලා කියා ගන්නා ගමන්ම, තව අවුරුද්දක් කොහොම හරි දුවන්නත් තෙල් වතුර ටිකක් මාරු කරලා දැන්ම ඉඳන්ම ලක ලෑස්ති වෙන්න තමයි ඕං කල්පනාව.....

අපි පරාදයි මල්ලියේ

Posted by දුමී

වැප් මල්ලි ගොඩක් වෙලාවට චැට් එකෙන් මට කතා කරන්නෙ ගුගුල් බස් එකේ යන මොකක් හරි දෙයක් ගැන අප්ඩේට් එකක් දෙන්න එහෙමත් නැත්නම් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියලා කාව හරි බයිට් කරන්න. 18 වෙනිදා රෑ වැප් මල්ලි ගුගුල් චැට් එකෙන් ඇවිත් මට කතා කරහම මම හීනෙකින්වත් හිතුවෙ නෑ වැප් ආවේ අවාසනාවන්ත ආරංචියක් කියන්න කියලා. ඒත් ඒ දේ සිද්ධ වෙලා.

මෙහි සඳහන් වේලාවන්, එක්සත් අරාබි එමීරයේ වේලාවෙන් බව සලකන්න. (GMT + 4 - ලංකාවේ වේලාවෙන් පැය 1 1/2 පසුපසින් )

මෙයින් අවුරුද්දකට වගේ ඈතට යනකොට මම "ඉලන්දාරියා" කියලා දැනගෙන හිටියේ ඉතාමත් අපූරු නිර්මාණ කරන තවත් එක සහෘද බ්ලොග් කරුවෙක්ව. ඔහු මගේ බ්ලොගයේත් මම ඔහුගේ බ්ලොගයේත් ඉඳ හිට කමෙන්ටුවක් දැමීම ඇර වෙන කියන්න තරම් විශේෂත්වයක් තිබුනේ නෑ. ඒ වෙනකොටත් තමන් පෙලනාවූ ශ්‍රවණ අබාධයද අමතක කර මෙවන් නිර්මාණ කරනයේ යෙදී සිටිනවා කියලා අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ. තමන්ගේ ශ්‍රවණ ආබාධය ගැන ලොවට හෙලි කර, තමන්ට නැවතත් ලොව අසන්නට උදව් වන්න යැයි ඉලන්දාරියා ආයාචනය කරන්නේ මේ අතරයි. ඉන් පස්සේ සිංහල බ්ලොග් අවකාශයේ සිද්ධ වෙච්ච පෙරළිය ගැන ආපහු අටුවා ටීකා ලියන්න අවශ්‍යයයි කියලා මම හිතන්නෙ නෑ.

ඉලන්දාරියාගේ ආයාචනය පළ කෙරුනු දිනට පසු දින උදෑසන දුකා මා අමතන්නෙ ඉලන්දාරියා වෙනුවෙන් අපට කල හැකි දේ ගැන කතා කරන්න. ඉතාමත් දීර්ඝ කතිකාවකට පස්සෙ කල හැකි කාර්යයන් එකින් එක සලකා බැලීමෙන් පසු මෙහෙදී අපහට කල හැකි හොඳම දේ නම්, පැදුරු පාටි ව්‍යාපෘතිය කියලා අපි තීරණය කරන්නෙ. පැදුරු සාජ්ජ 10ක් පවත්වා මුළු මුදලින් 10%ක් වත් සොයා ගැනීමට පිඹුරුපත් සැකසූ අපිට, ඒ මුදල සාජ්ජ 4ක් පමණක් පවත්වා සොයා ගැනීමට ලැබීම අපි සියළුම දෙනාවම ඉතාමත් දිරිමත් කිරීමක් උනා. ඉන්පසු අපේ ඉලක්කය උනේ, බලාපොරොත්තු වූ පරිදිම පැදුරු සාජ්ජ 10ම හෝ, ඊට වැඩියෙන් පවත්වා රුපියල් ලක්ෂ 10ක් පමණ එකතු කර ගැනීමට. මේ ලැබූ ප්‍රගථිය නිසා අපි වගේම ඉලන්දාරියත් පසු වූයේ දැඩි සතුටකින්.

දිලුම්ව කොහොම හරි ගොඩ දානවා යැයි අපේ සිතේත්, "මගේ යාළුවෝ" මාව කොහොම හරි ගොඩ දානවා යැයි දිළුම්ගේ සිතේත් දහසක් බලා පොරොත්තු ඇති වෙලයි තිබුනේ. දිළුම් ඉඳ හිට මූණු පොත හරහා අපි මේ කරගෙන යන කාරිය ගැන තමන්ගේ අතිශය කෘතඥ්ඥ බව පල කලේ,

"දුමී අයියේ, මම වෙනුවෙන් කරන මේ කැප කිරීමට ඔයාටත් යාළුවන්ටත් මට දෙන්නෙ තියෙන්නෙ පිං විතරයි....!" කියලා.

ඉතාමත් කැප කිරීමකඉන් මේ කාර්යය අපි දිළුම් වෙනුවෙන් සිදු කලේ දිලුම්ගේ අබාධය සුව වෙන තුරු මේක අත අරින්නෙ නෑ කියන අධිෂ්ඨානයත් එක්ක. බොහෝ විට මා පාන්දර දෙක තුන හෝරා පහුවනතුරු පැදුරු පාටියකට සහභාගී වූයේ දරු ප්‍රසූතියට ඉතා ආසන්නව පසු වූ මගේ බිරිඳව ගෙදර තට්ට තනියම තනි කර දමායි. එහිදී යම් හදීසියක් වුවහොත් ඇයව රෝහල කරා රැගෙන යෑමට පවා කිසිවෙක් නොසිටියේ, බොහෝ විට මාගේ සියළුම මිතුරනුත් මා සමග පැදුරු සාජ්ජයට සහභාගී වෙමින් සිටි නිසයි.මා මෙන්ම මා වට උන් සියළුම මිතරනුත් මේ කාර්යයට උර දුන්නේ දහසකුත් එකක් කැපකිරීම් මැද. අපි සෑම දෙනාගේම සිතේ තිබුනේ එකම අරමුණයි. "අපි කොහොම හරි දිළුම්ව ගොඩ දානවා....!" කියන හැඟීමයි.

ඉතාමත් සුළු ශල්‍යකර්මයක් යැයි පැවසූ, දිළුම්ගේ ඔළුවේ තිබූ කුඩා ගෙඩිය ඉවත් කිරීම මේ විදිහට අවසන් වෙයි කියලා කොහොම සිතන්නද ?

“මෙතෙක් කල් මම වෙනුවෙන් කල සියලු දේට ඔබ සැමට ස්තුතියි!”

ඒ තමයි මූනු පොතේ දිළුම් සැත්කමට පෙර අවසානයට දමා තිබූ කෙටි සටහන.

"දිළුම්, මල්ලියේ නුඹේ කාලය අවසාන යැයි උඹ දැනගෙන සිටියාද ? නැතිනම් උඹේ වටේ හිටිය දෙමව්පියන්ට, මිතුරන්ට තවත් බරක් නොවෙන්න නුඹ සිතා ගත්තාද ?"

උඹේ සවණ පාදන පුණ්‍ය කර්මය සම්පූර්ණ කිරීමට අපිට පිණක් නැති උනා. උඹ සිතෙනුත් ගතෙනුත් දරා ගත්තාවූ අපමණ වූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් අද වෙන විට මිදිලා.

උඹව ගොඩ දානවා යැයි අදිටන් කරගෙන හිටපු අපි ඔක්කොම අද මරුවාට පරාද වෙලා !

නුඹ දිනෙක නිවන් දකිනා තුරු මෙවන් ව්‍යසනයක් අත් නොවේවා !

කොණ්ඩේ කැපීම

Posted by දුමී

මට මතක තියෙන විදිහට පොඩි කාලේ මම අකමැතිම දේවල් වලින් එකක් තමයි කොණ්ඩේ කපන්න යන එක.ගොඩක් වෙලාවට කොණ්ඩේ කපන්න, මරන්න ගෙනියන හරකෙක් වගේ මාව ඇදගෙන අම්මා යන්නෙ සෙනසුරාදා හරි ඉරිදා හරි දෙයියනේ කියලා සෙල්ලං කරන්න තියෙන වෙලවෙදි තමයි. එහෙම සෙල්ලං කරන්න තියෙන වෙලාව කැප කරලා බාබර් සාප්පුවෙ පැයක් විතර පෝලිමේ ඉඳලා ඉඳලා පැය භාගයක් විතර ආපහු කොණ්ඩේ කපන පුටුවෙ වාඩිවෙලා ඉන්නකොට සංසාරෙත් එක්ක එපා වෙනවා. ඊටත් වඩා බාබර් අංකල්ගේ ගෙම්බර් එක තමයි කාල ඉන්න බැරි. පොඩ්ඩක් හරි ඔළුව එහෙ මෙහෙ හෙලෙව්වොත් දැළි පිහිය පෙන්නලා කියනවා "දැඟලුවොත් කණ කපනවා" කියලා. අනේ ඉතින් ඔය පොඩි කාලේ කොණ්ඩේ කපපු තරමක් කැපුවෙ කණට තියෙන ආදරේ නිසා.

ඊට පස්සෙ පොඩ්ඩක් ලොකු වෙනකොට, ඒ කියන්නෙ 3නේ පංතියේ, 4 පංතියේදි විතර කොණ්ඩෙ කපන්න යන්න උනේ තනියම.රුපියල් 5හේ කොලේකුත් අතේ ගුළි කරගෙන බයිසිකල් රිම් එක කෝටු කෑල්ලකින් ඩ්‍රයිව් කරගෙන රිම් එකෙන් තමයි කළුබොවිල හන්දියේ තියෙන බාබර් සාප්පුවට යන්නෙ. අම්මා කියලා එවන්නෙ "ලොකු පුතේ, කොණ්ඩේ කොටවෙන්න කපාගෙන එන්න......" කියලා. මමත් ඉතින් "හා හා අම්මේ..." කියලා රිම් එකත් පැදගෙන බාබර් සාප්පුවට දුවනවා. ඒ වෙනකොට බාබර් අංකල්ගේ දැලි පිහියට තියෙන බය ගිහිල්ල තමයි තිබුනේ. "කොල්ලෝ.... මොකද කොට කරනවද....?" පුටුවට නැග්ග ගමන් ඔන්න බාබර් අංකල් අහනවා....."කොට කරන්න....? පිස්සුද අංකල් ... ඔන්න ඔය වටේට කපලා දාන්න..." ඔන්න ඉතින් යන්තන් වලස් පෙනුම මැකෙන්න බාබර් අංකල් වටේට ට්‍රිම් පාරක් දානවා. කොණ්ඩේ කපලා ඉවර වෙච්ච ගමන් රිම් එකෙන්ම යනවා කොල්ලො ටික ක්‍රිකට් ගහන තැනට. එතනත් හොඳට සෙල්ලං කරලා කළුවර වැටුනහම තමයි ඔන්න ආපහු ගෙදර දුවන්නෙ. ඒ වෙනකොට බඩේ පණුවො පිනුම් ගහන වෙලාව. ගෙදර ගිය ගමන් අම්මා කුස්සියේ ඉඳන් ඔළුව දාල බලනවා. "දුමී... මම කිව්ව නේද කොණ්ඩේ කොට කරන්න කියලා.... මොකක්ද ඔය කපලා තියෙන නාඩගං කට් එක.... දුවපන් ආපහු කොණ්ඩේ කොට කරගෙන වරෙන් අද රෑට කන්න ඕනෙ නං...." අනේ ඉතින් ලයිට් නැති නිසා ඒ වෙලාවට රිම් එකෙන් යන්නත් නෑ.... පයිංම ආපහු බාබර් සාප්පුවට යනකොට බාබර් අංකල් බාබර් සාපුවෙ අන්තිම ලෑල්ල වහනවා. අනේ ඉතින් බාබරයට වැඳලා රෑ කෑම එක නැති වෙන එක ගැන කියලා කොණ්ඩේ කොට කර ගන්නවා. එදායින් පස්සෙ බාබර් අංකල් නෙමෙයි අහන්නෙ මොන කට් එකද ඕනෙ කියලා. පුටුවට නගින්න කලින්ම කොණ්ඩෙන් බාගයක් කොට කරලා ඉවරයි.....!

අපේ ඉස්කෝලේ කොල්ලෝ ඔක්කෝටම ලොකුම ඛේදවාචකේ උනේ ඔය 87, 88 කාලේ වගේ තමයි. 87 දි මම 8 වසරේ. ඒකාලේ බෝයි ජෝජ් ගේ කල්චර් ක්ලබ් එකයි, ජෝජ් මයිකල්ගේ වෑම් ගෲප් එකයි, ඒවැයි හිටපු එවුන්ගේ හරිම හරි ලස්සන කොණ්ඩා මෝස්තර ටික අප්පා. ඉතින් ඉස්කෝලෙ කොල්ලො ඔය එක එක ජාතියෙන් හෙයාර් කට් කපලා, ඊට පස්සෙ මයිකල් ජැක්සන් වගේ විළුඹෙන් උඩට කලිසම කපලා ඉස්කෝලෙ එනවා. ඔන්න එතකොට තමයි අපේ ප්‍රින්සිපල් හරිම දරුණු තීරණයක් අරගන්නෙ. එයා ඉස්කෝලෙට පත් කරගන්නවා ආයෙත් නෑ ෆුල් ටයිම් බාබර් කෙනෙක්ව. එදායින් පස්සෙ සති දෙකකට සැරයක් ඉස්කෝලෙ හැමෝම බාබර් ගාවට යන්න ඕනෙ. ගාස්තුව රුපියල් තුනයි.කිසි කෙනෙක්ට බාබර්ට අරෙහෙම කපන්න මෙහෙම කපන්න කියලා උපදෙස් දෙන්න බෑ. ඒ බාබර්ව කෙලින්ම ප්‍රී-ප්‍රෝග්‍රෑම්ඩ්. වාඩි වෙච්ච ගමන්ම අර "කකුළුවා" මැෂිම අරගෙන "ටක ටක ටක ටක" කියල දෙනවා ගේමක්, ආපහු ඔළුවෙ ඉන්න උකුනො ඔක්කොම අනාතයි. උන්ට හදීසියකට හැංගෙන්නවත් එක කෙස් ගහක් ඉතුරු කරන්නෙ නෑ. ආයි ලොකු පන්ති කියලා මේ ඛේදවාචකෙන් ගැලවීමක් නම් තිබුනේ නෑ. ඉතින් කට්ටියට තොප්පි සරණං ගච්චාමි තමයි. ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට යන්නෙ තොප්පියක් දාගෙන. ඇයි පාරෙ බැහැලා යන්න බැහැනේ. හරියට හිරෙන් පැනපු හිර කාරයෝ ටිකක් වගේ. ඉස්කෝලේ කැඩටින් ස්කොඩ් එකයි, අනිත් එවුන්වයි වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන්නෙ, කැඩෙට්ස්ලා මාචින් ප්‍රැක්ටිස් කරන කොට විතරයි.

ඒ කාලෙත් ඔන්න ඔහොම ගෙවිලා ගියා කියමුකෝ. මගේ පොඩි කොල්ලගෙත් පොඩිම කාලේ කොණ්ඩේ කපන්න පුදුම ගේමක් දෙන්න උනා. ඒ දවස්වල අපි කොල්ලව එක්කගෙන යන්නෙ පොඩි එවුන්ගෙ විතරක් කොණ්ඩේ කපන සැලූන් එහෙකට. ඒකෙ පුටු විදිහට තියෙන්නෙ, සෙල්ලං කාර්, ප්ලේන් වගේ දේවල්. ඔය මොන දේ තිබුනත් ඌ නෙමෙයි මෙලෝ යකෙකුට කොණ්ඩෙට අත තියන්නවත් දෙන්නේ. ඔය සැලූන් එකේ හිටියේ පිලිපීන් බාබර්ලා. ඒ ගොල්ලෝ බාබර් වරුද බාබර් වරියොද කියලා හරියටම කියන්න බෑ. බැලූ බැල්මට බාබර් වරු වගෙයි. හැබැයි ගමන බිමන,කතා බහ, මේකප් වගේ දේවල් ඔක්කොම වලින් පේන්නෙ බාබර් වරියෝ වගෙයි. මගේ ගම හාමිනෙත් මාව ඒ සැලූන් එකට ජීවිතේට තනියෙන් නම් අරින්නෙ නෑ. ඒ බාබර්ලත් අම්මලා එනවට කැමති නෑ. තාත්තලා පොඩි එවුන්ව එක්කගෙන එනවනම් තමයි හරි සැලකිලි. පොඩි එකාව පැත්තක තියලා තාත්තාගේ කොණ්ඩේ කපන්න තමයි ට්‍රයි එක දෙන්නෙ.

ඒ කිව්වෙ මෙහෙදි අපේ පොඩි එවුන්ගේ කොණ්ඩෙ කපන්න වෙන කරදර මහන්සිය ගැනනේ. ඊටත් වඩා අපිට මහන්සියක් ගන්න වෙනවා අපේ මේ කොණ්ඩේ චුට්ටක් කපා ගන්න. මෙහෙ ගොඩක් බාබර්ලා බංගලියෝ. උන්ගේ බාබර් සාප්පුවකින් තමයි යන්තන් පොකට් එකට සැහැල්ලුවක් දැනෙන විදිහට කොණ්ඩේ කපා ගන්න පුළුවන් වෙන්නෙ. කොන්ඩේ කපන්න දැන් නම් ගොඩක් වෙලාවට ඩිරාම් 15ක්, ඒ කියන්නෙ ලංකාවෙ රුපියල් වලින් නම් රුපියල් 450ක් විතර ගන්නවා. දැනට අවුරුදු 3කට 4කට පෙර නම් කොන්ඩේ කපන්න ඩිරාම් 10කට වඩා ගියේ නෑ. තව වැලිව් ඇඩඩ් සර්විස් එකක් විදිහට බාබර් විනාඩි 5ක විතර හෙඩ් මසාජ් එකක් දෙනවා. ඒක රහ වැටිලා තව විනාඩි 15ක් විතර එක්ස්ටෙන්ඩ් කර ගන්න තව ඩිරාම් 5ක් විතර වැඩිපුර ගෙවන්න ඕනෙ.

ඉතින් ඊලඟට තියෙන ප්‍රශ්නේ තමයි තමන්ට ඕන හෙයාර් ස්ටයිල් එක හරි කපන්න ඕනෙ විදිහ හරි මේ බංගලියන්ට කියන එක. මොකද උන්ට ඉංග්‍රීසි මෙලෝ මල පොතේ අකුරක්වත් බෑ. එහෙම පුළුවන් උනත් කපන්න ඕනෙ විදිහ ඉංග්‍රීසියෙන් කියා ගන්න අපි දන්නෙත් නෑනෙ. ඔන්න ඉතින් කපන්න ඕනෙ හෙයාර් ස්ටයිල් එක කියන්නෙ, "ටූ, ටූ, ත්‍රී" හරි "ටූ ටූ ෆෝ" හරි, "ත්‍රී ත්‍රී ෆෝ" හරි කියලා තමයි. ඒ කියන්නෙ, අර කොණ්ඩේ කපන මැෂිමට දාන තල වල සයිස් එකෙන්. මම ගොඩක් වෙලාවට කපන්නෙ "ටූ ටූ ත්‍රී" කට් එක. ඒ කියන්නෙ ඔළුවෙ වම් පැත්තයි දකුණු පැත්තයි කපන්නෙ නොම්මර දෙකෙන්. ඉතිරි හරිය නොම්මර තුනෙන්. "ටූ ටූ ත්‍රී". බාබරයටත් වැඩේ පහසුයි, අපිටත් කොණ්ඩේ කැපුවට පස්සෙ හිත් වේදනා, හද කම්පාවන් ඇති නොකර ගෙන උපේක්ෂාවෙන් ගෙදර යන්න පුළුවං. මෙහෙදි ඔය ක්‍රමේ අපේ ලංකාවෙ ගොඩක් දෙනෙක් ෆලෝ කරනවා කියලා මම දන්නෙ මොකද ගොඩක් වෙලාවට පාර තොටේදි ඕනෙම ලංකාවෙ කෙනෙක්ව කොණ්ඩේ දැකපු ගමන් අඳුන ගන්න පුළුවන්. ඒ අර මම කලින් කියපු හෙයාර් ස්ටයිල් වලින් එකකට අනුව කොණ්ඩේ කපන නිසා.

දැනට අවුරුදු කීපයකට කලින් මෙහෙදි කොණ්ඩේ කපන්න ගිහිල්ලා මගේ යාළුවෙකුට හරි අකර තැබ්බයකට මුහුන පාන්න උනා. මම කිව්වනේ අර කොණ්ඩේ කපලා ඉවර වෙච්ච ගමන් වැලිව් ඇඩඩ් හෙඩ් මසාජ් එකක් දෙනවැයි කියලා. අනේ ඉතින් මේ මසාජ් එක කොච්චර සිරාද කියනවනන් අපේ එකාට සනීපෙට පුටුව උඩම නින්ද ගිහිල්ලා. මූට කොච්චර තදේට නින්ද ගිහිල්ලද කිව්වොත් බාබර් මූව ඇහැරවන්න ට්‍රයි කරලත් මූ ඇහැරිලා නෑ. අන්තිමට බාබර්ගේ බිලේ බ්‍රේකප් එක මෙන්න මෙහෙමයි.

කොණ්ඩේ කැපුවාට - ඩිරාම් 10
හෙඩ් මසාජ් එකට - ඩිරාම් 5
පුටුව උඩ නිදා ගත්තට - ඩිරාම් 10

ඇයි මූ පුටුව උඩ නිදි නිසා බාබර්ට වෙන එකෙක්ගෙ කොණ්ඩේ කපන්න බැරි වෙච්ච එකේ පාඩුවත් මුගෙන්ම අරගෙන.

(ප.ලි - කොණ්ඩේ කැපීම ගැන තව කතා දෙක තුනක්ම තියෙනවා. මේක දිග වැඩි වෙච්ච නිසා ඒ ටික ඊලඟ පෝස්ට් එකෙන් බලා පොරොත්තු වෙන්න.....!)

අපේ මිරිස් කැවිල්ල

Posted by දුමී

1505 දී පෘතුගීසි කාරයෝ ලංකාවට අහම්බෙන් ගහ ගෙන ආවෙ මේ පෙරදිග තියෙන කුළුබඩු ගැන හොය හොයා යන ගමන් කියලා හැමෝම දන්නවනේ. ඉතින් මේ ගොල්ලෝ ලංකාවට බැහැලත් මොකද කලේ, පුළු පුළුවන් විදිහට ලංකාවෙ වැවෙන කුළුබඩු ජාති ඒ කියන්නෙ, ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා, කුරුඳු, (සමහර විට මිරිස් ) වගේ දේවල් පොදි ගහගෙන තමන්ගෙ රටවල් වලට ඇදපු එක තමයි. එහෙම නිකන් ඉන්න බැරුවට ඔච්චර මහන්සි වෙලා කුළුබඩු හොයන්නෙ නෑනෙ මේවට එච්චර ඉල්ලුමකුත් නැතිනම්. අනික පහු කාලෙදි පෘතුගීසින්ගෙ අතේ තිබුනු ඒකාධිකාරය ඩැහැ ගන්න ලන්දේසියොත් හරි හරියට බෙලි කඩාගෙන මුන් එක්ක යුද්ද කරානේ . ඒ ඉතින් උන්ට තිබිච්ච කැහිල්ලට නෙමෙයි මේ කුළුබඩු වලින් හොඳට ප්‍රොෆිට් තිබිච්ච නිසා. අනික පෘතුගීසි කාරයෝ, ලන්දේසි කාරයෝ මේ කුළුබඩු එහෙමත් නැතිනම් "ස්පයිසස්" අරගෙන ගොහිල්ල වෙලඳාම් කලේ කාටද, තනිකරම යුරෝපයට. ඒ කාලේ මේ පෙරදිග කුළුබඩු වලට කොහොම ඉල්ලුමක් තිබුනද කිව්වොත්, යුද්ද කරගෙන, මරාගෙන බෙලිකඩාගෙන, නැව් ගිල්ලෝගෙන මේවා උන්ගේ රටවල් වලට අරගෙන ගියත් කට කපලා 400% ක විතර ශුද්ධ ලාබයක් තිබුනලු. එහෙනන් කොහොම ඉල්ලුමක් යුරෝපයෙන් මේවාට තියෙන්න ඇතිද ? ඒත් මට තියෙන පුරස්නේ තමයි හත් ඉලව්වෙ මෙච්චර ලංකාව ඇතුළු පෙරදිග රටවල් වලින් කුළුබඩු හූරගෙන හූරගෙන කෑවත් මේ යුරෝපයේ ඉන්න සුදු බුවාලා මිරිස් කරලක් දැක්ක ගමන් ගැහිලා, ගැහිලා සීතල වෙලා උණ ගන්නවා. උන් මිරිස් වලට එච්චරටම බයයි. වැඩිය ඔනෙ නෑ, ගම්මිරිස් වලටත් උන් කියන්නෙ "ගන් පව්ඩර්" එහෙම නැතිනම් වෙඩි බෙහෙත් කියලා. පෙනේද මේ චන්ඩි මිරිස් වලට තියෙන බය. ඔය ෆිල්ම් වල තුවක්කු උස්සගෙන චන්ඩි පාට් දාන රම්බෝලා, කමාන්ඩෝලා ට්‍රාන්ස්පෝටර්ලා නිකන්ම බිම දාන්න පුළුවං හොඳට කොච්චි දාලා අඹරපු සම්බෝලත් එක්ක බත් කටවල් දෙකක් අනලා කැව්වනං.

ලංකාවෙ අපි වගේම තමයි අල්ලපු රටේ ඒ කියන්නෙ ඉන්දියාවෙ ඈයොත් හරි හරියට මිරිස් කනවා කියලා කියනවා. අපිට ගොඩක්ම නෑ කමක් තියෙන්නෙ ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තෙන් කියලත් කියනවනේ. ගොඩක් වෙලාවට අපේ කෑමයි, කේරළේ කෑමයි එක සමානයි. උන් අපෙන් කොපි කරලද අපි උන්ගෙන් කොපි කරලද කියලා උන් දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ.

මම අර කලින් දාපු ඉඳි ආප්ප කතාවෙදි කිව්වනේ මගේ ටීම් එකේ හිටපු ලීනා කියලා කේරළේ, එහෙම නැතිනම් මලබාරෙන් ආපු යාළුවා ගැන. මෙයා දවසක් ඔය කලින් ප්‍රොජෙක්ට් එහෙක ඔෆිෂල් වැඩකට ඉස් ඉස්සෙල්ලාම ලංකාවට ඇවිල්ලා. කටුනායකින් බැහැලා නවතින හෝටලෙන් දීපු වාහනේ එන අතරමගදි ඩ්‍රයිවර්ට කියලා බඩගිනි නිසා මොනවහරි කන්න පුළුවන් තැනක නවත්තන්න කියලා. ඩ්‍රයිවරුත් ඉතින් දෙයියනේ කියලා පේස්ට්‍රි ෂොප් එකක නවත්තලා. ඔන්න ඉතින් අපේ ලීනට පෙස්ට්‍රි ෂොප් එකෙන් පිඟානක් පුරවලා එක එක ජාතියේ ෂෝට් ඊට්ස් ගොඩක් ගෙනැල්ලා තියලා. දැක්කම හරි ආස හිතෙන දුඹුරු පාට දිගට දිගේ තියෙන චයිනීස් රෝල් එකක් අතට අරගෙන ලීනා කන්න පටන් අරගෙන. කටවල් දෙක තුනක් කනකොට ලීනගේ ඉස් මුදුනේ ඉඳන් කරන්ට් එකක් වදිනවා වගේ පටන් අරගෙන ඉහින් කනින් දාඩියයි හොටුයි බේරෙන්න පටන් අරගෙන. ඊට පස්සෙ වතුර ගැළුමක් විතර ඉල්ලගෙන බීලා ලීනා අසිහියෙන් වගේ ඇවිල්ලා ආපහු වාහනේට නැගලා. යමින් ගමන රියදුරු උන්නැහේට දුක කිය කිය ගිය ලීනට රියදුරු උන්නැහේ කියලා තියෙන්නෙ ලංකාවෙ කෑම සාමාන්‍යයෙන් ඔහොම තමයි කියලා. ඊට පස්සෙ බය වෙච්ච පාර ලීනා මොකද කරලා තියෙන්නෙ, රියදුරු උන්නැහේට වැඳලා සුපර් මාකට් එකක් ගාව නවත්තගෙන "මැගී ක්ෂණික නූඩ්ල්ස්" පැකට් තොගයක් අරගෙන තමයි හෝටලේට ගිහිල්ලා තියෙන්නෙ. ඊට පස්සෙ ලංකාවෙ ගත කරපු දවස් කීපයටම ලීනා හෝටලේ බුෆේ එක පැත්ත පලාතෙ යන්නෙ නැතිව මැගී වලින්ම තමයි ජීවත් වෙලා තියෙන්නෙ. ඔන්න බලන්න හරි හරියට මිරිස් කනවැයි කියලා පම්පෝරි ගහන ඉන්දියාවටත් අපේ රෝල් එකක් කරපු හරිය.

අපි කවුරුත් දන්න අපේ අබේපාල මාමා ඔය සංචාරක ක්ෂේත්‍රෙට සම්භන්ධව පොඩි ව්‍යාපාරයක් කරන නිසා මම දවසක් කතා කරපු වෙලාවක කිව්වා, මගේ ඉන්දියාවෙ යාළුවන්ට ලංකාවෙ සංචාරය කරන්න මොනව හරි පැකේජ් ටිකක් හදලා දීපන් කියලා. ගත් කටටම අබේපාල මාමා කිව්වෙ

"හපොයි දුමී අයියේ, ඉන්දියන් කාරයන්ව නම් ගෙන්න ගන්න බෑ. උන්ව වද්දගන්න ලංකාවෙ හෝටල් කැමති නෑ..... මොකද උන් හෝටලේ අයන් එකෙන් රොටි පුච්චගෙන කනවා...." කියලා

ඇත්තම තත්වෙ තමයි උන්ට ලංකාවෙ හොටල් වලින් දෙන කෑම කෑවොත් පැය ගානක් ඇතුලත හුස්ම යනවා කියන එක තියන දැවිල්ලට. ඉතින් බඩගින්නෙ ඉන්නයෑ කියලා අමාරුවෙන් පාන් පිටි ටිකක් ගෙනැල්ලා අයන් එකෙන් රොටියක් දෙකක් පුච්චගෙන කනවා ඇති.

මම දැන් ඉන්න කම්පැණියට බැඳිච්ච අළුත මට මාසයකට විතර පස්සෙ ඉන්දියාවෙ ඉඳන් ආපු බුවෙකුත් ජොයින් උනා මම හිටපු ටීම් එකටම. මේ බුවා ඇවිල්ල ඉන්දියාවෙ හයිද්‍රාබාද් නගරෙ ඉඳන් තමයි ඇවිල්ලා තිබුනේ. ඔන්න ඇවිල්ලා දෙවනි දවසෙ වගේ පොර මට කතා කලා ලන්ච් එකට යන්න එන්න කියලා. ඔන්න ඊට පස්සෙ පොර මාවත් එක්කගෙන ගියා කිට්ටුව පාත තිබුනු "හයිද්‍රාබාද් බුරියානි" තියන ටිකක් පොෂ් ඒ වගේම ගානත් හුඟක්ම පොෂ් රෙස්ටුරන්ට් එහෙකට. ඔන්න ඉතින් දෙන්නත් එක්ක කන්න වාඩි උනහම පොර කියනවා අද උගේ ගානෙ තමයි දවල්ට කෑම කියලා. එක පාරටම උඩ පැනලා කැමති වෙන්න හොඳ නැති නිසා මමත් ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් අදි මදි කරලා අන්තිමට එකඟ උනා. ඊට පස්සෙ ඌ අහනවා,
"උඹ ස්පයිසි ෆූඩ් කනවද ?" කියලා. මමත් කිව්ව "ස්පයිසි ෆූඩ් නැතිව මට නම් ජීවත් වෙන්නවත් බැහැ" කියලා. ඒක ඉතින් බොරුවක් නෙමෙයි. මෙහෙ තියෙන හෝටල් වලින් කෑම කනකොට මම අමු මිරිස් කරල් දෙක තුනක් ගෙන්න ගන්නවා මොකද එච්චරටම ඒ කෑම සැර මදි නිසා. ඔන්න ඉතින් මගේ අළුත් සඟයත් "ඔව් ඔව්, හය්ද්‍රාබාද් වල අපිත් හොඳට දැවිල්ලට කනවා...." කියලා වේටර් කොළුවට කතා කරලා බිරියානි ඕඩර් කරන ගමන් කිව්ව "එක්ස්ට්‍රා ස්පයිසි !" කියලා. ටික වෙලාවකට පස්සෙ වේටර් කොළුවත් උස්සගෙන ආවා "හය්ද්‍රාබාදි ඩම් බිරියානි" මුට්ටියක් (ඒ බුරියානි එක දෙන්නෙ මුට්ටියක ). ඉතින් දැන් දෙන්නත් එක්ක හරි හරියට බෙදාගෙන වැඩ පටන් ගත්තා. ෂහ් මට නම් නියමෙට කටට දැවිල්ලට හරි අපූරුවට කෑම ටික තියෙනවා. ඔහොම ඉතින් කටවල් දෙක තුනක් කන ගමන් මම බැළුවා අපේ ඉන්දියන් සගයාගේ දිහා. යකෝ මූව දම් පාට වෙලා.....! මුළු ඇඟේම දාඩිය දාලා, මටත් පේන්න කන්දෙකෙන් දුම් පිට වෙනවා. මම ඉතින් ඇහුවා

"මොකෝ දැවිල්ලද.....?"

"අර පාහර වේටරයා මාව මරන්න හදන්නෙ....!" ඌ ගොත ගගහ කියනවා..

"ඉතින් උඹමනෙ එක්ස්ට්‍රා ස්පයිසි කියලා ඉල්ලුවෙ" මමත් හිනා වෙවී කිව්වා.

ඌම එක්ස්ට්‍රා ස්පයිසි කියලා ගෙන්න ගත්ත කෑම එක කන්න බැරිව වේටර්ට බැනලා වැඩක් නෑනෙ. අනේ මූ දැන් බිරියානි කෑම නවත්තලා සීනි දාගෙන මී කිරි කනවා හිටු කියලා. (කොහොමත් ගොඩක් වෙලාවට ඉන්දියන් කෑමත් එක්ක මීකිරි දීසියකුත් දෙනවා ). අන්තිමට බිරියානි කැවිල්ල පැත්තක තියලා බුවා මී කිරි කෝප්ප තුන හතරක් කාලා තමයි ගොඩ ගියේ.

අන්තිමට උගේ ස්පයිසි කැවිල්ල නිසා බිල ගෙවන්න උනෙත් මට. එදායින් පස්සෙ ඌ මගේ ලඟට ඇවිල්ලා අනලා කැව්වත් ඌත් එක්ක නං ආපහු කෑම කන්න ගියේ නෑ.

ඔය අතරේ පහුගිය දොහේ අපි උතුරේ ත්‍රස්තවාදී යුද්දේ දිනපු දවස්වල ඒක සමරන්න මම අපේ ඔෆිස් එකේ ඉන්න එවුන්ට කිරි බත් ගෙනිච්චා. ගම හාමිනෙත් ඉතින් උදේ පාන්දරම නැගිටලා යස අපූරු කිරිබත් මුට්ටියකුයි, පදමට ලුණු මිරිසකුයි, සීනි සම්බෝලෙකුයි තව මාළු ඇඹුල් තියල් එකකුයි හදලා දුන්නා. (සීනි සම්බලෙයි ඇඹුල් තියල් එකයිනන් හැදුවෙ කලින් දවසේ )


ඔන්න ඉතින් කට්ටිය වටවෙලා දැන් බැටින් පාර දෙනවා. අපේ ඔෆිස් එකේ ඉතින් හැම ජාතියකම බුවාලා සහ බුවීලා ඉන්නවා. වැඩියමක් ඉන්දියානු, ඊට පස්සෙ ඊජිප්තු, ලෙබනන් සහ ලෝකල් (එමරාටි ) එවුන් තමයි වැඩි හරියක් ඉන්නෙ. කට්ටිය ඉතින් දුම් දම දමා, හොටු පෙර පෙර කිරිබත් කනවා පේන්කොට දුකේ බැරුවා. ඒත් කට්ටිය අත අරින්නෙත් නෑ.

"Too good to resist this man...." කිය කියා තමයි උන් කන්නෙ.

ඔහොම අත අරින්නෙ නැතිව හරි හරියට ලුණු මිරිසුත් එක්ක කිරිබත් කාපු ලෝකල් අරාබියෙක් ඊට පස්සෙ දවස් දෙකක් ඔෆිස් ආවෙ නෑ. ඔන්න තුන් වෙනි දවසේ පොර ඔෆිස් එකට ඇවිල්ලා මැලවිලා ඉන්නවා. මම ඉතින් ලඟට ගිහින් ඇහුවා මොකද උනේ කියලා.

ඒ පාර ඌ ඉඳන් කියනවා,

"මිනිහෝ, උඹලගේ කෑම කාල ගිහිල්ලා පහු වෙනිදා ටොයිලට් එකේ ඉඳන් මම කෑ ගහපු කෑගැහිල්ලට අපේ ගෙදර අය ඇම්බියුලන්ස් එහෙකටත් කෝල් කරා..."

"ඊට පස්සෙ එලියට ඇවිල්ල අඩිය තියන්න බෑ, තට්ටං දෙක එකට ගෑවෙන ගෑවෙන පාරට මට කෑගැහෙනවා...."

"මම මේ අහන්න හිටියේ, උඹලගේ ආමි එක යුද්දේ දිනුවෙ අර රතු පාට පේස්ට් (ලුණු මිරිස් ) එකෙන් ගහලද ?"

එදායින් පස්සෙ මම හිතා ගත්තා මොන මගුලක් සමරන්න උනත් ආපහු නම් මුන්ට අපේ කෑම දෙන්නෙ නෑ කියලා. ඇයි හත් වලාමෙ මුන් මේවා කාලා හුස්ම හිරවෙලා මැරුනොත් මගේ දරු පවුල අනාත වෙන නිසා.

ඕකෙන් මේකෙන් දවසක් ලංකාවෙ නිවාඩුවකට ගිහිල්ලා ආපහු ආපු සුද්දෙක් අපේ එකෙක්ට මෙහෙම කිව්වලු

"උඹලගේ රටේ ටොයිලට් ගියාට පස්සෙ ටොයිලට් පේපර් පාවිච්චි කරන්නෙ නැතිව වතුර පාවිච්ච කරන හේතුව මම හොයාගත්තා....!" කියලා.

"ඒ මොකක්ද...?" අපේ එකත් අහුවලු.

“ඇයි, උඹලගේ පස්ස පැත්තට ඔය ටොයිලට් පේපර් එකක් ලං කරපු ගමන් ගිනි ගන්නවනේ...!”

කඩ්ඩ සහ කක්කල් කැස්ස

Posted by දුමී

ලංකාවෙ ආණ්ඩුවේ ඉස්කෝල වලට ගිය අපි වගේ අය අතරින් අවුරුදු 9ක් 10ක්ම ඉස්කෝලෙ සබ්ජෙක්ට් එකක් විදිහට කඩ්ඩ ඉගෙන ගත්තත් අන්තිමට ඉස්කෝලෙන් අස්වෙනකොටත් යන්තන් වත් පේලි දෙකක්වත් කඩ්ඩෙන් කතා කරන්න පුළුවන් අය ඉන්නෙ හරිම අතලොස්සක් තමයි.යන්තන් කඩ්ඩෙන් වැඩ කරන්න බය ඇරෙන්නෙ ඔය ඉස්කෝලෙන් පස්සෙ උසස් අධ්‍යාපනයක් වගේ කරන්න ලැබුනොතින් තමයි. මොකද ගොඩක් වෙලාවට උසස් අධ්‍යාපන ආයතන වල දේශන පැවැත්වෙන්නෙ කඩ්ඩෙන් නිසා. ඒත් ඉතින් බහුතරයකට යන්තන් සන්තන් විදිහට කඩුවට පොඩි බ්‍රාසෝ පාරක් ගාගන්න ගොඩක් වෙලාවට පුළුවන් වෙන්න රස්සාවකට කාරිය එහෙම ගියහම තමයි. ඕකට එක හේතුවක් මම හිතන්නෙ කොහෙන්ද මන්දන්නෙ නෑ පොඩි කාලෙදීම මේ කඩ්ඩට අසාමාන්‍යය බයක් හැමෝගේම හිතේ ඇති වෙනවා. කොච්චර බයද කියනවනන් කවුරු හරි ලඟට ඇවිල්ල කඩ්ඩෙන් කතා කලොත් චූ යන සයිස් එකට. ඒවගේම කඩ්ඩෙන් වචනයක් දෙකක් කතාකරන්නත් පුදුම බයක් තමයි තියෙන්නෙ. ඒක අනිත් අය හිනාවෙයි කියන බයටමද නැතිනන් වෙන මොකක් හරි අටමගලයක් නිසාද කියල නම් මට කියන්න බෑ.

මට අවුරුදු පහක හයක කාලෙකකදි ඉඳන් අපේ තාත්තා හිටියේ පිට රට. ඉතින් ඔය හැම තිස්සේම වගේ අපේ ගෙදරට තාත්තා එවපු බඩු තෑගි අරගෙන විවිධාකාරයේ අංකල්ලා, ඇන්ටිලා එහෙම එන එක සාමාන්‍යය දෙයක් වෙලා තමයි තිබුනේ. ඔන්න දවසක් අපි මිදුලේ සෙල්ලං කර කර ඉන්න දවසක අපේ ගේ දිහාවට එනවා සුද්දෙක්. අතේ පාර්සලේකුත් තියෙනවා. ඒ වෙලාවෙ අම්මත් ගෙදර හිටියේ නෑ. මල්ලිවත් අරගෙන අම්මත් මොනවා හරි වැඩකට එළියට ගිය ගමන් තාම ඇවිත් නෑ. ගෙදර ඉන්නෙ මමයි, අක්කයි, නංගියි විතරයි. ගේ පැත්තට එන සුද්දව දැක්ක විතරයි තුන් දෙනාම රිංග ගත්තා ගේ ඇතුලට. වැහුවා දොර. ඇයි හත් ඉලව්වෙ දැන් මූත් එක්ක කොහොමද කතා කරන්නෙ ? වෙනදට චන්ඩි පාට් දාන දුමීගේ අක්කත් ෆුල් සරෙන්ඩර්. ඔන්න සුද්ද දොර ගාවටම ඇවිල්ල බෙල් එක ගහනවා.

ඒ අස්සෙ දුමීගේ අක්කා කියනවා,

"ලොකු මල්ලි, ගිහින් දොර අරිනවා......!"

මට පුළුවනෑ ඔය නොදන්න භාෂාවල් වලට බෙල්ල තියන්න ගොහින් වරිගේ නහ ගන්න....

"ඇයි මට කියන්නෙ, තමුසෙ ගිහින් දොර අරිනවකෝ.......!"

දැන් දෙන්නත් එක්ක ෆුල් වලිය කවුද දොර අරින්නෙ කියලා. මෙන්න බොලේ ඒ අස්සෙ යන්තන් මොන්ටිසෝරි යන නංගි ගිහින් දොර ඇරලා. සුද්දා ඉස්තෝප්පුවටම ඇවිල්ලා ඉන්නවා දැක්කම තමයි අක්කටයි, දුමීටයි කටේ කෙළ හිඳිලා හීන් දාඩිය දාන්න ගත්තෙ.

අනේ ඉතින් දුමිත් පුරුෂ දහිරිය අරගෙන ඉස්සරහට ගොහින් මෙහෙම කිව්වා...

"අංකල් අම්මි නෝ හෝම්....!"

මෙන්න බොලේ සුද්දා කියනවා,

"ආහ් පුතා, කමක් නෑ. මෙන්න මේ පාර්සල් එක තාත්ති එව්වා මගේ අතේ. මේක අම්මිට එහෙනම් දෙන්න. අම්මිට කියන්නකෝ විජේපාල අංකල් ඇවිත් ගියා කියලා...."

සුද්දා දෙනවා ෆුල් සුද්ද සිංහලෙන්. දුමියි අක්කයි අඤ්ඤකොරොස් වෙලා කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. කොහොමද යකෝ සුද්දෙක් මෙච්චර හොඳට සිංහලෙන් කතා කරන්නෙ. අනික පොරගේ නම විජේපාලලු. විජේපාල කියලා සුද්දොත් ඉන්නවද.

ඔන්න ටික වෙලාවකට පස්සෙ අම්මා ආවහම අම්මට කිව්ව විස්තරේ.

"අම්මේ, අන්න තාත්තා විජේපාල කියලා සුද්දෙක්ගේ අතේ පාර්සලයක් එවලා......!"

"ආහ්, විජේපාල අංකල් ආවද මේහේ. එයාට පොඩි කාලේ ඉඳන්ම අර සුදු කබර ලෙඩේ හැදිලා නිසානේ ඔච්චර සුදු......"

දැනුයි තේරුනේ කොහොමද විජේපාල කියන සුද්දා සිංහල කතා කලේ කියලා.


෴෴෴෴෴෴෴෴


කොහොමෙන් කොහොම හරි ඉස්කෝලෙ ගිහිල්ලා ඉවර උනාට පස්සෙ ඔය ඉන්ටර්වීව් එහෙකට දෙකකට මූන දෙන්න ගියාම තමයි කඩ්ඩෙ අගය දැනෙන්නෙ. ඉතින් රටේ නැති සර්ලා ගාවට කට්ටිය පැල් බැඳගෙන යනවා අවුරුදු 9ක් 10ක් ඉගෙනගෙනත් හරියට ඉගෙන ගන්න බැරි උන කඩ්ඩ මාස කීපයකින් හදා ගන්න කියලා. ඉතින් එහෙම කඩු කෝස් දෙක තුනක්ම ෆලෝ කරපු එකෙක් දවසක් කියනවා,

“මචන් මට තාම බැරි මේ කඩ්ඩෙන් කතා කරන්නයි කියන ඒවා තේරුම් ගන්නයි ලියන්නයි, කියවන්නයි විතරයිනේ. නැත්තං එච්චර අවුලක් නෑ...” කියලා.

෴෴෴෴෴෴෴෴෴


මම ඉස්කෝලෙ ඒ ලෙවල් කරන කාලේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉන්නකොට අපේ ප්‍රෙෆෙක්ට් බෝඩ් එක බාරව හිටිය සර්ට වෙනින් ඉස්කෝලෙකට මාරුවීමක් ලැබිලා යන්න උනා. ඔන්න ඉතින් ඊට පස්සෙ ප්‍රිෆෙක්ට් බෝඩ් එක බාර ගත්තෙ අපේ ඉස්කෝලෙ හිටිය වයිස් ප්‍රින්සිපල්. ඉතින් එහෙම බාර ගෙන තියපු පලවෙනිම ප්‍රෙෆෙක්ට්ස් මීටින්ග් එකේදී සර් කියනවා
,
"ඔය ළමයි බය වෙන්න එපා, මට පුළුවං හොඳට ප්‍රිෆෙක්ට් බෝඩ් එක ටකල් කරන්න....!"

ඒ අස්සෙ අපේ ගාව හිටිය එකෙක් අපි ටිකට විතරක් ඇහෙන්න කියනවා,

"මචෝ, මූ ටකල් දාන්න යන්නෙ, අපිට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.... මූ ටකල් කරහම....!"

කොහොමෙන් කොහොම හරි සර්ට විනාඩි කීපයක් කතාව නවත්තගෙන ඉන්න උනා අපි ටික බඩවල් අල්ලගෙන හිනා වෙන්න ගත්ත නිසා.


෴෴෴෴෴෴෴෴෴


ඔය මොන මොන චන්ඩි පාට් දැම්මත් ලංකාවේ කඩ්ඩට අම්බානෙකට බය තව කට්ටියක් ඉන්නවනේ. ඒ තමයි පොලිස් කාරයෝ. මෝටර් සයිකල් වල හෙල්මට් නැතිව ගිහිල්ලා, තව ලයිසන් නැතිව කාර් එලවලා, සුදු ඉරි කපලා, අරවද මේවද වැරදිවලට නැවැත්තුවහම පොඩ්ඩක් කඩ්ඩ දාලා කතා කරපු ගමන් පොලිස් කාරයා "හරි මහත්තයා යන්න..." කියලා දඩ කොලේ නොලියා යන්න අරිනවා කියලා කතාවක් තියෙනවනේ..

ඔන්න කාලෙකට පස්සෙ ලංකාවෙදි මාත් එක්ක එකට "NIBM" හිටපු යාළුවෙක්ව හම්බ උනා නිවාඩුවට ගිහිල්ල ඉන්දැත්දි. ඕං ඉතින් කාලෙකට පස්සෙ හම්බ උන යාළුවා නිසා පොඩි එහෙකට සෙට් උනා මගේ තවත් යාළුවෝ සෙට් එකකුත් එක්ක.. ඉතින් ඔය එක එක මාතෘකා යටතේ වාද විවාද, බයිලා ගැහිලි කතන්දර අතර ඔය පොලිස් කාරයෝ ඉංග්‍රීසි වලට බය ඇයි කියන එක ගැනත් කතා උනා. ඔන්න ඒ පාර මේ වෙනකොට ටිකක් විතර වැදිලා හිටිය මගේ යාළුවා කියනවා,

"ඕක බොරු කතාවක් බං.... දවසක් මම වැරදි තැනක පාක් කෙරුවා කියලා දඩ කොලයක් දීපු පොලිස් කාරයෙක්ට කඩ්ඩෙන් කොටන්න ගිහින් ඌ මට දුන්නනෙ ආයේමත් කඩෙන් අනිත් පැත්තට. කොටලා කොටලා දඩ කොලෙත් දීලා තමයි ඌ ගියේ. ඌගේ ඉංග්‍රීසි ඇක්සන්ට් එක කොච්චර හොඳද කියනවනන් මට ඌ කියපු එක වචනයක් වත් තේරුනේ නෑ......එච්චරට සිරා..."

"කොහෙද බං ලංකාවෙ එහෙම සිරාවටම ඉංග්‍රීසි කතා කරන ට්‍රැෆික් පොලිස් කාරයෝ ඉන්න පොලීසිය.....?" අපේ තව එකෙක් ඇහුවා...

“ලංකාවෙ ? පිස්සුද බං... මට මේක උනේ ලන්ඩන් වලදි....!”


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


මේ පිට රටවලට ඇවිල්ල ඉන්න අපිට ඇතිවෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ලෙඩක් දුකක් හැදුනහම දොස්තර ගාවට ගිහින් ලෙඩේ විස්තර කරන එක. මොකද මේ ගොඩක් ලෙඩ වලටයි, රෝග ලක්ෂණ වලටයි ඉංග්‍රීසියෙන් කියන නම් දන්නෙ නෑනෙ. ඕකට ඉතින් අපේ සෙට් එකට තියෙන විසඳුම තමයි අල් ඒන් වල ඉන්න වන්නි අයියා. වන්නි අයියා ඇවිත් අල් ඒන් වල තියෙන මෙඩිකල් කොලේජ් එකේ ඉන්න ඇනටොමිස්ට්. ඉතින් පොර ඔය මෙඩිසින් ගැන ලෙඩ රෝග ගැන හොඳට දන්න කියන හාදයා හින්දා කවුරු කවුරුත් මේ ලෙඩ රෝග ගැන විස්තර අහගන්නෙ වන්නි අයියගෙන්.

කවුරුත් දන්නවනේ මෙහෙට වීක් එන්ඩ් එක තියෙන්නෙ සිකුරාදා සහ සෙනසුරාදා කියලා. ඉතින් ගොඩක් වෙලාවට බ්‍රහස්පතින්දා රෑ කියන්නෙ කට්ටිය සෙට් වෙන දවස. ඔන්න එක බ්‍රහස්පතින්දාවක පාන්දර ජාමේ වෙනකන් යාළුවොත් එක්ක සෙට් වෙච්ච වන්නි අයියා තුනට විතර ගියාලු නිදා ගන්න. නිදා ගන්න ගියා විතරයි පාන්දර තුනහමාරට විතර, පොරගෙ ෆෝන් එක දැන් රිං වෙනවා.

"හලෝ, වන්නි අයියේ වන්නි අයියේ...."

"ඔව් ඔව් කතා කරනවා..."

"අනේ වන්නි අයියේ, කක්කල් කැස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද...?"

“මොකක්...?”

"කක්කල් කැස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද...?"

“යකෝ, පාන්දර තුනහමාරයි වෙලාව, කක්කල් කැස්ස... හැමිනියන් කෝ....”

“ආහ් හරි හරි... තැන්ක් යූ වන්නි අයියේ....!”

කෝල් කරපු එකාගේ වයිෆ්ට රෑ තිස්සේ නවතින්නෙ නැතිව කැස්සක් ඇවිල්ලා. එයාට පොඩි කාලෙදී කක්කල් කැස්ස හැදිලා තියෙනවා. ඉතින් එයාව ඉස්පිරිතාලෙට එක්කන් යන්න කලින් තමයි ඔය වන්නි අයියට කෝල් කරලා තියෙන්නෙ. කෝල් එකෙන් පස්සෙ ඔන්න ඉතින් පොරත් වයිෆ්ව ඉස්පිරිතාලෙට එක්කගෙන ගිහින් ඩොක්ටර්ට ලෙඩේ විස්තර කරන ගමන් මෙහෙම කියලා.

“Doctor, she had Haminiyan cough when she was small.......!”

( දොස්තර මහත්තයෝ මෙයාට පොඩි කාලෙදි හැමිනියන් කොෆ් (කැස්ස ) හැදිලා තියෙනවා )







(ප.ලි : කක්කල් කැස්සට කඩ්ඩෙන් කියන්නෙ වූපින් කොෆ් (Wooping cough) කියලා. )









Related Posts with Thumbnails