මයිනෙක් ගැන සහ ගෙම්බෙක් ගැන සින්දුවක්

Posted by දුමී

මම පුංචිම පුංචි කාලේ කවුරු හරි කිව්වොත් පුතේ සින්දුවක් කියන්න කියලා මම කියන්නෙම "බණ්ඩලාගේ හාවා, දිව්වා බයවෙලා..." කියන සින්දුව. ඕක ඉතින් එහෙමයි කියලා දන්නෙ අපේ අම්මා කියන හින්දා. මට අවුරුදු 5ක් විතර වෙනකොට අපේ තාත්තා විදේශ ගත වෙච්ච නිසා, ටික කාලෙකට පස්සෙ තාත්තා ගෙදරට එව්ව කැසට් රෙකෝඩර් එකෙන්ම ඔය සින්දුව කියලා රෙකෝඩ් කරපු කැසට් එකක් අපේ ගෙදර තිබුනා ගොඩක් මෑතක් වෙන තුරුම. ඒ කැසට් එකේ අපි ඔක්කොමල්ලා සින්දු කියලා රෙකෝඩ් කරලා තාත්තට යවලා තිබුනා ඒ දවස්වල අහන්න කියලා. අපි ගොඩක් ලොකු වෙන තුරුම තාත්තා ගාව මේ කැසට් එක පණ වගේ ආරක්ෂා කරන් තිබුනා. ඒ කාලේ මට මේ ගැන එච්චර හිතට වැදුනේ නැති උනාට, අපි ගැන තාත්තාගේ හිතේ තිබුණු අප්‍රකාශිත සෙනෙහස මැනූ මිම්මක් ලෙස තමයි මට අද ඒ සිද්ධිය මතක් කරන්න පුළුවන් වෙන්නෙ. ඒක මට අද වඩාත්ම හොඳින්ම දැනෙන්නෙත් ඒ කාලේ තාත්තගේ ඇස් දෙක ඒ කැසට් එක නිසා කී පාරක් තෙත් වෙන්න ඇතිද කියලා හිතෙන්නෙත්, මම අද වෙනකොට දරුවො තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක් නිසා.

ඉතාමත්ම සොඳුරු කලාකාමී හදවතක් තමයි අපේ තාත්තාට තිබුනේ. ලංකාවෙ නාවික හමුදාවෙ නිලධාරියෙක් විදිහට රාජකාරි කරන කොට තමයි තාත්තා ඉස්සෙල්ලාම ගිටාරයක් වාදනය කරන්න ඉගෙන ගෙන තියෙන්නෙ, ඒ වෙනකොට නාවික හමුදාවෙ තූර්ය වාදක කණ්ඩායමේ සේවය කරමින් ඉඳලා තියෙන ෆෝචූන්ස් නායක ස්ටැන්ලි පීරිස් මහත්මයාගෙන්. මේ කියන්නෙ එකදාස් නමසිය හැට ගණන්වල. නාවික ඉංජිනේරුවෙක් වූ තාත්තා විසින්ම පස්සෙ කාලෙක ඉතාමත් විශිෂ්ඨ විදිහට හදා ගත් ඉලෙක්ට්‍රික් ගිටාර් එකකින් තමයි තාත්තා ප්‍රිය සාද වල, සමහර වෙලාවට සංගීත කණ්ඩායම් එක්ක වාදනය කරලා තියෙන්නෙ. මට අද දිනයේදී යම් වාදන හැකියාවක් තියෙනවානම්, ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන අපේ තාත්තාට. තාත්තගෙන් මට උරුම වෙච්ච වටිනාම දායාදය ලෙස මම සලකන්නෙ මේ හැකියාවයි.

මගේ මුල්ම සංගීත ගුරුවරයා උනෙත් තාත්තාමයි. මගේ පොඩි බාප්පා විසින් මට තෑගි කරන ලද බොක්ස් ගිටාරයකින් මට මුල්ම ගිටාර් පාඩම කියලා දෙන කොට මට වුරුදු 12ක් විතර වෙන්න ඇති. ඒ 1986 වගේ තමයි මතක. පස්සෙ 1990 දී පැවති සාමාන්‍යය පෙළ විභාගය විෂිශ්ඨ ලෙස සමත් වෙච්ච සතුටට තාත්තා විසින් මට තෑගි කලේ විදුලි ඕගනයක් සහ Ten Speed බයිසිකලයකුයි. මොනවා උනත් ඒ තෑගි දෙක අතරෙන් මට වඩාත්ම වටිනා තෑග්ග උනේ බයිසිකලයයි. කොළු වයසේ සිටි මට මුළු කොළඹ පුරාම අස්සක් මුල්ලක් නෑර කරක් ගහන්න පහු කාලෙකදී දුකට සැපට දෙකටම තිබුනේ ඒක තමයි.කොහොමෙන් කොහොම හරි විදුලි ඕගනයටත් ඇඟිලි හුරු කරගන්න ඒ ලැබුනු තෑග්ග රටක් වටින දෙයක් උනා. උසස් පෙළින් පස්සෙ වැඩිදුර අධ්‍යාපණය ලබන කාලෙදි සංගීත කණ්ඩායමකට සම්භන්ධ වෙලා මගේ වියදම් මා විසින්ම සොයා ගත්තෙ ඕගන් වාදක ශිල්පියෙක් විදිහට කටයුතු කරලා තමයි.

ඉස්කෝලේ හයේ පන්තියේ ඉඳන්ම මම පාසලේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමත් එක්ක සම්භන්ධ වෙලා හිටියේ බට නලා වාදකයෙක් විදිහට. ඒ කාලේ පාසලේ මිතුරන් අතර මම කොච්චර ජනප්‍රියද කියනවානම්, මටත් වඩා ඉහල පන්තිවල අයියාලාත් තමන්ගේ විනෝද චාරිකා වලට මාව සම්භන්ධ කරගත්තෙ මම විසින් සපයන ලද නොනවතින සංගීතය නිසාමයි. තම්මැටමක්, දවුලක් සමග බට නලාවෙන් මැවෙන සංගීතය පපර බෑන්ඩ් එකකට නොදෙවනි වෙච්ච නිසා පාසලේ බිග් මැච් කාලෙටත් මට හොඳ ඉල්ලුමක් තිබුනා. ඇත්තටම කිසිම බරක් පතලක් නොතිබිච්ච ඒ කාලේ තරම් සුන්දර කාලයක් තවත් තිබුනේ නෑ නේද කියලා තමයි දැන් අපහු හැරිලා බලන කොට පේන්නෙ.

(ඇත්තටම මට ඉතාමත් කෙටියෙන් කියන්න ඕන වෙච්ච දේ ඇඟිලි තුඩු විසින්ම නොදැනුවත්වම මහා විස්තරයක් බවට පත් කරලා.)

ජීවිතේ ඉස්සෙල්ලාම මිතුරන් රැලකුත් එක්ක මධුවිතක් තොලා ගාන්න පෙළඹෙන්නෙ NIBM එකේ මම ඉගෙන ගන්න කාලෙදි තමයි. ඉඳලා හිටලා එක්සෑම් එකක් ඉවර වෙච්ච ගමන් යාළුවො ටික සෙට් වෙන්නෙ කාගෙ හරි ගෙදරක පොඩි සින්දුවක් කියලා මදු විතක් තොල ගාන්න. එතනදිත් යාළුවන්ට මාව සහ මගේ බොක්ස් ගිටාර් එක නැතිවම බැරි අංගයක් උනා. ගොඩක් වෙලාවට ඒ හමුවන් ඉතාමත් සුන්දර මතකත් එක්ක තමයි පිරිලා තියෙන්නෙ. ඒ අතර හිටපු ගොඩක් යාළුවො ඒ වෙනකොට සමහර වෙලාවට තමන්ගේ සිහින කුමරියන් වෙත දුර ඉඳන් පෙම් කරන අය, සමහරක් අය ආදරය බිඳ වැටිලා, මගේ වගේ සමහරෙක් අයගේ ආදරයේ උච්චතම අවස්ථාව තමයි ගෙවෙන්නෙ. ඉතින් ගොඩක් වෙලාවට ගායනා කරන්නෙ "සඳ හොරෙන් හොරෙන්....", "කුමරියක පා සළඹ සැලුනා...", "පෙරදිනයක මා..", "මංමුලාවී....", "විකසිත පෙම්...", "කොළොම් තොට.." ඔන්න ඔය වගේ හරිම සුන්දර ගීත.

NIBM එකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට මගේ මුල්ම රැකියාව කරන කාලෙදිත් ඔය පුරුද්ද නැති උනේ නෑ. NIBM එකේම හාඩ්වෙයාර් ලැබ් එකේ යාළුවෙක් ගිටාර් එකක් ගෙනැල්ලා තියෙලා තිබ්බා. ගොඩක් වෙලාවට හවස 6ට ස්ටුඩන්ට්ස්ලගේ ප්‍රැක්ටිකල් ඉවර වෙච්ච ගමන් කට්ටියම එකතු වෙලා තව පැය දෙකක් විතර සින්දු කියලා තමයි ගෙවල් වලට යන්නෙ. හරිම සුන්දර කාලයක් තමයි ඒක. විනෝද සවාරිත් ඒ වගේම ගීත වලින්ම පිරිලා ඉතිරිලා තමයි තිබුනේ. ඔන්න ඔය කාලෙදි තමයි අපේ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකේ කොල්ලෝ ටික "Boys night out" එකක් ඕගනයිස් කලේ. ඒක තිබ්බේ තවත් යාළුවෙක්ගේ ගෙදර. ඒ යාළුවාගේ අම්මයි තාත්තයි මූට ගේ බාර දීල පිට රට ඉන්න අක්කලාගේ ගෙදර ගිහිල්ලා මාස කීපයකට. ඉතින් මුළු ගෙදරම අපේ වගේ තමයි. ඔන්න ඉතින් හවස 5ට විතර පටන් ගත්ත සොඳුරු සැන්දෑව හරිම ලයාන්විතව ගලා ගෙන යනවා අර මම කලින් කියපු වගේ ගීතත් එක්ක. එක එක්කෙනා තමන්ට කැමති ගීත රික්වෙස්ට් කරනවා "මචං අරක ගහපන්... මේක ගහපන්..." කියලා. ඉතින් පුළු පුළුවන් විදිහට ඒ රික්වෙස්ටුත් ඉටු කරමින් වැඩේ නැගලා යනවා. එදා මාත් එක්ක තවත් යාළුවෙක් ගිටාර් එක ප්ලේ කලා. ඉතින් දෙන්නත් එක්ක සහයෝගෙන් වැඩේ ඇදගෙන යනවා. ඉතින් ටිකක් රෑ බෝ වෙනකොට කට්ටියගේ පදමත් ටික ටික හරියාගෙන එනවා. ඒ අස්සෙ එකෙක් රික්වෙස්ට් කරනවා "මචන් මචන් මිල්ටන්ගේ සින්දුවක් ගහපන්.....” කියලා. ඔන්න ඉතින් මමත් මගේ ගිටාර් සගයාට කිවා හරි මචං "ඒ මයිනර් (A minor)" ගහපන් කියලා. මොකද ඒ සින්දුව යන්නෙ A minor ස්කේල් එකේ නිසා.

ඔන්න ඒපාර තව එකෙක් අහනවා "මචං අළුත් සින්දුවක්ද ?"

ඉතින් මමත් කිව්වා "පිස්සුද බං, මේ සින්දුව හෙන පරණ එකක්..." කියලා

"අනේ නෑනෙ බං මම අහලා නෑනේ.... මිල්ටන් කියන ‘ඒ මයිනා.....’ සින්දුව....."

අනේ ඉතින් හිතා ගන්න පුළුවන්නෙ යාළුවාට වෙච්චි දේ. එදා ඉඳන් උගේ නම "ඒ මයිනා..." උනා.

හැබැයි ඒක එතනින් නැවතුනෙත් නෑ. තව් ටිකක් රෑ වෙලා දැන් පොඩ්ඩක් නැගලා යන සින්දු යන වෙලාව. දැන් ටිකක් විතර පදමට වඩා වැදිලා හිටිය අර යාළුවා ආපහු කියනවා...

"මචං..... අර ගෙම්බෙක් ගැන සින්දුවක් තියෙන්නෙ.... ඒක ගහපන්කෝ....." කියලා.

"ගෙම්බෙක් ගැන සින්දුවක්......? ඒ මොකක්ද බං......?" මමත් දැන් අහනවා. මොකද මට ෂුවර් මම නම් ගෙම්බෙක් ගැන සින්දුවක් දන්නෙ නෑ කියලා.

"අර අර කව්බෝයිලා කියන්නෙ මචං.... ගෙම්බෙක් ගැන සින්දුවක්...." මූ ආපහු කියනවා.

"මොකක් ? කොහෙද බං කව්බෝයිලා ගෙම්බෝ ගැන සින්දු කියලා තියෙන්නෙ.....?" තවත් එකෙක් දැන් මුගෙන් අහනවා.

කට්ටියම දැන් ෆුල් හොල්මං වෙලා මූ මේ කියන සින්දුව මොකක්ද කියලා......!

“ඔව් බං.... අර අන්තිමට ගෙම්බෙක් ගෙම්බෙක් ගෙම්බෙක් කියලා තියෙන්නෙ....අපි පොඩි කාලේ කව්බෝයි කරන කොටත් ඒක කිව්වනේ.....”

"මොකක්, උඹ පොඩි කාලේ කව්බෝයි කලා...."

"ඔව් ඔව්, අර කවුබෝයි මචං... බාලදක්ෂ බාලදක්ෂ ...."

හුටා මූට ස්කවුට්වයි, කව්බෝයිවයි පැටලිලා. කට්ටිය දැන් බඩවල් අල්ලගෙන හිනා වෙනවා.

තවත් ටික වෙලාවකට පස්සෙ තමයි කට්ටියට මීටර් උනේ මූ මේ කියන ඒ කව්බෝයිලා ගෙම්බෙක් ගැන සින්දුව මොකක්ද කියලා.

ඔන්න ඉතින් ඒ සින්දුව තමයි

"ගිං ගැං ගුලි ගුලි........."

මූට අර "ගෙම්බෙක් ගෙම්බෙක් ගෙම්බෙක්" කියලා ඇහිලා තියෙන්නෙ "වොම්බහ්ක් වොම්බහ්ක් වොම්බහ්ක් " කියන කෑල්ල.


(ප.ලි - මේ සින්දුව ලියලා තියෙන්නෙ බාල දක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවුල් සාමි වරයා විසින් අප්‍රිකානු ජන ගීයක් ඇසුරෙන්.මේ ගීතය හැම බාලදක්ෂ කඳවුරකම නොවැරදීම ගායනා කරන එකක්.)

(බ්ලොග් දෙවියන්ගේ ප්‍රශ්නයක් නිසා සුපුරුදු කමෙන්ට් බොක්ස් එක ඇපියර් වෙන්නෙ නෑ. කමෙන්ට් එකක් දැමීමට සුපුරුදු කමෙන්ට් බොක්ස් එකට පහලින් තාවකාලික කමෙන්ට් බොක්ස් එකක් දමා ඇත.)

අවුරුද්දයි - පනහයි

Posted by දුමී


ගිය අවුරුද්ද අප්‍රේල් මාසේ දිහාවෙ නිකං කම්මැලි කමට මූනු පොතේ රවුමක් ගගහා ඉන්න කොට තමයි "දුකාගේ 100 වෙනි පෝස්ට් එක ...." කියන ලිපිය මගේ හිතවත් මිතුරෙක් වන පාලිත විසින් ෂෙයාර් කරලා තිබුනේ. දැකපු ගමන්ම හිතුනේ මේ මම දන්නා හඳුනන "දුකා" (වසන්ත බන්ඩාර දුක්ගන්නරාල ) විසින් දාපු ලිපියක් කියලා තමයි. මම ඒ දුකාව දැනගෙන හිටියේ මීට අවුරුදු බර ගාණකට කලිනුයි. ඒ මම සංගීතය පැත්තෙන් ලංකාවෙ රඟ දක්වපු ප්‍රසිද්ධ නාටිටි සෑහෙන ගාණක් එක්ක සම්භන්ධ වෙලා ඉන්න කාලේ. මට ඒ දුකාව මුණ ගැහුනේ ප්‍රසන්නජිත් අබේසූරිය විසින් නිර්මාණය කරපු "දොර්දණ්ඩා" කියන නාට්ටියට සම්භන්ධ වෙලා ඉන්න කොට. දුකා ඒ නාට්ටියේ සත්තු වත්තේ මුර කාරයාගේ චරිතය රඟ පෑවා. අවුරුදු කීපයක් මේ නාට්ටිය එක්ක මුළු රට වටේම කරක් ගහලා තිබුනු නිසා, ඒ දුකාව ලඟින් ඇසුරු කලා ඒ කාලේ.

කොහොමෙන් කොහොම හරි දාල තිබුනු ලින්ක් එක දිගේ ගිය මට දැක ගන්න ලැබුනේ මේ දුකා ඒ දුකා නෙමෙයි කියලා. ඒත් ඉතින් ඔන්න ඔහේ ආපු එකේ දාලා තියෙන ලිපිය කියවගෙන කියවගෙන ගියා. ඒ ලිපියත් දාල තිබුනේ මම ඉතාමත් ආදරය කරන ගායකයෙකු වන අබේවර්දන බාලසූරිය ගැනයි. හරිම රසවත් විදිහට ලියවිලා තිබුනු ඒ ලිපිය හරහා මම දුකාගේ අනිකුත් ලිපිත් එකින් එක කියෙව්වා. කොහොමත් ඒ ලිපි කියවලා ඉවර වෙනකොට මම නොම්මර එකේ "දුකා රසිකයෙක්" වෙලා ඉවරයි. ඔන්න ඊට පස්සෙ දුකාගේ බ්ලොග් රෝල් එක හරහා අනිත් බ්ලොග් වලට යන පාර හම්බ උනා. ඔය කාලේම තමයි කතන්දර විසින් පටන් අරන් තිබුනු චූ කතන්දර බ්ලොග් අවකාශෙ පුරා නැගලා ගියේ. කොහොමෙන් කොහොම හරි ඊට පස්සෙ මට සෙට් උනේ, මාරයාගේ හෝරාව සහ අතිතයෙන් අහුලන මතකයන්, සොඳුරු සිත වගේ බ්ලොග් අඩවි. කලින් සිංහල පත්තර ටික කියවන්න දවසින් කාලයක් වෙන් කරගෙන හිටපු මට, ඒ කාලේ යොදවලා බ්ලොග් ටික කියවගන්න ලැබුනා.

ඒ කාලේ මාරයා පංසලේ කතාව පටන් අරගෙන කරගෙන යනවා හරිම රසවත් සහ තමන්ටම ආවේණික ශෛලියකට. මම ඉස්සෙල්ලාම කියෙව්වෙ මාරයාගේ කතාවෙ මාරයා කියලා තිබුනේ ඇබිත්තයෙක් විදිහට පන්සලේ ජීවිතය පටන් ගත්ත විදිහයි. කොච්චර ලස්සනට ඒ කතාව ලියලා තිබුනාද කියනවනන් මම හිතුවේ මේ මාරයා නව කතාවක් ලියනවා කියලයි. පස්සෙ දවසක මම මාරයාගෙන් කමෙන්ටුවකින් ඇහුවා මතකයි, මේ ලියන්නෙ ඇත්ත කතාවක්ද නැත්නම් නව කතාවක්ද කියලා. දිල් ලියපු අතීතයෙන් අහුලන මතකයන් කතාවත් කොච්චර හිතට වදින විදිහට ලියලා තිබුනද කිව්වොත් මම මුලදී හිතුවේ කොටස් වශයෙන් පලවෙන නව කතාවක් කියලයි. මම මාරයගෙන් අහපු ප්‍රශ්නෙම දිල්ගෙනුත් ඇහුවා මතකයි.

ඔය විදිහට කාලයක් බ්ලොග් රසිකයෙක් වෙලා ගිටිය මට මේ වෙනකොට බ්ලොග් එකක් කරන්න තදින්ම ඕන වෙලා තිබුනේ. ඊට පස්සෙ මගේ පිහිටට ආවෙ SBU එකේ තිබුනු සිංහල බ්ලොග් එකක් පටන් ගමු කියන කුප්පියයි. ඊට පස්සෙ පැය ගාණක් කට්ට කාලා බ්ලොග් එකට දාන්න හොඳ ටෙම්ප්ලේට් එහෙකුත් හොයාගෙන, නමකුත් තෝරගෙන පලමුවෙනි ලිපිය දුමීගේ පිවිසුම කියලා දැම්මෙ හරියටම අදට අවුරුද්දකට කලින් 2010, මැයි 24 වෙනිදා.

ඉස්සෙල්ලම බ්ලොග් පෝස්ට් එකක් ලියලා පබ්ලිෂ් කලාට පස්සෙ ඒක සිංහල බ්ලොග් කියවනයෙයි, ලාංකීය සින්ඩියෙයි පබ්ලිෂ් වෙච්ච වෙලාවෙ දැනුනු සතුට ගැන නම් කියලා වැඩක් නෑ. මම හිතන්නෙ හැම අංකුර බ්ලොග් කරුවෙක්ම ඒ වින්දනය ඒ විදිහටම විඳිනවා. ඊට පස්සෙ මගේ බ්ලොග් එකේ පලවෙනිම ෆලෝවර් උනේ හසිත ජයසූරිය මල්ලි. ඉස්සෙල්ලාම කමෙන්ට් එක දැම්මෙත් එයා. මගේ පලවෙනි පෝස්ට් එකටම ඒ වෙනකොට බ්ලොග් අවකාශයේ පතාකයන් වන දුකා සහ කතන්දරත් කමෙන්ට් කිරීම මට සෑහෙන්න ලොකු දෙයක් උනා. ඉන් නොනැවතුන දුකා ආගන්තුකයෙක් වෙච්චි මගේ බ්ලොග් එක එයාගේ බ්ලොග් රෝල් එකට දාගත්තා. අද උනත් මගේ බ්ලොග් එකට සිංහල බ්ලොග් කියවනයයි, ලාංකීය කියවනයයි ඇරුනහම වැඩියෙන්ම හිට්ස් එන්නෙ දුකාගේ බ්ලොග් රෝලෙන්. ඒ පලවෙනි පෝස්ට් එක තුලින් මුන ගැහුනු දුකා කියන සුන්දර මිනිහා සහ ඒ මිත්‍රත්වය තමයි මගේ මේ බ්ලොග් කරණයේදි මේ තාක් කාලයක් මම නෙලා ගත්ත වටිනාම ඵලය.

සොඳුරු සිත ලියන වත් නංගිත් මගේ පෝස්ට් අනිත් අය අතරට අරගෙන යන්න සෑහෙන්න උදව් කලා ඒවා ගුග්ල් බස් එකෙයි, මූනු පොතෙයි පබ්ලිෂ් කරලා. ඒකෙන් ගොඩක් දෙනෙක් මගේ බ්ලොග් එක ගැන දැන ගත්තා. බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඒකට කමෙන්ට් එකක් වැටෙනවා වගේ සන්තෝසයක් බ්ලොගර් කෙනෙකුට තවත් නෑ. සමහර වෙලාවට ජී මේල් ඉන් බොක්ස් එක රී ෆ්‍රෙෂ් කර කර හිටපු අවස්ථා තියෙනවා කමෙන්ටුවක් වැටෙනකම්.

මම සැබෑ ජීවිතයේදි මගේ හැඟීම් විවෘතව පෙන්නන මිනිහෙක් නෙමෙයි. ගොඩක් දේවල් හිතේ තියාගෙන බොහොම ටිකක් වචන වලින් පිට කරන මට මේ ගැන අපේ ගම හාමිනෙත් සෑහෙන්න දොස් පවරලා තියෙනවා. එහෙම හිටිය මට මගේ හිතේ තෙරපෙන අදහස් නිදහසේ ගලාගෙන යන්න මේ බ්ලොග් එක ලොකු පිටිවහලක් උනා. ඉතාමත් ආතතියකින් යුතු රැකියාවක් කරන වෙලාවට, බ්ලොග් එකක් ලියලා, තෙරපිච්ච හිත ලිහලා දාන්න පුළුවන් වෙන එක කොච්චර ලොකු දෙයක්ද ?

අද බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන දවස. මේ පෝස්ට් එකත් එක්ක මම මේ තාක් දාලා තියෙන්නෙ පෝස්ට් 50යි. ඒක මහ ගොඩක් නෙමෙයි. එහෙම බලද්දි මම තාම ආධුනිකයෙක් කියලයි මට හිතෙන්නෙ. මගේ බ්ලොග් එක වටේ සෑහෙන්න බ්ලොග් රසිකයෝ ටිකක් වටවෙලා ඉන්නවා පේනකොට නම් දැනෙන සන්තෝසේ කියලා නිම කරන්න බෑ. බ්ලොග් පෝස්ට් එකක් දාලා වැටෙන හැම කමෙන්ට් එකක්ම කොච්චර දිරියක්ද කියලා ඔනෙම බ්ලොගර් කෙනෙක් දන්නවා.

ඔන්න ඉතින් මමම මගේ මේ කට කහන බ්ලොග් එකට හැපි බර්ත් ඩේ කියලා කියා ගන්නා ගමන්ම, තව අවුරුද්දක් කොහොම හරි දුවන්නත් තෙල් වතුර ටිකක් මාරු කරලා දැන්ම ඉඳන්ම ලක ලෑස්ති වෙන්න තමයි ඕං කල්පනාව.....

අපි පරාදයි මල්ලියේ

Posted by දුමී

වැප් මල්ලි ගොඩක් වෙලාවට චැට් එකෙන් මට කතා කරන්නෙ ගුගුල් බස් එකේ යන මොකක් හරි දෙයක් ගැන අප්ඩේට් එකක් දෙන්න එහෙමත් නැත්නම් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියලා කාව හරි බයිට් කරන්න. 18 වෙනිදා රෑ වැප් මල්ලි ගුගුල් චැට් එකෙන් ඇවිත් මට කතා කරහම මම හීනෙකින්වත් හිතුවෙ නෑ වැප් ආවේ අවාසනාවන්ත ආරංචියක් කියන්න කියලා. ඒත් ඒ දේ සිද්ධ වෙලා.

මෙහි සඳහන් වේලාවන්, එක්සත් අරාබි එමීරයේ වේලාවෙන් බව සලකන්න. (GMT + 4 - ලංකාවේ වේලාවෙන් පැය 1 1/2 පසුපසින් )

මෙයින් අවුරුද්දකට වගේ ඈතට යනකොට මම "ඉලන්දාරියා" කියලා දැනගෙන හිටියේ ඉතාමත් අපූරු නිර්මාණ කරන තවත් එක සහෘද බ්ලොග් කරුවෙක්ව. ඔහු මගේ බ්ලොගයේත් මම ඔහුගේ බ්ලොගයේත් ඉඳ හිට කමෙන්ටුවක් දැමීම ඇර වෙන කියන්න තරම් විශේෂත්වයක් තිබුනේ නෑ. ඒ වෙනකොටත් තමන් පෙලනාවූ ශ්‍රවණ අබාධයද අමතක කර මෙවන් නිර්මාණ කරනයේ යෙදී සිටිනවා කියලා අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ. තමන්ගේ ශ්‍රවණ ආබාධය ගැන ලොවට හෙලි කර, තමන්ට නැවතත් ලොව අසන්නට උදව් වන්න යැයි ඉලන්දාරියා ආයාචනය කරන්නේ මේ අතරයි. ඉන් පස්සේ සිංහල බ්ලොග් අවකාශයේ සිද්ධ වෙච්ච පෙරළිය ගැන ආපහු අටුවා ටීකා ලියන්න අවශ්‍යයයි කියලා මම හිතන්නෙ නෑ.

ඉලන්දාරියාගේ ආයාචනය පළ කෙරුනු දිනට පසු දින උදෑසන දුකා මා අමතන්නෙ ඉලන්දාරියා වෙනුවෙන් අපට කල හැකි දේ ගැන කතා කරන්න. ඉතාමත් දීර්ඝ කතිකාවකට පස්සෙ කල හැකි කාර්යයන් එකින් එක සලකා බැලීමෙන් පසු මෙහෙදී අපහට කල හැකි හොඳම දේ නම්, පැදුරු පාටි ව්‍යාපෘතිය කියලා අපි තීරණය කරන්නෙ. පැදුරු සාජ්ජ 10ක් පවත්වා මුළු මුදලින් 10%ක් වත් සොයා ගැනීමට පිඹුරුපත් සැකසූ අපිට, ඒ මුදල සාජ්ජ 4ක් පමණක් පවත්වා සොයා ගැනීමට ලැබීම අපි සියළුම දෙනාවම ඉතාමත් දිරිමත් කිරීමක් උනා. ඉන්පසු අපේ ඉලක්කය උනේ, බලාපොරොත්තු වූ පරිදිම පැදුරු සාජ්ජ 10ම හෝ, ඊට වැඩියෙන් පවත්වා රුපියල් ලක්ෂ 10ක් පමණ එකතු කර ගැනීමට. මේ ලැබූ ප්‍රගථිය නිසා අපි වගේම ඉලන්දාරියත් පසු වූයේ දැඩි සතුටකින්.

දිලුම්ව කොහොම හරි ගොඩ දානවා යැයි අපේ සිතේත්, "මගේ යාළුවෝ" මාව කොහොම හරි ගොඩ දානවා යැයි දිළුම්ගේ සිතේත් දහසක් බලා පොරොත්තු ඇති වෙලයි තිබුනේ. දිළුම් ඉඳ හිට මූණු පොත හරහා අපි මේ කරගෙන යන කාරිය ගැන තමන්ගේ අතිශය කෘතඥ්ඥ බව පල කලේ,

"දුමී අයියේ, මම වෙනුවෙන් කරන මේ කැප කිරීමට ඔයාටත් යාළුවන්ටත් මට දෙන්නෙ තියෙන්නෙ පිං විතරයි....!" කියලා.

ඉතාමත් කැප කිරීමකඉන් මේ කාර්යය අපි දිළුම් වෙනුවෙන් සිදු කලේ දිලුම්ගේ අබාධය සුව වෙන තුරු මේක අත අරින්නෙ නෑ කියන අධිෂ්ඨානයත් එක්ක. බොහෝ විට මා පාන්දර දෙක තුන හෝරා පහුවනතුරු පැදුරු පාටියකට සහභාගී වූයේ දරු ප්‍රසූතියට ඉතා ආසන්නව පසු වූ මගේ බිරිඳව ගෙදර තට්ට තනියම තනි කර දමායි. එහිදී යම් හදීසියක් වුවහොත් ඇයව රෝහල කරා රැගෙන යෑමට පවා කිසිවෙක් නොසිටියේ, බොහෝ විට මාගේ සියළුම මිතුරනුත් මා සමග පැදුරු සාජ්ජයට සහභාගී වෙමින් සිටි නිසයි.මා මෙන්ම මා වට උන් සියළුම මිතරනුත් මේ කාර්යයට උර දුන්නේ දහසකුත් එකක් කැපකිරීම් මැද. අපි සෑම දෙනාගේම සිතේ තිබුනේ එකම අරමුණයි. "අපි කොහොම හරි දිළුම්ව ගොඩ දානවා....!" කියන හැඟීමයි.

ඉතාමත් සුළු ශල්‍යකර්මයක් යැයි පැවසූ, දිළුම්ගේ ඔළුවේ තිබූ කුඩා ගෙඩිය ඉවත් කිරීම මේ විදිහට අවසන් වෙයි කියලා කොහොම සිතන්නද ?

“මෙතෙක් කල් මම වෙනුවෙන් කල සියලු දේට ඔබ සැමට ස්තුතියි!”

ඒ තමයි මූනු පොතේ දිළුම් සැත්කමට පෙර අවසානයට දමා තිබූ කෙටි සටහන.

"දිළුම්, මල්ලියේ නුඹේ කාලය අවසාන යැයි උඹ දැනගෙන සිටියාද ? නැතිනම් උඹේ වටේ හිටිය දෙමව්පියන්ට, මිතුරන්ට තවත් බරක් නොවෙන්න නුඹ සිතා ගත්තාද ?"

උඹේ සවණ පාදන පුණ්‍ය කර්මය සම්පූර්ණ කිරීමට අපිට පිණක් නැති උනා. උඹ සිතෙනුත් ගතෙනුත් දරා ගත්තාවූ අපමණ වූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් අද වෙන විට මිදිලා.

උඹව ගොඩ දානවා යැයි අදිටන් කරගෙන හිටපු අපි ඔක්කොම අද මරුවාට පරාද වෙලා !

නුඹ දිනෙක නිවන් දකිනා තුරු මෙවන් ව්‍යසනයක් අත් නොවේවා !

කොණ්ඩේ කැපීම

Posted by දුමී

මට මතක තියෙන විදිහට පොඩි කාලේ මම අකමැතිම දේවල් වලින් එකක් තමයි කොණ්ඩේ කපන්න යන එක.ගොඩක් වෙලාවට කොණ්ඩේ කපන්න, මරන්න ගෙනියන හරකෙක් වගේ මාව ඇදගෙන අම්මා යන්නෙ සෙනසුරාදා හරි ඉරිදා හරි දෙයියනේ කියලා සෙල්ලං කරන්න තියෙන වෙලවෙදි තමයි. එහෙම සෙල්ලං කරන්න තියෙන වෙලාව කැප කරලා බාබර් සාප්පුවෙ පැයක් විතර පෝලිමේ ඉඳලා ඉඳලා පැය භාගයක් විතර ආපහු කොණ්ඩේ කපන පුටුවෙ වාඩිවෙලා ඉන්නකොට සංසාරෙත් එක්ක එපා වෙනවා. ඊටත් වඩා බාබර් අංකල්ගේ ගෙම්බර් එක තමයි කාල ඉන්න බැරි. පොඩ්ඩක් හරි ඔළුව එහෙ මෙහෙ හෙලෙව්වොත් දැළි පිහිය පෙන්නලා කියනවා "දැඟලුවොත් කණ කපනවා" කියලා. අනේ ඉතින් ඔය පොඩි කාලේ කොණ්ඩේ කපපු තරමක් කැපුවෙ කණට තියෙන ආදරේ නිසා.

ඊට පස්සෙ පොඩ්ඩක් ලොකු වෙනකොට, ඒ කියන්නෙ 3නේ පංතියේ, 4 පංතියේදි විතර කොණ්ඩෙ කපන්න යන්න උනේ තනියම.රුපියල් 5හේ කොලේකුත් අතේ ගුළි කරගෙන බයිසිකල් රිම් එක කෝටු කෑල්ලකින් ඩ්‍රයිව් කරගෙන රිම් එකෙන් තමයි කළුබොවිල හන්දියේ තියෙන බාබර් සාප්පුවට යන්නෙ. අම්මා කියලා එවන්නෙ "ලොකු පුතේ, කොණ්ඩේ කොටවෙන්න කපාගෙන එන්න......" කියලා. මමත් ඉතින් "හා හා අම්මේ..." කියලා රිම් එකත් පැදගෙන බාබර් සාප්පුවට දුවනවා. ඒ වෙනකොට බාබර් අංකල්ගේ දැලි පිහියට තියෙන බය ගිහිල්ල තමයි තිබුනේ. "කොල්ලෝ.... මොකද කොට කරනවද....?" පුටුවට නැග්ග ගමන් ඔන්න බාබර් අංකල් අහනවා....."කොට කරන්න....? පිස්සුද අංකල් ... ඔන්න ඔය වටේට කපලා දාන්න..." ඔන්න ඉතින් යන්තන් වලස් පෙනුම මැකෙන්න බාබර් අංකල් වටේට ට්‍රිම් පාරක් දානවා. කොණ්ඩේ කපලා ඉවර වෙච්ච ගමන් රිම් එකෙන්ම යනවා කොල්ලො ටික ක්‍රිකට් ගහන තැනට. එතනත් හොඳට සෙල්ලං කරලා කළුවර වැටුනහම තමයි ඔන්න ආපහු ගෙදර දුවන්නෙ. ඒ වෙනකොට බඩේ පණුවො පිනුම් ගහන වෙලාව. ගෙදර ගිය ගමන් අම්මා කුස්සියේ ඉඳන් ඔළුව දාල බලනවා. "දුමී... මම කිව්ව නේද කොණ්ඩේ කොට කරන්න කියලා.... මොකක්ද ඔය කපලා තියෙන නාඩගං කට් එක.... දුවපන් ආපහු කොණ්ඩේ කොට කරගෙන වරෙන් අද රෑට කන්න ඕනෙ නං...." අනේ ඉතින් ලයිට් නැති නිසා ඒ වෙලාවට රිම් එකෙන් යන්නත් නෑ.... පයිංම ආපහු බාබර් සාප්පුවට යනකොට බාබර් අංකල් බාබර් සාපුවෙ අන්තිම ලෑල්ල වහනවා. අනේ ඉතින් බාබරයට වැඳලා රෑ කෑම එක නැති වෙන එක ගැන කියලා කොණ්ඩේ කොට කර ගන්නවා. එදායින් පස්සෙ බාබර් අංකල් නෙමෙයි අහන්නෙ මොන කට් එකද ඕනෙ කියලා. පුටුවට නගින්න කලින්ම කොණ්ඩෙන් බාගයක් කොට කරලා ඉවරයි.....!

අපේ ඉස්කෝලේ කොල්ලෝ ඔක්කෝටම ලොකුම ඛේදවාචකේ උනේ ඔය 87, 88 කාලේ වගේ තමයි. 87 දි මම 8 වසරේ. ඒකාලේ බෝයි ජෝජ් ගේ කල්චර් ක්ලබ් එකයි, ජෝජ් මයිකල්ගේ වෑම් ගෲප් එකයි, ඒවැයි හිටපු එවුන්ගේ හරිම හරි ලස්සන කොණ්ඩා මෝස්තර ටික අප්පා. ඉතින් ඉස්කෝලෙ කොල්ලො ඔය එක එක ජාතියෙන් හෙයාර් කට් කපලා, ඊට පස්සෙ මයිකල් ජැක්සන් වගේ විළුඹෙන් උඩට කලිසම කපලා ඉස්කෝලෙ එනවා. ඔන්න එතකොට තමයි අපේ ප්‍රින්සිපල් හරිම දරුණු තීරණයක් අරගන්නෙ. එයා ඉස්කෝලෙට පත් කරගන්නවා ආයෙත් නෑ ෆුල් ටයිම් බාබර් කෙනෙක්ව. එදායින් පස්සෙ සති දෙකකට සැරයක් ඉස්කෝලෙ හැමෝම බාබර් ගාවට යන්න ඕනෙ. ගාස්තුව රුපියල් තුනයි.කිසි කෙනෙක්ට බාබර්ට අරෙහෙම කපන්න මෙහෙම කපන්න කියලා උපදෙස් දෙන්න බෑ. ඒ බාබර්ව කෙලින්ම ප්‍රී-ප්‍රෝග්‍රෑම්ඩ්. වාඩි වෙච්ච ගමන්ම අර "කකුළුවා" මැෂිම අරගෙන "ටක ටක ටක ටක" කියල දෙනවා ගේමක්, ආපහු ඔළුවෙ ඉන්න උකුනො ඔක්කොම අනාතයි. උන්ට හදීසියකට හැංගෙන්නවත් එක කෙස් ගහක් ඉතුරු කරන්නෙ නෑ. ආයි ලොකු පන්ති කියලා මේ ඛේදවාචකෙන් ගැලවීමක් නම් තිබුනේ නෑ. ඉතින් කට්ටියට තොප්පි සරණං ගච්චාමි තමයි. ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට යන්නෙ තොප්පියක් දාගෙන. ඇයි පාරෙ බැහැලා යන්න බැහැනේ. හරියට හිරෙන් පැනපු හිර කාරයෝ ටිකක් වගේ. ඉස්කෝලේ කැඩටින් ස්කොඩ් එකයි, අනිත් එවුන්වයි වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන්නෙ, කැඩෙට්ස්ලා මාචින් ප්‍රැක්ටිස් කරන කොට විතරයි.

ඒ කාලෙත් ඔන්න ඔහොම ගෙවිලා ගියා කියමුකෝ. මගේ පොඩි කොල්ලගෙත් පොඩිම කාලේ කොණ්ඩේ කපන්න පුදුම ගේමක් දෙන්න උනා. ඒ දවස්වල අපි කොල්ලව එක්කගෙන යන්නෙ පොඩි එවුන්ගෙ විතරක් කොණ්ඩේ කපන සැලූන් එහෙකට. ඒකෙ පුටු විදිහට තියෙන්නෙ, සෙල්ලං කාර්, ප්ලේන් වගේ දේවල්. ඔය මොන දේ තිබුනත් ඌ නෙමෙයි මෙලෝ යකෙකුට කොණ්ඩෙට අත තියන්නවත් දෙන්නේ. ඔය සැලූන් එකේ හිටියේ පිලිපීන් බාබර්ලා. ඒ ගොල්ලෝ බාබර් වරුද බාබර් වරියොද කියලා හරියටම කියන්න බෑ. බැලූ බැල්මට බාබර් වරු වගෙයි. හැබැයි ගමන බිමන,කතා බහ, මේකප් වගේ දේවල් ඔක්කොම වලින් පේන්නෙ බාබර් වරියෝ වගෙයි. මගේ ගම හාමිනෙත් මාව ඒ සැලූන් එකට ජීවිතේට තනියෙන් නම් අරින්නෙ නෑ. ඒ බාබර්ලත් අම්මලා එනවට කැමති නෑ. තාත්තලා පොඩි එවුන්ව එක්කගෙන එනවනම් තමයි හරි සැලකිලි. පොඩි එකාව පැත්තක තියලා තාත්තාගේ කොණ්ඩේ කපන්න තමයි ට්‍රයි එක දෙන්නෙ.

ඒ කිව්වෙ මෙහෙදි අපේ පොඩි එවුන්ගේ කොණ්ඩෙ කපන්න වෙන කරදර මහන්සිය ගැනනේ. ඊටත් වඩා අපිට මහන්සියක් ගන්න වෙනවා අපේ මේ කොණ්ඩේ චුට්ටක් කපා ගන්න. මෙහෙ ගොඩක් බාබර්ලා බංගලියෝ. උන්ගේ බාබර් සාප්පුවකින් තමයි යන්තන් පොකට් එකට සැහැල්ලුවක් දැනෙන විදිහට කොණ්ඩේ කපා ගන්න පුළුවන් වෙන්නෙ. කොන්ඩේ කපන්න දැන් නම් ගොඩක් වෙලාවට ඩිරාම් 15ක්, ඒ කියන්නෙ ලංකාවෙ රුපියල් වලින් නම් රුපියල් 450ක් විතර ගන්නවා. දැනට අවුරුදු 3කට 4කට පෙර නම් කොන්ඩේ කපන්න ඩිරාම් 10කට වඩා ගියේ නෑ. තව වැලිව් ඇඩඩ් සර්විස් එකක් විදිහට බාබර් විනාඩි 5ක විතර හෙඩ් මසාජ් එකක් දෙනවා. ඒක රහ වැටිලා තව විනාඩි 15ක් විතර එක්ස්ටෙන්ඩ් කර ගන්න තව ඩිරාම් 5ක් විතර වැඩිපුර ගෙවන්න ඕනෙ.

ඉතින් ඊලඟට තියෙන ප්‍රශ්නේ තමයි තමන්ට ඕන හෙයාර් ස්ටයිල් එක හරි කපන්න ඕනෙ විදිහ හරි මේ බංගලියන්ට කියන එක. මොකද උන්ට ඉංග්‍රීසි මෙලෝ මල පොතේ අකුරක්වත් බෑ. එහෙම පුළුවන් උනත් කපන්න ඕනෙ විදිහ ඉංග්‍රීසියෙන් කියා ගන්න අපි දන්නෙත් නෑනෙ. ඔන්න ඉතින් කපන්න ඕනෙ හෙයාර් ස්ටයිල් එක කියන්නෙ, "ටූ, ටූ, ත්‍රී" හරි "ටූ ටූ ෆෝ" හරි, "ත්‍රී ත්‍රී ෆෝ" හරි කියලා තමයි. ඒ කියන්නෙ, අර කොණ්ඩේ කපන මැෂිමට දාන තල වල සයිස් එකෙන්. මම ගොඩක් වෙලාවට කපන්නෙ "ටූ ටූ ත්‍රී" කට් එක. ඒ කියන්නෙ ඔළුවෙ වම් පැත්තයි දකුණු පැත්තයි කපන්නෙ නොම්මර දෙකෙන්. ඉතිරි හරිය නොම්මර තුනෙන්. "ටූ ටූ ත්‍රී". බාබරයටත් වැඩේ පහසුයි, අපිටත් කොණ්ඩේ කැපුවට පස්සෙ හිත් වේදනා, හද කම්පාවන් ඇති නොකර ගෙන උපේක්ෂාවෙන් ගෙදර යන්න පුළුවං. මෙහෙදි ඔය ක්‍රමේ අපේ ලංකාවෙ ගොඩක් දෙනෙක් ෆලෝ කරනවා කියලා මම දන්නෙ මොකද ගොඩක් වෙලාවට පාර තොටේදි ඕනෙම ලංකාවෙ කෙනෙක්ව කොණ්ඩේ දැකපු ගමන් අඳුන ගන්න පුළුවන්. ඒ අර මම කලින් කියපු හෙයාර් ස්ටයිල් වලින් එකකට අනුව කොණ්ඩේ කපන නිසා.

දැනට අවුරුදු කීපයකට කලින් මෙහෙදි කොණ්ඩේ කපන්න ගිහිල්ලා මගේ යාළුවෙකුට හරි අකර තැබ්බයකට මුහුන පාන්න උනා. මම කිව්වනේ අර කොණ්ඩේ කපලා ඉවර වෙච්ච ගමන් වැලිව් ඇඩඩ් හෙඩ් මසාජ් එකක් දෙනවැයි කියලා. අනේ ඉතින් මේ මසාජ් එක කොච්චර සිරාද කියනවනන් අපේ එකාට සනීපෙට පුටුව උඩම නින්ද ගිහිල්ලා. මූට කොච්චර තදේට නින්ද ගිහිල්ලද කිව්වොත් බාබර් මූව ඇහැරවන්න ට්‍රයි කරලත් මූ ඇහැරිලා නෑ. අන්තිමට බාබර්ගේ බිලේ බ්‍රේකප් එක මෙන්න මෙහෙමයි.

කොණ්ඩේ කැපුවාට - ඩිරාම් 10
හෙඩ් මසාජ් එකට - ඩිරාම් 5
පුටුව උඩ නිදා ගත්තට - ඩිරාම් 10

ඇයි මූ පුටුව උඩ නිදි නිසා බාබර්ට වෙන එකෙක්ගෙ කොණ්ඩේ කපන්න බැරි වෙච්ච එකේ පාඩුවත් මුගෙන්ම අරගෙන.

(ප.ලි - කොණ්ඩේ කැපීම ගැන තව කතා දෙක තුනක්ම තියෙනවා. මේක දිග වැඩි වෙච්ච නිසා ඒ ටික ඊලඟ පෝස්ට් එකෙන් බලා පොරොත්තු වෙන්න.....!)

අපේ මිරිස් කැවිල්ල

Posted by දුමී

1505 දී පෘතුගීසි කාරයෝ ලංකාවට අහම්බෙන් ගහ ගෙන ආවෙ මේ පෙරදිග තියෙන කුළුබඩු ගැන හොය හොයා යන ගමන් කියලා හැමෝම දන්නවනේ. ඉතින් මේ ගොල්ලෝ ලංකාවට බැහැලත් මොකද කලේ, පුළු පුළුවන් විදිහට ලංකාවෙ වැවෙන කුළුබඩු ජාති ඒ කියන්නෙ, ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා, කුරුඳු, (සමහර විට මිරිස් ) වගේ දේවල් පොදි ගහගෙන තමන්ගෙ රටවල් වලට ඇදපු එක තමයි. එහෙම නිකන් ඉන්න බැරුවට ඔච්චර මහන්සි වෙලා කුළුබඩු හොයන්නෙ නෑනෙ මේවට එච්චර ඉල්ලුමකුත් නැතිනම්. අනික පහු කාලෙදි පෘතුගීසින්ගෙ අතේ තිබුනු ඒකාධිකාරය ඩැහැ ගන්න ලන්දේසියොත් හරි හරියට බෙලි කඩාගෙන මුන් එක්ක යුද්ද කරානේ . ඒ ඉතින් උන්ට තිබිච්ච කැහිල්ලට නෙමෙයි මේ කුළුබඩු වලින් හොඳට ප්‍රොෆිට් තිබිච්ච නිසා. අනික පෘතුගීසි කාරයෝ, ලන්දේසි කාරයෝ මේ කුළුබඩු එහෙමත් නැතිනම් "ස්පයිසස්" අරගෙන ගොහිල්ල වෙලඳාම් කලේ කාටද, තනිකරම යුරෝපයට. ඒ කාලේ මේ පෙරදිග කුළුබඩු වලට කොහොම ඉල්ලුමක් තිබුනද කිව්වොත්, යුද්ද කරගෙන, මරාගෙන බෙලිකඩාගෙන, නැව් ගිල්ලෝගෙන මේවා උන්ගේ රටවල් වලට අරගෙන ගියත් කට කපලා 400% ක විතර ශුද්ධ ලාබයක් තිබුනලු. එහෙනන් කොහොම ඉල්ලුමක් යුරෝපයෙන් මේවාට තියෙන්න ඇතිද ? ඒත් මට තියෙන පුරස්නේ තමයි හත් ඉලව්වෙ මෙච්චර ලංකාව ඇතුළු පෙරදිග රටවල් වලින් කුළුබඩු හූරගෙන හූරගෙන කෑවත් මේ යුරෝපයේ ඉන්න සුදු බුවාලා මිරිස් කරලක් දැක්ක ගමන් ගැහිලා, ගැහිලා සීතල වෙලා උණ ගන්නවා. උන් මිරිස් වලට එච්චරටම බයයි. වැඩිය ඔනෙ නෑ, ගම්මිරිස් වලටත් උන් කියන්නෙ "ගන් පව්ඩර්" එහෙම නැතිනම් වෙඩි බෙහෙත් කියලා. පෙනේද මේ චන්ඩි මිරිස් වලට තියෙන බය. ඔය ෆිල්ම් වල තුවක්කු උස්සගෙන චන්ඩි පාට් දාන රම්බෝලා, කමාන්ඩෝලා ට්‍රාන්ස්පෝටර්ලා නිකන්ම බිම දාන්න පුළුවං හොඳට කොච්චි දාලා අඹරපු සම්බෝලත් එක්ක බත් කටවල් දෙකක් අනලා කැව්වනං.

ලංකාවෙ අපි වගේම තමයි අල්ලපු රටේ ඒ කියන්නෙ ඉන්දියාවෙ ඈයොත් හරි හරියට මිරිස් කනවා කියලා කියනවා. අපිට ගොඩක්ම නෑ කමක් තියෙන්නෙ ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තෙන් කියලත් කියනවනේ. ගොඩක් වෙලාවට අපේ කෑමයි, කේරළේ කෑමයි එක සමානයි. උන් අපෙන් කොපි කරලද අපි උන්ගෙන් කොපි කරලද කියලා උන් දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ.

මම අර කලින් දාපු ඉඳි ආප්ප කතාවෙදි කිව්වනේ මගේ ටීම් එකේ හිටපු ලීනා කියලා කේරළේ, එහෙම නැතිනම් මලබාරෙන් ආපු යාළුවා ගැන. මෙයා දවසක් ඔය කලින් ප්‍රොජෙක්ට් එහෙක ඔෆිෂල් වැඩකට ඉස් ඉස්සෙල්ලාම ලංකාවට ඇවිල්ලා. කටුනායකින් බැහැලා නවතින හෝටලෙන් දීපු වාහනේ එන අතරමගදි ඩ්‍රයිවර්ට කියලා බඩගිනි නිසා මොනවහරි කන්න පුළුවන් තැනක නවත්තන්න කියලා. ඩ්‍රයිවරුත් ඉතින් දෙයියනේ කියලා පේස්ට්‍රි ෂොප් එකක නවත්තලා. ඔන්න ඉතින් අපේ ලීනට පෙස්ට්‍රි ෂොප් එකෙන් පිඟානක් පුරවලා එක එක ජාතියේ ෂෝට් ඊට්ස් ගොඩක් ගෙනැල්ලා තියලා. දැක්කම හරි ආස හිතෙන දුඹුරු පාට දිගට දිගේ තියෙන චයිනීස් රෝල් එකක් අතට අරගෙන ලීනා කන්න පටන් අරගෙන. කටවල් දෙක තුනක් කනකොට ලීනගේ ඉස් මුදුනේ ඉඳන් කරන්ට් එකක් වදිනවා වගේ පටන් අරගෙන ඉහින් කනින් දාඩියයි හොටුයි බේරෙන්න පටන් අරගෙන. ඊට පස්සෙ වතුර ගැළුමක් විතර ඉල්ලගෙන බීලා ලීනා අසිහියෙන් වගේ ඇවිල්ලා ආපහු වාහනේට නැගලා. යමින් ගමන රියදුරු උන්නැහේට දුක කිය කිය ගිය ලීනට රියදුරු උන්නැහේ කියලා තියෙන්නෙ ලංකාවෙ කෑම සාමාන්‍යයෙන් ඔහොම තමයි කියලා. ඊට පස්සෙ බය වෙච්ච පාර ලීනා මොකද කරලා තියෙන්නෙ, රියදුරු උන්නැහේට වැඳලා සුපර් මාකට් එකක් ගාව නවත්තගෙන "මැගී ක්ෂණික නූඩ්ල්ස්" පැකට් තොගයක් අරගෙන තමයි හෝටලේට ගිහිල්ලා තියෙන්නෙ. ඊට පස්සෙ ලංකාවෙ ගත කරපු දවස් කීපයටම ලීනා හෝටලේ බුෆේ එක පැත්ත පලාතෙ යන්නෙ නැතිව මැගී වලින්ම තමයි ජීවත් වෙලා තියෙන්නෙ. ඔන්න බලන්න හරි හරියට මිරිස් කනවැයි කියලා පම්පෝරි ගහන ඉන්දියාවටත් අපේ රෝල් එකක් කරපු හරිය.

අපි කවුරුත් දන්න අපේ අබේපාල මාමා ඔය සංචාරක ක්ෂේත්‍රෙට සම්භන්ධව පොඩි ව්‍යාපාරයක් කරන නිසා මම දවසක් කතා කරපු වෙලාවක කිව්වා, මගේ ඉන්දියාවෙ යාළුවන්ට ලංකාවෙ සංචාරය කරන්න මොනව හරි පැකේජ් ටිකක් හදලා දීපන් කියලා. ගත් කටටම අබේපාල මාමා කිව්වෙ

"හපොයි දුමී අයියේ, ඉන්දියන් කාරයන්ව නම් ගෙන්න ගන්න බෑ. උන්ව වද්දගන්න ලංකාවෙ හෝටල් කැමති නෑ..... මොකද උන් හෝටලේ අයන් එකෙන් රොටි පුච්චගෙන කනවා...." කියලා

ඇත්තම තත්වෙ තමයි උන්ට ලංකාවෙ හොටල් වලින් දෙන කෑම කෑවොත් පැය ගානක් ඇතුලත හුස්ම යනවා කියන එක තියන දැවිල්ලට. ඉතින් බඩගින්නෙ ඉන්නයෑ කියලා අමාරුවෙන් පාන් පිටි ටිකක් ගෙනැල්ලා අයන් එකෙන් රොටියක් දෙකක් පුච්චගෙන කනවා ඇති.

මම දැන් ඉන්න කම්පැණියට බැඳිච්ච අළුත මට මාසයකට විතර පස්සෙ ඉන්දියාවෙ ඉඳන් ආපු බුවෙකුත් ජොයින් උනා මම හිටපු ටීම් එකටම. මේ බුවා ඇවිල්ල ඉන්දියාවෙ හයිද්‍රාබාද් නගරෙ ඉඳන් තමයි ඇවිල්ලා තිබුනේ. ඔන්න ඇවිල්ලා දෙවනි දවසෙ වගේ පොර මට කතා කලා ලන්ච් එකට යන්න එන්න කියලා. ඔන්න ඊට පස්සෙ පොර මාවත් එක්කගෙන ගියා කිට්ටුව පාත තිබුනු "හයිද්‍රාබාද් බුරියානි" තියන ටිකක් පොෂ් ඒ වගේම ගානත් හුඟක්ම පොෂ් රෙස්ටුරන්ට් එහෙකට. ඔන්න ඉතින් දෙන්නත් එක්ක කන්න වාඩි උනහම පොර කියනවා අද උගේ ගානෙ තමයි දවල්ට කෑම කියලා. එක පාරටම උඩ පැනලා කැමති වෙන්න හොඳ නැති නිසා මමත් ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් අදි මදි කරලා අන්තිමට එකඟ උනා. ඊට පස්සෙ ඌ අහනවා,
"උඹ ස්පයිසි ෆූඩ් කනවද ?" කියලා. මමත් කිව්ව "ස්පයිසි ෆූඩ් නැතිව මට නම් ජීවත් වෙන්නවත් බැහැ" කියලා. ඒක ඉතින් බොරුවක් නෙමෙයි. මෙහෙ තියෙන හෝටල් වලින් කෑම කනකොට මම අමු මිරිස් කරල් දෙක තුනක් ගෙන්න ගන්නවා මොකද එච්චරටම ඒ කෑම සැර මදි නිසා. ඔන්න ඉතින් මගේ අළුත් සඟයත් "ඔව් ඔව්, හය්ද්‍රාබාද් වල අපිත් හොඳට දැවිල්ලට කනවා...." කියලා වේටර් කොළුවට කතා කරලා බිරියානි ඕඩර් කරන ගමන් කිව්ව "එක්ස්ට්‍රා ස්පයිසි !" කියලා. ටික වෙලාවකට පස්සෙ වේටර් කොළුවත් උස්සගෙන ආවා "හය්ද්‍රාබාදි ඩම් බිරියානි" මුට්ටියක් (ඒ බුරියානි එක දෙන්නෙ මුට්ටියක ). ඉතින් දැන් දෙන්නත් එක්ක හරි හරියට බෙදාගෙන වැඩ පටන් ගත්තා. ෂහ් මට නම් නියමෙට කටට දැවිල්ලට හරි අපූරුවට කෑම ටික තියෙනවා. ඔහොම ඉතින් කටවල් දෙක තුනක් කන ගමන් මම බැළුවා අපේ ඉන්දියන් සගයාගේ දිහා. යකෝ මූව දම් පාට වෙලා.....! මුළු ඇඟේම දාඩිය දාලා, මටත් පේන්න කන්දෙකෙන් දුම් පිට වෙනවා. මම ඉතින් ඇහුවා

"මොකෝ දැවිල්ලද.....?"

"අර පාහර වේටරයා මාව මරන්න හදන්නෙ....!" ඌ ගොත ගගහ කියනවා..

"ඉතින් උඹමනෙ එක්ස්ට්‍රා ස්පයිසි කියලා ඉල්ලුවෙ" මමත් හිනා වෙවී කිව්වා.

ඌම එක්ස්ට්‍රා ස්පයිසි කියලා ගෙන්න ගත්ත කෑම එක කන්න බැරිව වේටර්ට බැනලා වැඩක් නෑනෙ. අනේ මූ දැන් බිරියානි කෑම නවත්තලා සීනි දාගෙන මී කිරි කනවා හිටු කියලා. (කොහොමත් ගොඩක් වෙලාවට ඉන්දියන් කෑමත් එක්ක මීකිරි දීසියකුත් දෙනවා ). අන්තිමට බිරියානි කැවිල්ල පැත්තක තියලා බුවා මී කිරි කෝප්ප තුන හතරක් කාලා තමයි ගොඩ ගියේ.

අන්තිමට උගේ ස්පයිසි කැවිල්ල නිසා බිල ගෙවන්න උනෙත් මට. එදායින් පස්සෙ ඌ මගේ ලඟට ඇවිල්ලා අනලා කැව්වත් ඌත් එක්ක නං ආපහු කෑම කන්න ගියේ නෑ.

ඔය අතරේ පහුගිය දොහේ අපි උතුරේ ත්‍රස්තවාදී යුද්දේ දිනපු දවස්වල ඒක සමරන්න මම අපේ ඔෆිස් එකේ ඉන්න එවුන්ට කිරි බත් ගෙනිච්චා. ගම හාමිනෙත් ඉතින් උදේ පාන්දරම නැගිටලා යස අපූරු කිරිබත් මුට්ටියකුයි, පදමට ලුණු මිරිසකුයි, සීනි සම්බෝලෙකුයි තව මාළු ඇඹුල් තියල් එකකුයි හදලා දුන්නා. (සීනි සම්බලෙයි ඇඹුල් තියල් එකයිනන් හැදුවෙ කලින් දවසේ )


ඔන්න ඉතින් කට්ටිය වටවෙලා දැන් බැටින් පාර දෙනවා. අපේ ඔෆිස් එකේ ඉතින් හැම ජාතියකම බුවාලා සහ බුවීලා ඉන්නවා. වැඩියමක් ඉන්දියානු, ඊට පස්සෙ ඊජිප්තු, ලෙබනන් සහ ලෝකල් (එමරාටි ) එවුන් තමයි වැඩි හරියක් ඉන්නෙ. කට්ටිය ඉතින් දුම් දම දමා, හොටු පෙර පෙර කිරිබත් කනවා පේන්කොට දුකේ බැරුවා. ඒත් කට්ටිය අත අරින්නෙත් නෑ.

"Too good to resist this man...." කිය කියා තමයි උන් කන්නෙ.

ඔහොම අත අරින්නෙ නැතිව හරි හරියට ලුණු මිරිසුත් එක්ක කිරිබත් කාපු ලෝකල් අරාබියෙක් ඊට පස්සෙ දවස් දෙකක් ඔෆිස් ආවෙ නෑ. ඔන්න තුන් වෙනි දවසේ පොර ඔෆිස් එකට ඇවිල්ලා මැලවිලා ඉන්නවා. මම ඉතින් ලඟට ගිහින් ඇහුවා මොකද උනේ කියලා.

ඒ පාර ඌ ඉඳන් කියනවා,

"මිනිහෝ, උඹලගේ කෑම කාල ගිහිල්ලා පහු වෙනිදා ටොයිලට් එකේ ඉඳන් මම කෑ ගහපු කෑගැහිල්ලට අපේ ගෙදර අය ඇම්බියුලන්ස් එහෙකටත් කෝල් කරා..."

"ඊට පස්සෙ එලියට ඇවිල්ල අඩිය තියන්න බෑ, තට්ටං දෙක එකට ගෑවෙන ගෑවෙන පාරට මට කෑගැහෙනවා...."

"මම මේ අහන්න හිටියේ, උඹලගේ ආමි එක යුද්දේ දිනුවෙ අර රතු පාට පේස්ට් (ලුණු මිරිස් ) එකෙන් ගහලද ?"

එදායින් පස්සෙ මම හිතා ගත්තා මොන මගුලක් සමරන්න උනත් ආපහු නම් මුන්ට අපේ කෑම දෙන්නෙ නෑ කියලා. ඇයි හත් වලාමෙ මුන් මේවා කාලා හුස්ම හිරවෙලා මැරුනොත් මගේ දරු පවුල අනාත වෙන නිසා.

ඕකෙන් මේකෙන් දවසක් ලංකාවෙ නිවාඩුවකට ගිහිල්ලා ආපහු ආපු සුද්දෙක් අපේ එකෙක්ට මෙහෙම කිව්වලු

"උඹලගේ රටේ ටොයිලට් ගියාට පස්සෙ ටොයිලට් පේපර් පාවිච්චි කරන්නෙ නැතිව වතුර පාවිච්ච කරන හේතුව මම හොයාගත්තා....!" කියලා.

"ඒ මොකක්ද...?" අපේ එකත් අහුවලු.

“ඇයි, උඹලගේ පස්ස පැත්තට ඔය ටොයිලට් පේපර් එකක් ලං කරපු ගමන් ගිනි ගන්නවනේ...!”

Related Posts with Thumbnails