අපිත් කමුද මකුල් කුස් ?

Posted by දුමී

ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ආපහු ගෙදර දුවනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ අම්මා බෙදල තියෙන බත් පිඟාන ගැන හිත හිත. උදේට කන්න කියලා ගොඩක් වෙලාවට ඇස්ට්‍රා මාජරින් ගාල සීනි දාල දෙන පාන් පෙති හතර ඉන්ටර්වල් එකටත් කලින් පොඩ්ඩ පොඩ්ඩ බෑග් එකට අත දාල කන නිසා දවල් එකහමාර වෙනකොට බඩේ ඉන්න කුකුලා කෙකර ගාන්න පටන් ගන්නවා අපිටත් නොදැනිම.

ඔන්න ඉතින් අන්තිම පීරියඩ් දෙක වෙද්දි උගන්නන මේ ලෝකෙ දෙයක් ඔළුවට වදින්නෙ නෑ මොකද බඩේ කුකුලා පිකටින් කරන්න පටන් ගන්න නිසා. ඔන්න ඉතින් ඒ වෙලාවෙ ඉඳන් හිතෙන්නෙ,

"අද දවල්ට මොනවද කන්න ඇත්තේ ....?"

"බිත්තරයක්වත් තම්බලා, පරිප්පු හොදිත් එක්ක තිබුනොත් නම් මරු....."

"නැත්නම් අදත් කරවල හොදියි, බෝංචියි, කොල මැල්ලුමයිද දන්නෙත් නෑ.....!"

වගේ නා නා ප්‍රකාර සිතිවිලි......

කොහොමෙන් කොහොම හරි ඔය මොනව තිබුනත් සාගතේට අහුවෙලා වගේ ගෙදර දුවලා සපත්තුයි ෂර්ට් එකයි විතරක් ගලවලා දාලා අම්මා බෙදලා තියෙන බත් පිඟාන අතට අරගෙන මේලෝක සිහියක් නැතිව කාගෙන කාගෙන යන හැටි මට අදත් මතකයි.

ගොඩක් වෙලාවට අම්මා සතියේ දවස් හත ප්ලෑන් කරලා තමයි කෑම උයන්නෙ. සතියට එක දවසක් බිත්තර. ගොඩක් වෙලාවට ඒක සෙට් වෙන්නෙ බදාදට. හවස පන්ති හරි වෙන මොනව හරි ප්‍රැක්ටිස් තියෙනවා නම් ඒ ෂැඩියුල් එක වෙනස් වෙලා අනිවාර්‍යයෙන්ම බිත්තරයක් බත් එකට එකතු වෙනවා.

සතියට දවස් දෙකක් සාලයෝ වගේ පොඩි මාළු මිරිසට උයලා. සති දෙකකට වරක් විතර කෙලවල්ලෝ, තලපත් වගේ මාළු ජාතියක්. අනිත් හැම දවසකටම කරෝල එහෙමත් නැත්නම් හාල් මැස්සො තෙල් දාල හරි උයලා හරි.

ගොඩක් වෙලාවට මාසෙකට එක දවසක් වගේ තමයි අපි කැමතිම දවස උදා වෙන්නෙ. ගොඩක් වෙලාවට ඒක සෙනසුරාදවක් හරි ඉරිදාවක් හරි. එදාට අම්මා හදන්නෙ කහ බතුයි, කුකුල් මසුයි, අල තෙල් දාලා, වම්බටු මෝජුයි මින්චි සම්බෝලයයි. එදාට බුරිය උල් වෙන්නෙ ආපහු ඉස්මුරුත්තාව හැදිලා ඉස්පිරිතාලෙ යන්න ඔන්න මෙන්න කියලා තමයි. මේ දවස ගොඩක් වෙලාවට තාත්තා රට ඉඳලා සල්ලි එවන දවස් කිට්ටුවේ තමයි සෙට් වෙන්නෙ.

මේ පැටර්න් එක වෙනස් වෙන්නෙ තාත්තා නිවාඩුවට ගෙදර ආවහම තමයි. තාත්තව බලන්න කියලා ගෙදරට එන (ගොඩක් වෙලාවට තාත්තා ගේන තෑගි බෝග බලාගෙන ) බාප්පලා, නැන්දලා රොත්තයි, තව තාත්තගේ යාළුවොයි නිසා ගෙදර නිතරම සැණකෙළි ස්වරූපයක් තමයි තියෙන්නෙ. ඒ කාලෙට ඉතින් දවසක් ඇර දවසක්වත් කුකුල් මස් කන්න චාන්ස් එක සෙට් වෙනවා.

ඒ මීට අවුරුදු 15කට 20කට කලින් තත්වේ. ඒත් දැන් කාලේ බලනකොට මේ චක්කරේ එහෙම පිටින්ම අනිත් පැත්ත ගහලා.

ඒකට දැන් ගෙදරක මාළු ටිකක්, කරවල ටිකක් උයනවට වැඩියෙන් උයන්නෙම කුකුළු මස්ම තමයි. අපේ පොඩි එවුනුත් දැන් කුකුල් මස් නැතිව බත් කන්නෙ නැති තත්වෙකට පත්වෙලා.

දැන් අපිට කීරමින් ටිකක් තෙල් දාලා, පරිප්පු තෙම්පරාදුවක් දාලා පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් දුන්නොත් ඇදලා අරින්නෙ ආයි නෑ උණ්ඩුක පුච්චෙත් පිරෙන්නම තමයි.

කොහොමෙන් කොහොම හරි කාලයක් මම කුකුල් මස් කන එක නවත්තලා දාලම හිටියා. ඒ මට වුරුදු 13ක් 14ක් තරම් වංගියේ කියලා තමයි මට මතක. ඒ කාලේ ඔය නුගේගොඩ සුපර් මාර්කට් එක පිටි පස්සට වෙන්න මස් කඩ පේලියක් තිබුනා. (තාම තියෙනවද දන්නෙ නෑ මොකද සෑහෙන කාලෙකින් ඒ පැත්තට යන්න බැරි වෙච්ච නිසා ). ඔය කඩ පේලියේ තිබුනේ හරක් මස්, එළු මස් ඌරු මස් විකුණන කඩ අතර එක කුකුල් මස් විකුණන කඩයක්. අපේ අම්මා ඔතනින් කුකුල් මස් ගන්න පුරුදු වෙලා හිටියේ ටික කාලෙකට කලින් ඉඳලා. අයිස් නැතිව කුකුල් මස් ගන්න පුළුවන් නිසා තමයි ඒකට ගොඩක්ම හේතුව.

දවසක් අම්මාගේ විධානෙන් මම ඔය කඩේට ගියේ කුකුලෙක් අරගෙන එන්න කියලා. සාමාන්‍යයෙන් කරන්නෙ මරලා සුද්ද කරලා කඩේ ඉස්සරහා එල්ලලා තියෙන කුකුලෙක් අරගෙන එන එක උනත් එදා මට කලින් එතනට ඇවිත් හිටපු ගෑණු මනුස්සයෙක් කූඩුවක දාල හිටිය පණ තියෙන කුකුලෙක්ව මුදලාලිට පෙන්නුවා. මුදලාලි මොකද කලේ අර කුකුලගේ කකුල් දෙකන් අරගෙන බෙල්ලෙන් අල්ලලා එතන තිබිච්ච ලොකු බැරල් එකක ගැට්ටට තියලා පිහියකින් බෙල්ල කැපුවෙ හරියට පාන් ගෙඩියක් කපනවා වගේ හතර පස් පාරක් අතුල්ලලා. එහෙම්මම බෙල්ල එල්ලි එල්ලි තියෙන සුදුම සුදු පාටට හිටිය කුකුලව ඒ මිනිහා ඊට පස්සෙ අර බැරල් එක ඇතුලටම දැම්මා. ඊට පස්සෙ විනාඩියක් දෙකක් ඇහුනේ සට පට සට පට ගාලා අර කුකුලා බැරල් එක ඇතුලේ දඟලන සද්දේ. සද්දේ නැවතිච්ච ගමන්ම මස් කඩේ මුදලාලේ ආපහු කුකුලව කකුල් දෙකෙන් අල්ලලා ගෝලයට දෙනකොට අර බැරල් එකට දාපු සුදු පාට කුකුලා තනිකරම රතු පාට වෙලා හිටියා.

කොහොම හරි එදා අපේ ගෙදර අයට කුකුල් මස් කන්න බැරි උනේ තුෂ්නිම්භූත වෙලා හිටිය මම දමලා ගහලා ගෙදර ගිය නිසා. ඊට පස්සෙ අවුරුද්දක් හමාරක් මම කුකුල් මස් කෑම අත් ඇරියේ පිඟානේ තියෙන කුකුල් මස් කෑල්ල අර බැරල් එක ඇතුලේ ඉඳන් දඟලපු කුකුලගේ කියලා මට හිතෙන්න පටන් ගත්ත නිසා.

කොහොම හරි පස්සෙ කාලෙකදි, ඒ කියන්නෙ මම නමය වසර දහය වසර කාලෙදි විතර අපේ තාත්තා රට ඉඳල එනකොට ගෙනාව හරිම අපූරු එලාර්ම් ඔරලෝසුවක්. ඒකෙ විශේෂත්වය තමයි මේක කතා කරන ඔරලෝසුවක් වීම. ඕනෙම මහ රෑක නැගිටලා අත පත ගාලා ඔරලෝසුව උඩ තියෙන බොත්තම ඔබපු ගමන් ලස්සන කට හඬක් තියෙන ගෑල්ලමයෙක් රහසින් වගේ වෙලාව කියනවා. ඉතින් ඊට පස්සෙ හරි සනීපෙටත් නින්දත් යනවා. හැබැයි කරුමෙ උනේ මේකෙන් උදේ නැගිටින්න එලාර්ම් එක තියන්න පටන් ගත්තට පස්සෙ තමයි. ඒ කාලේ පාඩම් කරන්න කියලා උදේ 4ට විතර එලාර්ම් එක සෙට් කරලා තමයි නිදා ගන්නෙ. මේකෙ එලාර්ම් එකට තිබුනේ කුකුලෙක් අඬලන සද්දයක්. උදේ හතරට විතර කන ගාව ඉඳගෙන කුකුලෙක් අඬලනවා කියලා හිතන්න. ඒකට මූන දීපු එකා තමයි දන්නෙ මුළු කුකුල් සංහතියම මරාගෙන කන්න තරම් කේන්තියක් හිතට එන විදිහ ගැන. ඊට පස්සෙ ආපහු මම කුකුල් මස් කන්න පටන් ගත්තා.

මට වඩා අවුරුදු 3ක් විතර බාල මගේ නැන්දගේ පුතා තේරුනේ පේරාදෙණියේ කෘෂි විද්‍යා පීටයට. පොර ඔතන ඉගෙන ගන්න කාලේ ෆීල්ඩ් විසිට් එකකට කට්ටියවම එක්කෙගෙන ගිහිල්ලා තිබුනේ ලංකාවෙ දැනට තියෙන ලොකුම කුකුල් මස් නිශ්පාදන ගොවිපල බලන්න. ඕක බලලා ඇවිත් පොරත් එදා ඉඳන් කුකුල් මස් විතරක් නෙමෙයි ඔක්කොම මස් මාළු ජාති කන එක නවත්තලා දාලා තනිකරම වෙජිටේරියන් උනා.

මිනිහා කියපු විදිහට එතන කුකුලෝ මරන්නෙ මහා පරිමාණෙට. ලොකු හෝල් එකක හයි කරලා තියෙන නවතින්නෙ නැතිව වැඩ කරන බෙල්ට් එකක් තියෙනවා. එතන ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් කරන්නෙ පණ පිටින් ඉන්න කුකුලන්ව අරගෙන අර බෙල්ට් එකේ උන්ගේ කකුල් වලින් එල්ලන එකයි.එකාට එකා ගෑවෙන විදිහට තමයි උන්ව එල්ලනවා කියන්නෙ මොකද විනාඩියට කුකුල්ලු 50ක් 60ක් ඒ විදිහට එල්ලනවා. ඔන්න ඉතින් ඔය බෙල්ට් එකේ එල්ලපු කුකුලන්ගේ බෙල්ල ඊට ටිකක් එහාට වෙලා ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් ඉඳගෙන පොඩ්ඩක් කපනවා. ඒ කැපිල්ලත් හරියටම කැපෙන්නෙ නැත්තෙ බෙල්ට් එක දිගේ එන කුකුල්ලන්ගේ ප්‍රමාණය වැඩි නිසා. කැපෙන කුකුලගේ බෙල්ලත් කැපෙන්නෙ බාගෙට. ඊට තත්පර කීපෙකට පස්සෙ අර පණ ගගහා ඉන්න කුකුල්ලු ටික සේරම විසාල උණුවතුර ටැංකියක් ඇතුලෙන් යනකොටත් අර කුකුල්ලු ඉන්නෙ පණ පිටින්. ඊට පස්සෙ තියෙන්නෙ ලොකු රොලර් දෙකක් අතරින් මේ කුකුලන්ව යවන එක. එතනදි තමයි මුන්ගේ පිහාටු ටික ඔක්කොම ගැලවිලා සුද්ද වෙන්නෙ. ඒ මැෂින් එකෙන් එලියට එනකොටත් සමහර කුකුල්ලු ඉන්නෙ දඟල දඟලලු.




හොඳම හරිය තියෙන්නෙ මුස්ලිම් ව්‍යාපරිකයෙකුට අයිති මේකෙ කුකුල්ලු මරන්නෙ හලාල් විදිහට. ඒ තමයි ඒ ගොල්ලන්ගේ හලාල් වාක්‍යය කැසට් එකකින් කුකුලන්ට ඇහෙන්න ප්ලේ කරලා. ඒත් ඉතින් අර කුකුලා මැරෙනකොට ඒ හලාල් වාක්කි වලින් සීයෙට දහයක්වත් අහගෙන නෙමෙයි ඌ මැරෙන්නෙ. ඒත් මුන් පස්සෙ ඒ මස් පැකට් එකේ ගහන්නෙ සීයට සීයක්ම හලාල් කියලා.

කොහොමෙන් කොහොම හරි මම දැක්කට වඩා මහා පරිමාණෙන් කුකුල්ලු මරනවා දැකලා මස් මාළු කන එක නවත්තපු ඒ මල්ලිට මම අර එලාර්ම් ඔරලෝසුව තෑගි දුන්නේ මේක අනිවාර්‍යයෙන්ම මේ එලාර්ම් එක දාගෙන නිදාගත්තොත් මූ ආපහු කුකුල් මස් කන්න පටන් ගන්නවා කියලා හොඳටම ෂුවර් නිසා. . ඒත් කරුමේ කියන්නෙ මම දැනන් නොහිටියට මේ ඔරලෝසුවේ මේ එලාර්ම් එකේ ටෝන් එක වෙනස් කරන ඔප්ෂන් එකක් තිබිලා මිනිහා ඒක බීප් බීප් සද්දෙකට මාරු කරගෙන. තාමත් ඌ කුකුල් මස් කන්නෙත් නෑ, මට එලාර්ම් ඔරලෝසුවත් නෑ.


මතු සම්භන්ධයි





පින්තූර ගත්තේ
http://slowfoodtufts.blogspot.com/2010/10/chicken-slaughtering.html http://matthewcompany.com/images/poultry_breeding.jpg

178 comments :

  1. අපිත් වෙජිටේරියන්.. හලාල් විදියට මරනවා කියල කරන්නේ අමු බොරුවක්,,

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක ඇත්ත. මගේ යාළුවෙක්ගේ මාමා කෙනෙක් කුකුල් ෆාම් එකක් කලා පන්නිපිටිය පැත්තෙ. දවසක් මුස්ලිම් වෙඩින් එකකට කියලා ලොකු ඔර්ඩර් එකක් ඇවිල්ලා තිබුනා. ඉතින් යාළුවගේ මාමා ලඟම තියෙන මුස්ලිම් පල්ලියට ගිහින් කියලා තියෙනවා හලාල් විදිහට කුකුල්ලු මරන්න කාව හරි එවන්න කියලා. ඒ පාර පල්ලියෙන් කොල්ලෙක්ව එවල තියෙනවා. මූ ඇවිත් පිහියක් අරගෙන කුකුල්ලු ටික කපාගෙන කපාගෙන ගිහිල්ලා කිසිම හලාල් වාක්කියක්වත් කියන්නෙ නැතිව. පස්සෙ මාමා ඇහුවහම ඇයි ඔහොම කරන්නෙ කියලා, ප්‍ර කියලා තියෙන්නෙ "පිස්සුද මහත්තයෝ, ඕවා කිය කිය මරන්න ගියොත් දවසට කුකුල්ලු 10ක් වත් මරන්න වෙන්නෙ නෑනේ... අපේ හැමෝම කරන්නෙ මෙහෙම තමයි....."

      Delete
  2. මම සාත්තර කියන්න ඉගෙන ගත්තා... දුමියා ගැන කියන්න තියෙන සාත්තරේ තමයි ඉදිරි සති දෙක හෝ තුන ඇතුලත දුමියගෙන් තව පෝස්ට් තුනක්වත් වැටෙන්න ඉඩ තියෙනවා කියන එක...

    කොහෙහරි සෙට් වෙද්දි පෝක්ම ඉල්ලන්නේ ඇයි කියලත් මම මේ පෝස්ට් එකෙන් පොඩි අදහසක් ගත්තා... ඊලඟට ලංකාවට ආවම එක්ක යන්න ඌරෝ මරන තැන්කට.. එතකොට ඒ කෑමත් ඉවරයි...

    ඔරලෝසුව.. අයියෝ..

    ReplyDelete
    Replies
    1. උඹේ සාත්තරේ හරියන්න ගොඩක්ම ඉඩ තියෙනවා......!

      Delete
  3. උඹට කියන්න බං, මටත් දැන් නං කුකුළා එපාම වෙලා තියෙන්නෙ.. මෙහෙ ලේසියට කියලා හැමදාම ගෙවල් ලග තියෙන හලාල් ක‍ඩෙන් කුකු‍ළෙක්ව කපාගෙන එන එක තමා කරන්නෙ.. ඇයි බොලං එළවළු ජාති උයනවා කියන එක ලේසි වැඩක්ද.!? අම්මපා අර කිවුවා වගේ කීරමින් හොද්දකුයි, පොල් සම්බලේකුයි එක්ක රතු බත් ටිකක් කන්න ඇත්නං.. :(

    පලි: ‍මේ යන විදියට නං අනිවා තව ටික කාලෙකින් මට දෙපැත්තෙන් පියාපත් දෙකක් එනවා.. ඒකත් හොදයි එක අතකට ප්ලේන් ටිකට් එකේ ගාන ඉතුරු වෙනවා, ලංකාවට පියාඹලාම යන්ට පුලුවන්.. :D

    ReplyDelete
    Replies
    1. ඔය පැතිවල ලංකාවේ කඩ නැද්ද බුරා . පොලුත් නැද්ද . පව් අප්පා . එළවලු ඉතින් ලංකාවේ විදිහටම නෙමේ . ඔලිව් තෙල් ටිකක් දාලා යන්තම් stir fry කරලා කන්න පුළුවන් ගොඩක් එළවලු . අපරාදෙනේ කුකුලෙක් වුනොත් කියලයි අපි බය

      Delete
    2. ලංකාවෙ කඩ නැතිකම නෙවෙයි බින්දියො, කඩ තියෙනවා නහුතෙට, ලංකාවෙ තියෙන ඕන ජාතියක් මෙහෙත් තියෙනවා.. ඒ වුනාට කාටද අප්පා ඔච්චර ‍වෙලාව තියෙන්නෙ, බතුයි තව එළවළු 2-3කුයි හදන්න.. අපරාදෙනෙ කාලෙ, තව වැඩ කීයක් කියලා කරගන්න පුලුවන් කාලෙද.. ඒක නිසයි මෙහෙම කරන්නෙ, කුකුළා කෑලි කපාගෙනම ආවා, හේදුවා, අඩුම-කුඩුම ටික දැම්මා ලිපේ තිබ්බා.. එළවළු කන්නත් ඕන නිසා මම කරන්නෙ කැරට්, ගෝවා, ලීක්ස් එහෙම යහමින් දාලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා.. පැය බාගයයි, වැඩේ ඉවරයි..

      Delete
    3. මෙහේ අපේ තත්වෙත් ඕකම තමයි. සුපර්මාර්කට් එකට කෝල් එකක් දීපු ගමන් උන් කුකුලව පොඩි පොඩි කෑලි වලට කපලා ගෙදරටම ගෙනැල්ලා දෙනවා. ආයිත් තියෙන්නෙ පොඩ්ඩක් හෝදලා තුන පහ ටික දාලා ලිපේ තියන්න විතරයි.

      Delete
  4. මම කුකුල් මස් කනව. හේතුව කුකුල් මස් ඇරෙන්න වෙන කිසිම මස් ජාතියක් මට කන්න බැරි නිසා. වෙන ජාතියක් කෑව ගමන් ඇඟ පුරා පලු දානව ආයෙ මූන දෙක වෙනව කන් හාවෙක්ගෙ වගේ වෙනව. ඉතිං මම ආසම මස් ජාතිය චිකන් !!! අර හයිය මස් නේද ගං කුකුල්ලු කියන්නෙ. උන්ගෙ මස් කන්න හරි අමාරුයි හයියයිනෙ.

    ReplyDelete
    Replies
    1. සිහිනයෝ අනිත් මස් ජාති කන්න බැරිනම් ඒවා පොඩ්ඩක් වේලලා කරලා අතේ පයේ බැඳත්තා නම් පොඩ්ඩක් බර හරි වැඩි කරගන්න තිබුනා....

      ඕක තමයි කියන්නෙ පොඩි කාලේ ඉඳලම සිග්නල් වලින් දත් මදින්න කියලා හයිය දේවල් හපන්න පුළුවං වෙන්න.

      Delete
  5. බොහොම අමාරුවෙන් මමත් හිත හදාගෙන කුකුල් මස් කන්න හිත හදා ගත්තේ.. මෙයා ඒක නැතිකරන්න හදනවා... නරක දුමී අය්යා

    ReplyDelete
    Replies
    1. හෆොයි දෙයියනේ මගේ හිතේ හාංකවිසියකවත් අදහසක් තිබුනේ නෑ බොලං කාටවත් මස් කන්න එපා කරන්න. මම මේ පොස්ට් එක ලිව්වේ මට නැතිවෙච්ච මගේ එලාර්ම් ඔරලෝසුව ගැනනේ.....!

      Delete
  6. එලාම් එකක් නිසා කුකුල්ලු කන්න පටන්ගත්ත ලෝකයේ පලමුවැනියා ලෙසින් දුමී අයියා ඉතිහාසගත වෙනව. ඊට වැඩිය විහිළුව තමයි කැසට්එක දාල හලාල් කිරිල්ල.
    මස් කඩවලට-මරණ තැන්වලට ගියාම නං මස් එපාවෙනව. මම නං එනවෙලාවට ඒව අමතක කරල එන්නෙ. අනෙක ඔය එලවලු පලතුරු පලාවර්ග උනත් තියන තැන් දැක්කොත් කන්න එපා වෙනව. එහෙම බැලුවොත් කන්න පුළුවන් දෙයක් ඇත්තෙම නෑ

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ජනතාවගේ සෞඛ්‍යය ගැන හිතලා තමයි දැන් රට හැම තැනම ෆූඩ් සිටි තියෙන්නෙ. පොඩ්ඩක් ගාණ වැඩි උනත් අවුරුඩු 10ක් 15ක් පරණ මස් ටිකක් ග්‍රෑම් 100න් පංගු වලින් ගන්න පහසුකම් තියෙනවානේ දැන්..... කොහොම මැරුවත් මොකෑ....!

      Delete
  7. නෙද්දකින් මුස්ලිම් එකාලගේ හලාල් !!! කන්න ඕන උනාම හලාල් ! කන්න ඕන නැති වෙච්චකොට හරාම් !!

    උන්ගේ මාර නීති !

    අඩේ මේ ලිපිය කියෙව්වට පස්සේ කුකුල් මස් කන්න එපා උනාද මන්දා !

    ReplyDelete
    Replies
    1. එපා නං මට දීපන්

      Delete
    2. ඇත්තටම මුස්ලිම් මුදලාලිලම හලාල් කියලා තමන්ගේ මිනුස්සුන්වම රවටන සීන් එකක් තමයි තියෙන්නෙ සල්ලි ගැනම හිතලා.....

      Delete
  8. ගොයම්, වී, හාල් වලටත් පන තියෙනවානම්?

    ReplyDelete
    Replies
    1. පණ තියෙනවනේ.එහෙම තමයි මමනං ඉගෙනගත්තේ.ඒත් ඉතිං ඒක චුට්ටක් අමතක කරලා ඔන්නොහේ කනවා.

      Delete
    2. මට මතක් වෙන්නෙ නමය වසර ඉංග්‍රීසි පොතේ තිබිච්ච පාඩමක්. ඒකෙ තිබුනේ පරීක්ෂණයක් කරලා ගස් වලට හැඟීම් දැනීම් තියෙනවා කියලා ඔප්පු කරපු විදිහක් ගැන. ගහකට "ඇමීටරයක්" (මට මතක විදිහට ) හයි කරලා ඒ ගහ ගැන කවුරු හරි මතක් කලත් අර මීටරේ ඇම්පියර් ගාන වැඩි වෙන හැටි තමයි ඒක තිබුනේ. හැතක්ම ගාණක් එහා ඉඳන් හරි කවුරු හරි හිතුවොත් මම මේ ගහ අද කපනවා කියලා අර මීටරේ ඇම්පියර් ගාණ හෙන ගාණකින් වැඩි වෙනවා....

      Delete
  9. ලංකාවේ වැඩි දෙනා ,හරක් මස් කන්නෙ නැහැ , පව් සිද්ධ වෙන නිසා. ජාතික ආහරය වගේ හැම මඟුලටමයි දානෙටමයි කුකුල් මස් තමයි.

    පන්සලේ හාමුදුරුවන්ට දානේ දින දීලා දින වෙන් කරගෙන එමින් ගමන් මුස්ලිම් මුදලාලි හම්බවෙන්න ගිහින් කුකුල්ලුත් කීයක් ඕනි ද කියලා පණිවිඩේ දීලා තමයි සමහරු එන්නේ.

    මොකද සමහර හාමුදුරුවරු දානෙ නිර්මාංශව දුන්නම ප්‍රසිද්ධියේ බනිනව. “ හරියට වෑදැමකට ගියා වගේ නෙ උපාසක මහත්තයෝ “ කියලා.

    අපේ ගෙදර දරන් ඉන්නෙ තුන් දෙනයි. එක්කෙනෙක් සම්පූර්ණයෙන් නිර්මාංශයි. අනිත් කෙනා හරක් මසු කන්නෑ. මම නම් ඉතින් මස් මාලු කනවා.

    සිරුරට අත්‍යාවශ්‍ය මේද අම්ල එලවලු පලතුරු වලින් විතරක් ලබන්න බැහැ. එහෙම අය ධාන්‍ය කොළ ජාති වැඩි ප්‍රමාණයෙන් හැමදාම කන්න ඕනි.

    අනේ මන්දා... අයියේ. මස් කෙසේ වෙතත් මාලු කරෝල හාල්මැස්සන් නම් කනව තමා. නිර්මාශිකයෙක් ගෙදර ඉන්න නිසා කුකුල් මස් වත් ගේන්නෙ නැහැ.

    ඉදල ඉදල ලීවත් නියම ලිපිය.හරිම සමබරයි.

    අර එලාම් ඔරලෝසුවේ හිටිය ගෑන්ළමයට මක්කැයි වුනේ අයියේ ?

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි. අපේ ගෙදරත් අපේ අම්මා සම්පූර්ණයෙන්ම නිර්මාංශයි. හැබැයි අපි වෙනුවෙන් මස් මාලු උයලා දෙනවා තවමත්. අපේ ගෙදරටත් කුකුල් මස් සහ එළු මස් (අවුරුදු ගාණකින් ගෙනැල්ල නෑ මොකද ගණන් වැඩි නිසා ) ඇරුනාම අනිත් මස් වර්ග ගේන්නෙ නෑ ඉස්සර ඉඳන්ම තිබිච්ච පිලිවෙතක් නිසා.

      ඒකනේ කියන්නෙ ඒ ගෑල්ල්මයවත් ඒ ඔරලෝසුවත් එක්කම දෙන්න උනානේ. හෆොයි හරි සීදේවි කට හඬ.....!

      Delete
    2. "අපේ ගෙදරටත් කුකුල් මස් සහ එළු මස් (අවුරුදු ගාණකින් ගෙනැල්ල නෑ මොකද ගණන් වැඩි නිසා )"

      අඩේ එළු මස් කන්න සල්ලි තියේනං අනිත්වා මොනවද බං... ලාබම එකා ඌරා...කුකුලා උනත් කටු ඇරියම කන්න දෙයක් තියේයෑ...

      Delete
  10. මමනං ඉතිං කාලායක් නොකා හිටියා.පස්සෙ මිනිස්සු කපන ඒවත් දැක්කයින් පස්සෙ මිනී මස් උනත් කන්ඩ පුළුවන් තත්වෙකට ආව.

    ඔරලෝසුවට සිදුවූ දෙයට මගේ බලවත් ශෝකය!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් එක අතකට කිසිම රිස්ට්‍රික්ෂන් එකක් නැතිව හිටියොත් ජීවත් වෙන්න ගොඩක් ලේසියි.

      ශෝක ප්‍රකාශය ගැන ස්තූතියි...!

      Delete
  11. ගොවිපල සත්තු කෑමට ගන්ඩ දෙපාරක් හිතන්නෝන.. උන්ට ගහන නානාප්පකාර බේත් ජාති නම් ඌරු සවුක්කියට හොඳ නෑ!

    ReplyDelete
    Replies
    1. මටත් ඉතින් කියන්න තියෙන්නෙ වෛද්‍යය තුමියෝ, "ඌරන්ට මොන සෞඛ්‍යයද..?" කියලා තමයි :D

      Delete
    2. මොනවද ඩී ඔය කියන්නේ..මූණ බලාගෙන එහෙමත් කියනවද මං අහන්නේ..?

      Delete
  12. යන්තම් කුකුල් මස් කෑල්ලක් විතරයි කන්නේ . සික් එකත් විඩින් විඩේ එපා වෙනවා මෙව්වා දැක්කම . නුගේගොඩ ඔය කඩ ටික තිබුණා 2004, 5 වගේ කාලේ . ඊට පස්සේ මන් ඒ පැත්තේ ගියේ නැහැ . දුමි කිව්වා වගේ අපිත් ඒ කාලේ කෑවේ මාළු කරවල තමයි. කුකුල් මස් නම් අවුරුද්දට කීපදවසක් තමයි. අනික් මස් ගෙනාවේම නැහැ .

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ ගොඩක් මිනිස්සු මස් කඩවල් වලට යන්නෙ නෑ. ෆූඩ් සිටි වගේ තැන් වලින් අවුරුදු බර ගාණක් පරණ උනත් හොඳට සුද්ද කරලා එහෙම මස් ගන්න පුළුවන් නිසා තමයි මම හිතන්නෙ.....!

      Delete
  13. අම්මෝ ඔය ඔර්ලෝසුවේ පරිප්පුව නම් මමත් කාලා තියෙනවා. ඔය ගිනිකුකුලා කෑගහන්නේ හරියට ඌව මරන්න ගෙනියනවා වගේ. පුදුම ලතෝනියක්.

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට ඉස්සෙල්ලම හිතෙන්නෙ ඔරලෝසුව පොලොවේ ගහන්න. ඒත් එහෙම කලොත් අම්ම බනියි කියලා හිතලා කුකුල් මස් කන්න පටන් ගත්තා....!

      Delete
  14. මුලින්ම...

    "උදේ හතරට විතර කන ගාව ඉඳගෙන කුකුලෙක් අඬලනවා කියලා හිතන්න. ඒකට මූන දීපු එකා තමයි දන්නෙ මුළු කුකුල් සංහතියම මරාගෙන කන්න තරම් කේන්තියක් හිතට එන විදිහ ගැන. ඊට පස්සෙ ආපහු මම කුකුල් මස් කන්න පටන් ගත්තා."

    උඹට මතකද අර ඔය ඉන්නේ කබ‍රයෙක් කතාව..අන්න එදා තරමටම නැති උනත් මේ ටිකට මම අදත් සෑහෙන තරමක් හිනා උනා... අර කබර කතාවට මං ඒක කියෝපු දවසේ පැය ගානක් හිනා උනා... දෙකක් නැහැ ඒක තමා මං මේ මුළු බ්ලොග් ‍අවකාසේම කැමතිම පෝස්ට් එක..අනික එළාර...

    කුකුල් මස් තියා මෙලෝ මසක් මාත් කෑවේ නැහැ බං අවුරුදු 14 ක් විතර වෙනකල්... එකම එක පාරක් මට පොඩි කාලේ ඌරු මස් කෑල්ලක් කැවිලා වමනේ කලා දවසක්ම... ඇලජික් නෙවෙයි අප්පිරියාවට..මට තිබුනේ උඹට වගේම වෙනත් ප්‍රශ්නයක්.. මස් කෑල්ලක් දැක්ක ගමන් හිතෙන්නේ මේක සතාගේ කොයි හරියෙද කියලා.. ඉතිං මට හිතෙන්නේම ඒක උගේ පුක හරියේ කෑල්ලක් වෙන්න ඇති කියලා..ඈක්කා ජරාව..එහෙම හිතුනඩ පස්සේ මොන කෑමක්ද..?

    ඒත් 14න් පස්සේ මං පාරට වැටුනා.. යන යන තැන මස් මිස කෑමට වෙන දෙයක් නැහැ අන්තිමට මං ඔන්න ඔහේ ඕන පුකක් කියලා කන්න ගත්තා... දැන්නං ඉතිං ඕන රෙද්දක් ඔට්ටුයි.. ඒත් මස් වලට ඒ හැටි ආසාවක් නැහැ... කනවනං කන්න පුළුවන් ඌරු මසුයි හරක් මසුයි තමා... කුකුල් මස්නං නිකං පොල් කනවා වගේ මොන මගුලේ රහක්වත් නැහැ මටනං... අරවත් ඉතිං කන්න හිත දෙන්නේ නැහැ.. ඒ හින්දා කවුරුත් දන්නා පරිදි කුකුලා නැතිව උගේ බිත්තරේට වැඩ අල්ලා සමාදානයෙන් ජීවත් වෙනවා...

    යකෝ මං ගාව එක පාරක් තිබුනා ටොප් සීඩී එකක්.. ඒක මේ හෙළ උරුමෙට වැඩ කරන කාලේ ලැබුන එකක්..ඒකට වෙච්ච දෙයක් හොයා ගන්න නැහැනේ.. අන්න ඒක පෙන්නුවාමනං කුකුල් මස් කන උන් බර ගානක් ඒකෙන් අහක් උනා...

    ReplyDelete
    Replies
    1. පුකේ මස් තමයි රහ අයියේ, කටු නැතිව කන්න පුලුවන්නේ

      Delete
    2. මටත් හිතෙනවා මස් කෑල්ලක් අතට ගත්තු ගමං මේක සතාගේ කොයි හරියෙද කියලා. ඒත් එක්කම ආයෙ හිතෙනවා කොයි කෑල්ල උනත් මස් නේ කියලා කටේ දාගන්නවා! :D

      Delete
    3. මට හම්බෙලා තියනවා කුකුල් මස් ඇතිලියෙන් පුකම හොයන උන්,,කුකුල් පුක රහයිලු උන්ට නම්

      Delete
    4. නොදකින් මුංට පුකක් පේන්න බැහැනේ...

      Delete
    5. උඹව ඉතින් හිනා ගස්සන එක අර එක කාලෙක හිටිය හිනා නොවෙන රාජ කුමාරිව හිනා ගස්සන්න ට්‍රයි කලාටත් වඩා අමාරුයිනේ.....!

      "එකම එක පාරක් මට පොඩි කාලේ ඌරු මස් කෑල්ලක් කැවිලා වමනේ කලා දවසක්ම..." - තමන්ගේ මස් ජාතියේ මස් කැවුනාම ඒවගේ වෙනවා කියලා මම අහලා තියෙනවා.....

      මට නම් හරක් මස් නොකා නොහිටියත් කන්න එච්චර පිරියක් නෑ...

      ඊලඟට එන කතාවෙ තියෙන්නෙත් හාමුදුරුවෝ කෙනෙක් බිත්තර ආප්ප කන්න ගිහිල්ලා වෙච්ච වින්නැහියක්....! සමහර විට උඹලා අඳුරන හාමුදුරුවෝ නමක්ද දන්නෙත් නෑ....!

      Delete
    6. මෙන්න මේ බිත්තර ආප්ප කතාව මම ලියපු හයවෙනි පොස්ට් එක
      http://awidda-paya.blogspot.com/2012/01/blog-post_13.html

      Delete
  15. මේවා දැක්කම කුකුල් මස් කන එකත් එපා වෙනවා...!

    ReplyDelete
    Replies
    1. එහෙම්ම කරන්න එපා....! ලංකාවෙ කුකුල් මස් නිශ්පාදනය විකුණ ගන්න බැරි වෙලා දරු පවුල් කීයක් අනාථ වෙයිද ?

      Delete
  16. හික් හික් අපරාදේ ඔරලෝසුව.. ;)

    ReplyDelete
  17. මට මුලදී කුකුල් මස් කන එක නවත්වන්න හිතුනා පස්සේ ආයේ කන්න හිතුන කතාව ඉවරවෙද්දී.

    ReplyDelete
    Replies
    1. හයියෝ අසරණ කුකුල්ලු.....!

      Delete
  18. කවුරු මොනවා කීවත් ලංකාවේ උනදලාගේන් තියන ලොකුම කෑම වෙල මොනවා ද ඇහුවොත් අනිවා ඒකට කුකුල් මස් සෙට් වෙනවා.
    රජ ගෙදරත් එකයි දුප්පත් පැලත් එකයි.
    නෙද්දකින් මුස්ලිම් එකාලගේ හලාල් !!! කන්න ඕන උනාම හලාල් ! කන්න ඕන නැති වෙච්චකොට හරාම්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බැළුවහම අද මාලු පන්සීයක් ගන්න සල්ලි වලින් කුකුල් මස් කිලෝ එකක් ගන්න පුළුවන්. දැන් ලංකාවෙ ලාබෙටම කන්න පුළුවං කෑම තමයි කුකුල් මස්.....!

      මුස්ලිම් මිනිස්සුන්ට දොස් කියන එක හරි නෑ. ඒ මිනිස්සු කරන්නෙ ඒ ගොල්ලන්ගේ ආගමේ උගන්නලා තියෙන විදිහට ජීවත් වෙන්න. ඒත් ඒ ගොල්ලෝ හලාල් කියලා කන කෑම ඇත්තටම හලාල්ද කියන සැකේ තමයි තියෙන්නෙ.

      Delete
  19. කතාවේ හොඳම ටික අනිත්ම චුට්ට....

    ReplyDelete
    Replies
    1. අපරාදේ කතාවෙ මුල් ටික....!

      Delete
  20. උඹ කොහොමද බං මෙච්චර රසට ලියන්නෙ? අර ආයෙම කුකුල් මස් කන්න ගත්ත හේතුව නම් පට්ටයි. :D මතු සම්බන්ධයි කියන්නෙ වෙන මොනවද තියෙන්නෙ? උඹ ඔක්කොම කියලනෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමද දන්නෙ මම රසට උයනවා කියලා....?

      මතු සම්බන්ධයි කිව්වෙ ලියන්න හිටිය කතා ටික ඔක්කොම මේකේ ලියා ගන්න බැරිවෙච්ච නිසා....! තව කෑල්ලක් මග එනවා....!

      Delete
    2. අර කවිකාරි කිව්වෙ ඇත්තනේ? බොල මං ඇහුවෙ උඹ කොහොමද ඔච්චර රසට ලියන්නෙ කියලා. බලපං උඹ ඒක කියවලා තියෙන හැටි. ඔච්චර බොන්න එපා බං. :D
      දුමී මේ ලඟදි දවසක් මගෙ හූමිනෙය්හි මායි උඹේ පඩ කතාව කියවලා හිනාවුනා බං හිනාවීමක්. මතක ඇති කාලෙකින් එහෙම හිනාවෙලා නෑ! :D :D
      henryblogwalker the Dude

      Delete
    3. බලහන් ඉතින් කවුද බීලා ඉන්නෙ කියලා...."හූමිනෙය්හි" කියන්නෙ කවුද ?

      Delete
  21. අපි නම් වෙමින් වෙජිටේරියන්...

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. හැබැයි මේන්ටේන් කර ගන්න ටිකක් අමාරුයි....!

      Delete
  22. මමත් අවුරුදු හයක් වෙජිටේරියන් වුනා ඔය වගේ මස් කඩයකට ගියාට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. එතකොට අවුරුදු 6න් පස්සෙ බොලාටත් කවුරු හරි කුකුලා හඬලන ඔරලෝසුවක් තෑගි දුන්නද ?

      Delete
  23. මචන් මේ අර ටොම් පචයයි බයිසිකල් පදින්න නොදන්න ඕනයයි එනකල් ගිහාන්ස් එකේ ඇදබාපු කතා සෙට් එක නේද? උඹ කියන්වට වඩා රසට ලියල තීනව.

    ReplyDelete
    Replies
    1. අප්පද බොල.... මම මේ කතා සෙට් එක උඹත් එක්ක කිව්වද එදා....? ඕක තමයි කියන්නෙ බොන්නෙ නැති උන් එක්ක බොන්න සෙට් වෙන්න එපා කියලා. තව මොනවා කියෙව්වද දන්නෙ නෑ....!

      Delete
  24. ආඩම්බරකාර වෙජිටේරියන් පොරකි මමත් ..

    ReplyDelete
    Replies
    1. හයියෝ, අපිටත් ආඬම්බරයි.....!

      Delete
  25. කාලෙකින් කියෙව්ව රසවත් පෝස්ට් එකක්. ඔය වගෙ කුකුල් එලාම් ඔර්ලෝසුවක් තෑගි හම්බුණා අපේ මල්ලිටත්.
    අපේ ගෙදරට මුළින්ම මස් ගෙනාවෙ අය්යගෙ ඉස්කෝලෙ යාළුවන්ට දීපු පාටියකට. එච්චර තමා. අපේ ගෙවල්වල කෑවෙ කරවල සහ බිත්තර. ඒත් සත්තු තමා ඉතින්. අඩු ගානෙ අර විදිහට දුක් දීලා මරන්නෙ නැතුව ඇති.
    හලාල් නොකර, එක සැරෙන්වත් මරනවනම් ඔය සත්තු...
    උන් දුක් විඳින තරමවත් අඩු වෙන්න.
    එක අතකට, ලෝකෙ පුරා කොයිතරම් මෙහෙම සත්තු මරනවා ඇත්ද? ලෝකෙ මේ තරම් විසකුරු වෙලා තියෙන්නෙ, හැම කෙනෙකුටම දුක් විඳින්න වෙලා තියෙන්නෙ, මේ විදිහට වපුරන දුක නිසාම වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. තැන්කූ....!

      එහෙනම් නලිනි නොකෑවත් මල්ලි යහමින් කුකුල් මස් කනවා ඇති...!

      එක අතකට කරන්න දෙයකුත් නෑ නලිනි.... අහාර චක්‍රය හැටියට දුලබ සතා බලවත් සතාගේ ආහාරය වෙන එක නවත්තන්නත් බෑනේ....!

      අනික අද ලෝකයේ වැඩි වෙන ජන ගහනයේ හැටියට හැම කෙනාම නිර්මාංශ වෙන එක ප්‍රැක්ටිකලුත් නෑ....!

      Delete
    2. @ දුමී

      නලිනි : …"අපේ ගෙදරට මුළින්ම මස් ගෙනාවෙ අය්යගෙ ඉස්කෝලෙ යාළුවන්ට"

      …දුමී : "නලිනි නොකෑවත් මල්ලි යහමින් කුකුල් මස් කනවා \ඇති...!"

      …අයියා ?? මල්ලී ???

      Delete
    3. හසිත මල්ලි, අයියාගේ පාටියට ගෙදරට ඉස්සෙල්ලාම මස් ගෙනාවත් කුකුල් ඔරලෝසුව තෑගි ලැබුනේ මල්ලිටනේ.....!

      Delete
  26. දුමී අයියාට වෙච්ච දේ නම් ඉතින් අපරාදේ....

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් කාට කියම්ද ?

      Delete
  27. Replies
    1. ස්තූතියි බින්දි.....! මේක නම් ගොඩක් වටිනවා....! හැබැයි මේ කුකුලා නම් අර ඔරලෝසුවේ ඉන්න කුකුලටත් වඩා මරුමුස් එකෙක්....! අද දවල්ට මම කන්න හිතා ගත්තේ සම්පූර්ණ රෝස්ට් කුකුලෙක්....!

      Delete
    2. දුමී තාම ඩෝප් මුහුර්ථයෙන් ද ඉන්නෙ.. මේ බින්දි ද කියලා ආයි බලාපං ඇස් ඇරලා.....

      Delete
    3. හුටා...තැන්කූ බුද්ධියෝ.... තාම ජෙට් ලැග්....!

      සමාවෙන්න කවි කාරි වෙච්චි වැරද්දට ඕං....!

      Delete
    4. බින්දියි, කවිකාරියි දෙන්නම මල් දාගෙන ඉන්නකොට අපිටත් ලැපටෙන්නෙ නැද්ද ?

      Delete
  28. මටනම් මස් කන්න එපා වෙලා තියෙන්නේ අප්පිරිය නිසා. ඒත් ඉඳලා හිටලා අම්මා හොඳ රසට හදලා දුන්නහම කනවා. මස් එක හදන්න කලින් නම් පැත්ත වත් බලන්නේ නැහැ. බැලුවොත් කන්නම බැහැ කොහෙත්ම අප්පිරියාව නිසා.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඕකනේ කියන්නෙ. තමන් උයාගෙන කන්නෙ නැතිව අම්මට කියලම උයා ගත්තනම් ෂෝයි එකට මස් කෑල්ලක් එක්ක බත් ඩිංගිත්තක් කනවනේ....!

      Delete
  29. මම මස් කන කෙනෙක්,,ඒත් හාල්මැස්සෝ,කරවලත් යහමින් කනවා දුමී අයියලා වගේ මමත් ලංකාවෙන් එනකොට කරෝලා ලෝඩ් එකක් ගහගෙන එනවා,,අපේ අම්මා,තාත්තා ගිහින් එනකොටත් එහෙමයි,,ඉතින් අවුරුද්ද පුරා අපිට කරෝලා,හාල්මැස්සෝ ලෝඩ් එකක් තියනවා,අනික පොල් නම් ඉතින් දැන් ලංකාවට වැඩිය මේ රටවල ලාභයි නේ,,ඉතින් පොල් සම්බෝලයක්,,කරවල හොද්දක් එක්ක කන්න පුලුවන් බඩ ඇදෙන්න අපිට නම්,
    ඒත් මෙහෙ ලාභම කුකුල් මස් නිසා,,දවස් 365 ම කුකුල් මස්ම ගිලින ලාංකිකයෝ තමා වැඩියෙන් ඉන්නේ,,සෑහෙන කස්ටියකට බයිපාස් කරලත් තියනවා මම දන්න කියන උන් ගොඩකට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙහෙත් කුකුල් මස් තමයි ලාබෙටම, ලේසියටම ගන්න පුළුවං. කප කපා වද වෙන්න ඕනෙත් නෑ, සුපර් මාර්කට් එකෙන්ම කපලා සුද්ද කරලා දෙනවා. අපිත් ඉතින් නිවාඩු ගිහිල්ල එනකොට වරද්දන්නෙ නැතිවම අවුරුද්දකට හරියන්න කීරමින්, කට්ට කරෝල හැම ජාතියම උස්සගෙන එනවා. අර කිව්වත් වගේ හොඳට කොච්චි කරලක් දෙකක් දාලා කට්ටා කරෝල හොද්දක් හදා ගත්තා නම් බත් කැවෙන්නෙ හට්ටි මුට්ටි ගණන්.

      Delete
  30. //ඒකට මූන දීපු එකා තමයි දන්නෙ මුළු කුකුල් සංහතියම මරාගෙන කන්න තරම් කේන්තියක් හිතට එන විදිහ ගැන. ඊට පස්සෙ ආපහු මම කුකුල් මස් කන්න පටන් ගත්තා.//

    :D

    ReplyDelete
  31. මම මෑතකදී මස් මාංස සම්පුර්ණයෙන්ම අත හැරියා.. එකට හේතු වෙච්ච කතාව මම මගේ බ්ලොග් එකේ "ගම්මනුමස්' කියල ලියල මම බලපු වීඩියෝ එකත් එල්ලුවා. දැන් බැලුවම ලංකාවේ සත්තු මරණ විදිහ ඊටත් වඩා හපන්නේ ! අපේ රට මස් කන්නගේ දේශයක් වෙලා. (මේ බුදුන්ගේ දේශයයි කියල ලොකුවට ලොරි වලයි බස් වලයි ත්‍රී වීල් වලයි ගහගෙන උදේ දවල් රෑ කුකුල් මස් කෙලා බානවා. ) දුමී හරි.. පොඩි උන්ට ඕනෑම චිකන්.. මන් හිතන්නේ දැන් දැන් ඇතිවෙන අපුරු ලෙඩ වලට ප්‍රධාන හේතුවක් කියල මේ මරාගෙන කෑම.. ) මේක කියවල කවුරුත් මාව මරාගෙන කන්න එහෙම හදන්න එපා., දුමිගේ සයිට් එක පොරජාතන්තරවාදී හින්දයි කියන්නේ..

    ReplyDelete
    Replies
    1. සරත් වැරදි දෙයක් කියලා නෑනේ කවුරුවත් සරත්ට විරුද්ද වෙන්න. අනේ කාලේ වනේ වාසේ කිව්වලුනේ. අපේ ඇස් ඉදිරිපිටම කලින් තිබුනු සිස්ටම් එක පෙනි පෙනි අනිත් පැත්ත හැරිලා තියෙන්නෙ. තව අවුරුදු 10කින් 15කින් මොනව වෙයිද කියලත් අපිට බලාගෙන ඉන්න පුළුවං වෙයි.....!

      Delete
  32. සිරා කිසිදු මස් වර්ගයක් නොකන මාලු පමණක් කන චරිතයක්... ටික දවසකින් ඒකත් නැවතිලා සම්පූර්ණ වෙජිටේරියන් වෙයි කියලත් හිතෙනවා...

    මගේ මුල්ම රැකියාවට අදාල ආයතනය තිබ්බෙ ජා-ඇල පැත්තෙ...මේ පලාතෙ වැඩිපුර ඉන්නෙ ක්‍රිස්තියානි භක්තිකයන් නිසා නත්තල් ලං වුනාම තාවකාලික කුකුල් මස් කඩ පවා ඉදිවෙනවා... කුකුල් මස් / ඌරැ මස් වලට මේ දවස් ටිකේ පුදුම ඉල්ලුමක්... අපි උදේට වැඩට යනකොට එක තැනකදි බස් හෝල්ට් එක තිබ්බෙ හරියටම කකුල් මස් කඩයක් ඉස්සරහ.. මගේ මතකය අනුව ඒ නත්තලට ඉස්සෙල්ලා දවස, බස් එක නවත්තපුවහම කූඩු කීපයක කුකුල්ලු 100 විතර කිටි කිටියෙ හිර කරලා දාලා තියෙන දර්ශනය කාටත් දකින්න ලැබුනා.. මම එදා රැකියාව අවසන් වෙලා රාර්‍ත්‍ර‍ 10 ට පමණ නිවසට යද්දි සුපුරැදු විදියට මස් කඩේ ඉස්සරහ හෝල්ට් එකේ බස් එක නතර වුනා... උදේ හිටපු කුකුලන්ගෙන් නත්තල් සීතලේ ගැහි ගැහි එකම එක කුකුලෙක් විතරක් කූඩුවක ඉතුරැ වෙලා තිබුනා.. ඒ සතා සීතලේ වෙව්ලන හැටි අපි හැමෝම දැක්කා... බස් රථයෙ කවුරැවත් කථා බහක් නැතුව මේ සංවේදී දර්ශනය බලන් හිටියා.. අද නැති උනත් හෙට උදේම බෙල්ල කැපෙන්නෙ මෙයාගෙ බව අපි හැමෝටම දැනුනා... මගේ හදවතට එදා මේ සිද්ධිය පුදුම විදියට වේදනා දුන්නා... එහි ප්‍ර‍තිඵලයක් ලෙස මම මස් අනුභවය නතර කලා.. දැන් මට මස් කඩයක් දකින කොට මේ සතුන්ගේ මරණ වලට මම දායක වෙන්නෙ නෑ කියන සතුට තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තමන්ටම තේරිලා නිර්මාංශ වීම සහ එය පවත්වාගෙන යාම ගොඩක් අගය කරනවා. සමහර වෙලාවට අපේ සමාජයේ "මම වෙජිටේරියන්" කියන්නෙ ඒක ස්ටයිල් එකක් නිසා.....!

      Delete
    2. සිරාව ....සිරාවටම අදහන්න වටිනව...!

      Delete
    3. ස්තූතියි වී පොකුර.... දුමී අයියා අපේ පැත්තෙ තාම ආවෙ නෑ නේද ?

      Delete
    4. මම වී පොකුර පැත්තෙ නම් අනිවා ඇවිල්ලා තියෙනවා....! කමෙන්ටුත් කොටල ගිහිල්ලා තියෙනවා මතක විදිහට.

      Delete
  33. අපිටත් කැම්පස් එකේ තිබුන සබ්ජෙක්ට් එකකට දෙමටගොඩ මස් මඩුවට අරගෙන ගියා.අපි බලාගෙන ඉන්නකොටම කෑ ගහ ගහ හිටපු ලස්සන එළුවෙක්ගෙ බෙල්ල වෙන් කලා.අපි කෙල්ලො හුගක් අය අහකට ගියා.අපිට ඇඩුනා.අන්තිමට සර්ලා අපෙන් සමාව ඉල්ලුවා.මාස ගානක් යනකල් මස් නොකා හිටියා.පස්සෙ දවසක් කන්න වෙන දෙයක් නැතුව කෑවා.එදා ඉදලා ආයෙ කුකුල් මස් කනවා.වෙන ජාතිනම් කන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට ඔය සත්තු මරන එක දැකලා මස් නොකා ඉන්න හිතෙන එක වෙලා තියෙනවා. හැබැයි කෙටි කාලෙකට. මොකද ඒ වගේ රිස්ට්‍රික්ෂන් එකක් එක්ක ජීවත් වෙන්න හරිම අමාරුයි විශේෂයෙන්ම අපි වගේ පිට රටක ජීවත් වෙනකොට.

      Delete
    2. @ නිසුපා,
      පෝරකේකට ෆීල්ඩ් විසිට් යන ඉංජිනීරින්ග් සබ්ජෙක්ට් එක මොකක්ද?

      Delete
    3. //පස්සෙ දවසක් කන්න වෙන දෙයක් නැතුව කෑවා.//

      මමත් ඇදුරුත් මස් මාලු කනවා. දරුවො දෙන්නම සත්තු ගැන පව් කියල හිතුන දවසෙ ඉඳං මස් මාලු කන්නෙ නැහැ.දෝණි 2000 වසරෙ ඉඳල නැවැත්තුවෙ. මමත් ඒ කාලෙ එහෙම වෙන්න ට්‍රයි කලා. මගෙ පෙරේත කම අනුකම්පාවට ඉහලින් ගියා. මම ලැජ්ජා වෙනවා දරුවන්ට තරං willpower එකක් නැතිවීම ගැන. නමුත් ඒ දවස් වල මම දුන්න excuse එකත් ඕක තමා.
      //පස්සෙ දවසක් කන්න වෙන දෙයක් නැතුව කෑවා.//

      Delete
    4. @හරී - hygienic plant design. :)

      Delete
    5. @ඊ මේල් කවිකාරි - හික්ස්.... ඒක තමා අප්පා. පෙරේත කම ඉහල ගියා නේන්නම් අනුකම්පාවට වඩා.

      Delete
    6. @ නිසුපා,

      දිව හපාගෙන මැරෙන්න හිතෙනවා..

      Delete
  34. පොඩි කාලේ ගිහින් මස් ගේන්න කිව්ව ම උඔ එකපයින් කැමති උනා ද?
    ඒ කාලේ මම නං බය ම ඔතෙන්ට යන්න. ටවුමට ගිහිං මාකට් එකේ මස් මරණ ඒරියා එකට අන්තිමට යනවා තාත්තත් එක්කලා. මම බය ම එතෙන්ට. මස් කපන පිහි සමහරක් මටත් වඩා දිගයි. අනික ගෝසාව!!!

    ReplyDelete
    Replies
    1. අනේ බං ඇත්තමයි එක පයිං නෙමෙයි, කකුල් දෙකෙන්මයි කැමති වෙලා මස් කඩේට ගියේ. ඔයිට කලිනුත් ඔය මස් කඩේට ගොහින් මස් අරගෙන ආවට එදා තමයි මුදලාලිය කුකුලව කපනවා දැක්කේ....!

      Delete
  35. දුමී ලියල තියෙන්නේ මගේම කතාවදෝ කියල හිතුණා
    1.බැග් එකට අත දාල ඇස්ට්‍රා ගාපු පාන් කඩන් කාපු හැටි
    2. වෙනදට මාසෙකට විතර දවසක් ස්පෙෂල් හදලා, තාත්තා ලංකාවේ ඉන්න දවස් වලට නම් නිතරම ජයට කෑම.
    3. අර එලාම් ඔරලෝසුව, ඒක නම් මම කුරුල්ලට මාරු කර ගත්ත. ඒක මං ලග තවම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සුභා දුමීගේ අක්කා හරි නංගි හරි නෙමෙයි නේද ?

      Delete
  36. අවතාර්ටත් කුකුල් මස් කන එක එපා වෙයිද මන්දා
    අර හලාල් කියන එකනම් විකාරයක් එතකොට කුකුලා කැමැත්තෙන්ම මැරෙනවද දන්නෑ ඒක අහලා

    ReplyDelete
    Replies
    1. මම දන්න විදිහට හරියට හලාල් විදිහට සතෙක් මරනවනම් ඒ අවශ්‍යය කරන හලාල් වාක්‍යය මුල ඉඳන් අගටම කියලා ඉවර වෙලා හොඳ මුවහත් ඵියකින් එක පාරටම බෙල්ල කපන්න ඕනෙ. ඒ ගොල්ලො විශ්වාස කරන විදිහට හලාල් කරහම සතාට වේදනාව ඇතිවෙන්නෙ නෑ. ඒත් ඉතින් අද කාලේ මහා පරිමාණෙන් සත්තු මරන කොට ඕක මොන විදිහටද සිද්ද වෙන්නෙ කියන එක ගැන ආයෙත් කතා කරන්න දෙයක් නෑ....!

      Delete
    2. අපේ අය (බෞද්ධයෝ) මොනවටද මේ තරම් මේ ඉස්ලාම් ආගමේ තියෙන හලාල් එක පස්සේ යන්නේ කියන එක තමයි මට තියෙන ගැටළුව. බුදුරජානන්වහන්සේ අපට උගන්වලා තියෙන්නේ සතුන් මැරීමෙන් වලකින්න කියල. මස් කෑම ගැන උන් වහන්සේ සඳහන් කරලා නෑ. අපේ සමහර ස්වාමීන් වහන්සේලා බෞද්දයා පංච සීලයේ පිහිටවන්නේ නැතුව නිර්මාංශ කිරීමට මහත් වෑයමක යෙදෙනවා.

      Delete
    3. සුදීක, ඇත්තටම සහෝදර මුස්ලිම් ජනතාව හලාල් ආහරා ගැනීම ගැන කිසිම විවේචනයක් නෑ. ඇත්තම විවේචනය කල යුත්තේ ඔවුන් හලාල් යැයි අදහාගෙන අනුභව කරන මස් වර්ග ඇත්තටම ඔවුම් විශ්වාස කරන ආකාරයට හාලාල්මද කියන ප්‍රශ්නය. ගොඩක් වෙලාවට මුස්ලිම් මුදලාලිලාම තමයි හුදෙක් ලාබයම විතරක් ගැන හිතලා තමන්ගේ ජනතාවගේ විශ්වාසය හෑල්ලුවට ලක් කරන්නෙ....

      Delete
  37. මමත් අවුරුදු 6 ක් විතර මස් මාළු නොකා හිටියා... ඒත් ආපහු පෙරේත කමට කන්න ගත්තා. ඒ කන්නෙත් චිකන් විතරයි... ඒකත් කොයි වෙලේ නතර කොරයිද දන්නෑ... වැඩි උඩ ඉන්නේ... මේ පෝස්ට් එක දැක්කම ඒක ටිකක් ඉක්මන් වෙයිද කියලත් හිතෙනවා...

    සම්පූර්ණයෙන්ම නිර්මාංශික වුනොත්, මාළුපාන් කියලා දෙන අළපාන් ඇතුළු බේකරි කෑම, පෑන්කේක්, අයිස්ක්‍රීම්, වටලප්පන් වගේ ජාති බර ගාණක් කන්න වෙන්නෑ...

    ReplyDelete
    Replies
    1. පෙරත කම තියෙනවනන් නිර්මාංශ වෙන එක බොරු.....! කෑම ලිස්ට් එක දැක්කාම නම් බයත් හිතෙනවා....!

      Delete
  38. ඉස්සර මාත් වෙජිටේරියන් වෙලා හිටියා. පස්සේ කාලෙක මස් කන්න පටන් ගත්තා. ඒත් අන්තිම කාලේ මස් කැවෙන්නේ හරිම අඩුවෙන්. ලංකාවේ නම් මස් කන්නේම නෑ. ඒකටත් එක්ක දවල් රෑ මාළු. ඒකත් මට ඕනේ විදියට හදාගෙන.
    මෙහේ නම් ඉතින් තවම බිම හදන කුකුලෝ ගන්න පුළුවන්. ඉඳලා හිටලා ගේනවා. අන්තිම කාලේ මාත් මස් නොකනම වගේ වෙලා. ඒත් වෙජිටේරියන් නම් නෙමෙයි. ඉස්සර නම් මට ස්ටීක් එකක් නැත්නම් කන්නත් බෑ. දැන් සැලඩ් බෝල් එක විතරක් කාලා දානවා කිසි ගින්නක් නැතිව.
    ඇයි යකෝ අපිට මෙහෙම දුක් දෙන්නේ. කරවල පොල් සම්බෝල දැකපු කාලයක් මතක නෑ. ඒවා හදාගන්න දැනගන්න එපැයි අපි ඕවා කන්නත්. මේ පෝස්ට් එක කියවලා ෆ්‍රීසර් එකේ තිබ්බ පොලොස් එකකුත් එලියල දාලා ආවේ මම හිතේ දුකටම.

    ReplyDelete
    Replies
    1. මස් කනවට වඩා කරවල මාළු කන එක තමයි ගොඩක්ම ශරීර සෞඛ්‍යයට හොඳ.

      රංගි, කරවල කෑල්ලක් තෙල් දා ගන්න එක ස්ටේක් එකක් හදා ගන්නවාට වඩා ගොඩක්ම ලේසියි. ඕනෙ නම් ඔය මාරයාගේ බ්ලොග් එක පැත්තෙ ගියෝතින් හදන හැටි බලා ගන්නත් තිබුනා....!

      Delete
  39. මම මේ හිතුවේ කුකුල් මස් කඩ කාරයෙක් මේ පෝස්ට් එකට මොනවගේ කමෙන්ට් එකක් දාවිද කියලා..

    ReplyDelete
    Replies
    1. මමත් මේ බලන් ඉන්නේ කොයි වෙලේ පෝරියල් එකක් සෙට් වෙයිද දන්නෙ නෑ කියලා...!

      Delete
  40. මම නම් පොඩි කලේ ඉදන්ම කුකුල් මස් කන්නේ නැහැ. මම ෆිෂ්ටේරියන් :D

    ReplyDelete
    Replies
    1. අයියෝ මාළු....!

      Delete
    2. මොකක්ද හසිත ඒ ටේරියන් එක....එතකොට කරෝල..!

      Delete
  41. දුමි අයියට නිවාඩුවක් සෙට්වේගන එනවා වගේ?? එල එල..

    අදනම් කතාවේ දුක ශෝකය දෙකම තියේ..

    ReplyDelete
    Replies
    1. 'දුක ශෝකය ' දෙකම එකයිනෙ

      Delete
    2. මල්ලි නිවාඩුව ඉවර වෙලා මම මේ ආපහු ආපු ගමන්......! එක අතකට එක විදිහක නිවාඩුවක් වගේ තමයි....!

      Delete
  42. මම නම් නිර්මාංශ වෙලා ඉන්නෙ. කවදාවත් ඒක වෙනස් කරන්නෙත් නෑ.

    ඔය වගේ ඔරලෝසුවක් අපේ ගෙදරත් තිබුණා. ඉස්සර මට ඉංග්‍රීසි උගන්නන්න සර් කෙනෙක් ආවා ගෙදරට.මම සර් ඉන්න වෙලාවට වදින්න්න එලාම් සෙට් කරලා තියනවා හැමදාම. එයාට ඉතින් හරි හිනා

    ReplyDelete
    Replies
    1. වෙජිටේරියන් වෙලා ඒක හරියටම මේන්ටේන් කරනවා කියන්නෙ සිරා වැඩක්. ජය වේවා....!

      ඇයි සර් එනකොට කුකුලා හඬලන එලාර්ම් එකක් දාන්නේ ?

      Delete
  43. මචං මේක ජාතිවාදයට දායක කරගෙන
    දූමී උඹ බෞද්දයෙක් නම් මේවා දන්න එපා සහෝ..
    ස්තූතියි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1460882

    ReplyDelete
    Replies
    1. ඔව් මම බෞද්ධයෙක් තමයි....! ඇයි බෞද්ධයෙක් මෙහෙම පෝස්ට් එකක් දැම්මම තියෙන වැරද්ද මොකක්ද ?

      කවුරු හරි මම දාපු පේලි දෙකක් උපුටලා අරගෙන ගොන් ආතල් එකක් ගන්නවට මට මොනවද කරන්න කියන්නෙ ?

      කවුරු හරි කියලා තියෙනවද බෞද්ධ උනාම ෆුලි වෙජිටේරියන් වෙන්න ඕනෙ, මස් මාළු නොකා පිලිවෙත් රකින්න ඕනෙ කියලා....?

      Delete
  44. මමත් නිර්මාංශයි...කුකුල් මස් කන්නෙ නෑ..චිකන් නම් කනෝ :P
    හොඳ ලිපියක් සහෝ..!

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට චිකන් කන්නෙ කුකුල් මස් නොකා.....! ස්තූතියි.....!

      Delete
    2. බුදු දහමේ සඳහන් වෙනවා ත්‍රිකෝටික පාරිශුද්ද මාංශ කියල
      1. තමන් විසින් සතා මරා දැමුවේ නැත්නම්
      2. තමා වෙනුවෙන්ම වෙනත් අයෙක් මරා දමන ලද සතෙකුගේ මස් නොවේ නම්
      3. තවත් අයෙකු ලවා තමාට අවශ්‍ය සතා මරා ගත් මස් නොවේ නම්

      එය ත්‍රිකෝටික පාරිශුද්ද මාංශ වේ. ඒ කියන්නේ සතා මැරීමට ඔබගේ සක්‍රීය දායකත්වයක් නැත්නම්, එම මාංශ අනුභවයේහි වැරද්දක් නැති බව. හැබැයි උන් වහන්සේ නොවැලන්දිය යුතු මාංශ වර්ග 10ක් දේශනාවේ සඳහන් කරා.

      Delete
    3. ඔව් මේ කාරණය මම දැනගෙන හිටියා. ඒත් තර්කය වෙන්නෙ අද කාලෙ මේ විදිහට ජීවත් වෙන එක කොච්චර ප්‍රායෝගිකද කියන එක. කොහොම උනත් ප්‍රාණගාථය කියන්නෙ බුද්ධාගමට අනුව අකුසල කර්මයක්. මුවෙක් මරාගෙන කන කොටියෙකුත් හෝ සිංගහයෙකුත් කරන්නෙ මේ ප්‍රාණ ගාථ අකුසල කර්මයක්. එහෙම කියලා කොටියට හෝ සිංහයට තණකොල කන්න කියන එක කොච්චර ප්‍රායෝගිකද කියන එකත් හිතන්න වෙනවා. තර්කයක් ගේන්න පුළුවං මිනිසත් කමෙන් පෝසත් මිනිහවයි තිරිසනුන්වයි සංසන්දනය කරන්නෙ කොහොමද කියලා. ඒත් ජාතක කතාවලත් සෝවාන් වෙච්ච සත්තු ගැනත් කියල තියෙනවා නේද ?

      Delete
    4. සුදීක, තව පොඩ්ඩක් විස්තර කරන්න ඒක.
      එතකොට ඒ 10 මොනවද?
      henryblogwalker the Dude

      Delete
    5. @ සුදීක

      ඔයා කිව්ව කරුණු තුනේ 2, 3 සමානයි වගේ.

      ඒක වෙන්න ඕනේ. ප්‍රාණඝාතය අන්‍යන් ලවා කරවීම [කියවලා මැරීම] සහ ප්‍රාණඝාතයට අනුබල දීම. අපිට ප්‍රාණඝාත වැරැද්ද වෙන්නේ අපි ප්‍රාණඝාතයට සෘජුවම නොවුණත් වක්‍රාකාරව අනුබල දෙන නිසා. අපි කන නිසානේ සත්තුන්ව මරන්නේ

      Delete
    6. @ Dude

      බුදුන් වහන්සේ ප්‍රත්ක්ෂේප කළ මස් වර්ග 10 තමා මිනි මස්, ඇත් මස්, අශ්ව මස්, බලු මස්, සර්ප මස්, සිංහ මස්, ව්‍යාඝ්‍ර මස්, දිවි මස්, වලස් මස් සහ තරස් මස් [මම හිතන්නේ තරස් මස් කියන්නේ ඌරු මස්, වැරදි නම් නිවැරදි කරන්න]

      Delete
  45. මම මස්ගන්න කඩේට ගිය වෙලාවක මගේ යාලුවෙක් ඇවිල්ලා හිටිය අම්මත් එක්ක කුකුල් මස්ගන්න ,කුකුලගේ බෙල්ල කපලා වතුර එකට දැම්මට කුකුලා වැටුනේ බිමට ඌ එහෙන්ම දිව්වා මාර්කට් එක අතුලට අපේ යාලුවා කුකුල් මස් කෑවේ නැහැ කාලයක් යනකම් ....

    ReplyDelete
    Replies
    1. ඔළුව නැතත් කඳ ෆයිට් කියන්නෙ ඕකට තමයි.....! අර කුකුල් එලාර්ම් ක්ලොක් එකක් තෑගි දුන්න නම් ඕක හරියටම හරි යයි.

      Delete
  46. මාත් කුකුල් මස් මාළු කන්නේ නා ඒත් බිත්තර නම් කනවා .....
    අපි මොකටද තවත් සතෙක්ව මරල උගේ මස් කන්නේ
    පින් පව් වලින් වැඩක නෑ මට ඒත් මට මස් මාළු කන්න අප්පිරියය්

    ReplyDelete
    Replies
    1. ස්වභාවදහමේ ආහාර චක්‍රය හැදිලා තියෙන්නෙ එක සතෙක් තව සතෙක්ව මරාගෙන කන විදිහට තමයි.වෙජිටේරියන් වීම හෝ නොවීම තම තමන්ගේ කැමත්ත, ආගමික විශ්වාසය මත වෙනස් වෙන දෙයක්.

      Delete
  47. මමත් ඉතින් ඌරන්ට මොන සවුක්කයද කියල ඕන දෙයක් කනවා.....කන වෙලාවට වැඩිය මුකුත් හිතන්නේත් නෑ.....

    ReplyDelete
    Replies
    1. මොන දේ උනත් ඕනෑවට වඩා ඕනෙම නෑ කියලා එහෙම ජීවත් වෙන එක තමයි හොඳ මමත් හිතන විදිහට.....!

      Delete
  48. මාත් කුකුල් මස් කන්නේ නෑ.හැබැයි chicken කනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ චික් ටේරියන් කෙනෙක්...!

      Delete
  49. හුඟ දවසකින් හොඳට හිනාඋනා බං.....!
    ඔය සත්තු මරන විදිය වීඩියෝ එක මාත් බලල තියෙනව.
    ඒ අර බුරිය උල් වෙන්න කන හැටි අපටත් කියල දෙන්නකො...!

    ReplyDelete
    Replies
    1. කාලා කාලා ඉස්මුරුත්තාව හැදිලා මැරෙන්න ඔන්න මෙන්න තියලා බුරිය දිලා බලන්න කොහොමද උලේ සයිස් එක කියලා....!

      Delete
  50. මෙහෙ මාකට් එකකට ගියහම මස් මාළු සේරම එපා වෙනවා . ලොකු සුපර්මාකට් වලත් මාළු එක්ක තඩි කිඹුලෙක් හම ගහලා තියෙනවා හිටි ගමන් . එදාට මාළුත් නොගෙන හැරිලා එනවා . මාකට් එකේ මාළු ඉන්නේ පොඩි බේසම් වල . හිටිගමන් බිමට පනිනවා . මේ යක්කු නොකන දෙයක් නැහැ . හැබැයි සම්පුරණයෙන්ම වෙජිටෙරියන්ලත් ඉන්නවා . එළවලු වලින් විතරක් හොඳ කෑම වේලක් දෙන්න පුළුවන් බව මගේ ඉන්දියන් යාලුවත් ඊයේ පෙරේදා ''ශබාට්'' කාම වේලක් දීපු ඊශ්රායල් මිතුරියත් ඔප්පු කළා . වෙජිටේරියන් වෙලා නිසි පෝෂණයක් ලබා ගන්න ටිකක් කල්පනා කරලා ගැලපෙන එළවලු උයා ගන්න වෙනවා . කාල වෙලාවත් අවශ්‍යයි . ඇට වර්ග හතු වර්ග සෝයා ,කොළ ජාති යහමින් කනවා නම් කිරි බොනවා නම් මස් මාළු අවශ්‍ය නැහැ . කෑවත් කන ප්‍රමාණය අඩුවෙන් කන්න ඕන . ලඟදි බැලුව කොරියන් වැඩසටහනක්. මස් කන අයගේ සහ නොකන අයගේ බඩවැල් වල ස්කෑන් පින්තුර පෙන්නුවා . හරිම අප්‍රසන්නයි මස් කන අයගේ . ඒ වගේම ඒ රටේ කොලොන් කැන්සර් හරියට වැඩියිලු . ලංකාවේ මිනිස්සු ඉතින් පොඩි කෑල්ලක්නෙ කන්නේ . ලොකුවට බලපෑමක් නැහැ . හැබැයි මේ හෝමෝන් දීල දීල ලොකු කරන සත්තු කාලා නම් ලෙඩ රෝග වැඩිවෙයි ඉස්සරහට .

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියෙනවා කිඹුල් මස් හරියට කුකුල් මස් වගේ කියලා....! බින්දිට පුළුවන් ඔය පැත්තෙ කිඹුල් මස් කාපු කාගෙන් හරි අහලා බලන්න....!

      Delete
    2. නයි මස් නම් කුකුල් මස් වගේ කියල රියදුරෙක් කිව්වා දවසක් . දවසක් දැක්ක නයි සහ ඉබ්බෝ කෑම තියෙන කඩයක් . පින්තුරයක් ගන්න බය හිතුනා . නයින්වත් කන එකේ මාවත් මේසෙට තිබ්බොත්

      Delete
    3. නයි සහ ඉබ්බෝ කෑම තියෙන කඩයක්..!? ඒ කිවුවෙ අර pet food වගේ නයි/ ඉබ්බො ඇති කරන අයට ඒ සත්තුන්ට කෑම දෙන්න ලේසි වෙන්නද.?? :)

      Delete
    4. බලන් යනකොට හැමමස්ම කුකුල්මස් වගේනෙ..

      Delete
    5. ඕක තහවුරු කරගන්න කාලම බැළුවනන් හරි හරී....!

      Delete
  51. දන්න කාලෙ ඉදන් මම මස් කන්නෙ නෑ.පුංචිම කාලෙනම් මාළු කෑවෙත් නෑ. ගෙදරින් මරන්න යන නිසයි,පෝෂණය ගැන හිතලයි දැන්නම් මාළු ,කරවල කනව. මස් නම් මම කව දාවත් කන එකක් නෑ. මගෙන් හැමෝම අහනව ඇයි මාළු කනවනම් මස් කෑල්ලක් කන්නෙ නැත්තෙ කියල. මම ඉතින් විහිළුවට කියනව මම කන්නෙ වතුරෙ ඉන්න අයව විතරයි කියල. මස් උයන තැනකවත් ඉන්න මට අපහසුයි. ඒත් ඒක සාමාන්‍යය ජීවිතේදි සමහර වෙලේට කරදරයක් .
    මටත් තිබුන කුකුලෙක් හඬලන එලාර්ම් එකක් තියන්න පුළුවන් අත් ඔරලෝසුවක්. කොහෙද ඒ කුකුල් එලාර්ම් එකටවත් බැරි උනා මට මස් කවන්න. :D

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ චර්යා රටා නිසා (සමහර විට පෙර ආත්ම වලින් පැවතගෙන එන ) නිසා වෙන්නැති මස් මාළු කන්න හිත දෙන්න නැත්තෙ. කවුද දන්නෙ රෝස කුමාරි ගිය ආත්මෙ හාවෙක් හරි මුවෙක් හරි වෙන ජාතියක කොල විතරක් කන සතෙක් වෙලා හිටියද කියලා. සමහර විට දැලඹුවෙක් වෙලා ඉපදිලා ඉන්න බැරිකමකුත් නෑ....!

      අර අත් ඔරලෝසුවේ ඉන්න ඇත්තෙ කුකුල් පැටියෙක් මම හිතන්නෙ. ලොකු කුකුලෙක්ව අතේ බැන්දගෙන යන්න බෑනේ....!

      Delete
  52. මටත් නම් මස් කනවා කියන්නේ එච්චර අල්ලන දෙයක් නෙවෙයි..ඒත් කැම්පස් එකේ ඉද්දි ඕවා හොයා හොයා කන්න ගියොත් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න ඔය පිට රටවල් වල සුද්දෝ එහෙම මස් කනකොට කන්නෙ ඇල්ලලා නෙමෙයිනේ....! ඒ ගොල්ලෝ මස් කන්න හැඳි ගෑරප්පු සහ පිහි පාවිච්චි කරනවනේ....!

      Delete
  53. අපේ ගෙදර කුකුල් මස් හැදුවම මල්ලියි මායි දඟලන්නෙ drumsticks ගන්න. දෙතුන් පාරක් ඇවිත් කෑම බෙදා ගන්න ගමන් drumsticks හොයනකොට අම්ම කෑ ගහනව කුකුලට කකුල් දෙකයි තියෙන්නෙ කියල!!!

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නේ ඉතින් හැම ගෙදරකම තියෙන්න ඇති. අපේ ගෙදර මමත් එක්ක ළමයි 4යි. ඔය කකුල් දෙකට මරාගත්තෙ නැති එක විතරයි. ඇයි පීකුදු කෑල්ල ? පස්සෙ පස්සෙ අම්ම කලේ කකුල් දෙක කෑලි දෙක වෙන්න කැපුවා පොඩි වෙන්න. පීකුදු කෑල්ල පුන්චි පුන්චි කෑලි වලට කපලා දැමා. එතකොට උයනකොට ඒක හොද්දටම දියවෙලා යනවා....!

      Delete
  54. ගෙදර අනිත් අය නිසා මමත් මාළු මස් කෑවෙම නෑ කාලයක්..ඒත් මේ කොළඹ ආවට පස්සෙ ඉතින් ඕක එළවළුම හොය හොයා ඉන්න පුළුවන්ද ? කුකුළු මස් කෑම අතැරීමයි ආයි පටන් ගත්ත එකයි නම්..නියම සීන් එක..ආයි මස් කන්ඩ එපා උනොත් ආයි එලාම් මොරලෝසුවක් ගන්ඩ වෙයි වගේ..අපරාදේ තිබ්බ එක පරිස්සම් කර ගත්තෙ නැත්තෙ..

    ReplyDelete
    Replies
    1. ආහ්... ඒකයි මේ හේතුව දැන් කොළඹ පැත්තෙ මස් මාළු හිඟයකටයි මිල වැඩි වීමකටයි මුහුන දීලා තියෙන්නෙ...!

      Delete
  55. අනේ බං එක කාලයක් අර KFC වලට ගන්න පිහාටු නැති කුකුලො දැකල චිකන් කන එක අතෑරල හිටිය.... දැන් උඹ ආයි එකක් ඇදල ගත්ත... මෙහේ ඉතින් චිකන් නොකා ඉන්න ගියොත් සාම්බාරු තමා කන්න වෙන්නෙ....

    ....................

    දවසක් අපි කීප දෙනෙක් ෆුඩ් කෝට් එකකට ගිය වෙලාවක, කට්ටිය කන්නෙ මොනවද.. වෙජිටේරියන්ල ඉන්නවද කියල කතාව ආව... අපේ හද ගී පොතේ තිස්ස අයිය කියපි ඌ "චිකනේරියන්" කියල...

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත තමයි. මෙහේ ඉතින් චිකන් නොකා ඉන්නවා කියන්නෙ බඩගින්නෙ ඉන්න වෙනවා කියන එක තමයි....!

      මොන චික් ටේරියන් උනත් කෝ බං දැන් තිසා...? නෝ කතා නෝ සිනා....! කෝල් එකකට ආන්සර් කරන්නෙත් නෑනේ.....!

      Delete
    2. කන්න 'වෙජිටේරියන්' කුකුලෝ. එතකොට වැඩේ හරිනේ.

      Delete
  56. හලාල් කියන්නේ පට්ටම පට්ට බොරුවක්. කොහොම වුනත් කුකුල් මස් නම් නොකා ඉන්න තරමට හොදා. මාළු ගණන් වැඩි නිසා ගොඩක් දෙනා කුකුල් මස් වලට යොමු වෙලා.

    ReplyDelete
    Replies
    1. ආපහු මට කියන්න තියෙන්නෙ සහෝදර මුස්ලිම් ජනතාව හලාල් ආහාර අනුභව කිරීම ගැන කිසිම විවේචනයක් නොකල යුතුයි. බෞද්ධයන් විදිහට අපිට යම් විශ්වාසයක් තියෙනවා වගේම ඒක ඔවුන්ගේ ආගමික විශ්වාසයක්. අපි බෞද්ධයෝ විදිහට ඒකට ගරු කල යුතුයි. ප්‍රශ්නේ තියෙන්නෙ ඔවුන්ගේ විශ්වාසය ප්‍රකාරව ඔවුන්ට නියම හලාල් ආහාර ලැබෙනවාද කියන එකයි. වේශේෂයෙන් මහා පරිමාණ සත්ව ගොවිපොළවල් වලදි....!

      Delete
  57. මටත් ඕන එකක්.... හදලා දෙන දේ එපැයිනේ කන්න...

    ReplyDelete
    Replies
    1. ගැමියට මොනාද ඕනෙ කියන එක පැහැදිලිව කියලා නෑනේ....! ඔව් ඉතින්. පුංචි කාලෙදි අපි වෙජිටේරියන් හරි නොන් වෙජි හරි වෙන්නෙ අම්මලාගේ කැමත්ත අනුව තමයි.

      Delete
  58. මට දැන් තේරෙනවා දුමීගේ කට කහනේ ඇයි කියලා. :ඩී

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා කියමුකෝ බලන්න එහෙනම් මගේ කට කහන්නෙ මොකෑ කියලා.....?

      Delete
  59. මහා පරිමාන බ්‍රොයිලර් කුකුල් කම්හල් වල දී කුකුලාව stunt කරලා තමයි බෙල්ට් එකේ එල්ලන්නෙ. එතකොට බෙල්ල කපද්දි ගල් ගැහිලා ඉන්න නිසා වේදනාවක් නැහැ. හලාල් ක්‍රමයේ දී ආගම කියන එක සමඟ නහරයක් තමයි තියුණු පිහියකින් කපන්නෙ. එවිට ද අර සියදිවිනසා ගන්න අය වගේ වේදනාව නැතිව ලේ ඔක්කොම ගිහින් අඩපණ වෙලා මරණය කරා යන ක්‍රමයක් සිද්ධ වෙන්නෙ. හලාල් ක්‍රමයේ දී නහර වල ලේ කැටි ගැසීම වැළකෙන නිසා මස් කල් තබා ගැනීම ද පහසුයි. ලංකාවේ දී අල්ලා ගත්ත කුකුලාගේ බෙල්ල කැපුවාම කඳ දුවන එක මැරෙන්න කළින් සිද්ධවෙච්ච ප්‍රතිචාරයක් මිස පණ තියන නිසා වෙන ප්‍රතිචාරයක් නෙමෙයි. කුකුල් මස් නැති වුනාට unfertilized බිත්තරයක් සෑහෙන්න ඇති මිනිසා පෝෂණය කරන්නට. ඒත් විවිධත්වය හොයන අයට හැමදාම ලැබුනත් බිත්තරයක් සෑහෙන්නෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණි විස්තරයට. අපැහැදිළි තැන් දෙක තුනක් තියෙනවා.

      මොන ක්‍රමයෙන්ද කුකුළව "stunt" කරන්නෙ අර බෙල්ට් එකේ එල්ලන්න කලින්. මහා පරමාණෙන් කරනකොට ඒක කොච්චර ප්‍රැක්ටිකල්ද ?

      නහරයක් කැපුවහම වේදනාව නැති වෙන්නෙ කොහොමද ? සාමාන්‍යයෙන් ස්නායු වලින් දැනීම වේදනාව ගැන සංඥා අරගෙන යන්නෙ...?

      හලාල් ක්‍රමයේ දී නහර වල ලේ කැටි ගැසීම වැළකෙනවා කියන්නෙ මොන විද්‍යාත්මක පදනමකින්ද ?

      Delete
    2. මන් හිතන්නෙ කුකුළව ස්ටන්ට් කරන්නේ ඌව වතුරට දාලා වතුර දිගේ විදුලි ධාරාවක් යවනවා

      CSI වල තිබුනා කුකුළන්ව ස්ටන්ට් කරන තැනට මිනිහෙක් වැටිල මිනිහ මැරිල

      Delete
    3. දුමී,

      බෙල්ට් එකේ කකුල් දෙකෙන් එල්ලන පණ පිටින් ඉන්නා කුකුලා එතැන ම ඇති පොඩි ආවරණයක් ඇතුලතින් යද්දි ලුණු වතුර මිශ්‍රණයකින් ස්ප්‍රේ වී උගේ හිස ගෑවෙන යකඩ පටියේ දුවන විදුලි ධාරාවෙන් තමයි stun වෙන්නෙ. ඊට පස්සෙ පිහියෙන් බෙල්ල කපනවා. stun වෙච්ච කුකුලෙක්ව බෙල්ල කපන්න කළින් බෙල්ට් එකෙන් ගලවලා බිම තිබ්බොත් ආයෙත් සිහිය ඇවිත් නෝමල් වෙනවා. විදුලි පහර හදලා තියෙන්නෙ වැදිච්ච ගමන් සම්පූර්ණයෙන් සිහිය නැතිවෙන්න. ඒත් හදවත ගැහෙන එක නතරවෙන්නෙ බෙල්ල කැපුවාම. දවසකට මෙවැනි කම්හලක උදේ වැඩ මුරය හා රාත්‍රී වැඩ මුරය දී ලක්ෂ දෙකක් පමණ කුකුලන්ගේ බෙල්ල කැපෙනවා.

      වේදනාව නැත්තටම නැහැයි කියන්න නම් බැහැ හලාල් ක්‍රමයේ දී. ඒත් ලේ අඩුවේගන යද්දි අප්‍රාණික වෙන නිසා දැනෙන එක අඩුයි කියලයි කියන්නෙ. හැබැයි ඉතින් කුකුලෙක්ට කතා කරන්න පුලුවන් වුනා නම් තමයි හරියට ම ඒක දැනගන්න ලැබෙන්නෙ!!! Pouillaude-Bardon, Sylvie (1992). L’abattage rituel en France (The ritual slaughter in France) (Veterinary Ph.D. thesis). National Veterinary College of Toulouse (France). The jugular vein is cut in a way that cuts off oxygen to the brain and pain receptors කියලා තමයි කියන්නෙ.

      ලේ කැටි ගැසීම වැළකෙනවා කියන්නෙ මේ නිසා: http://en.wikipedia.org/wiki/Exsanguinate

      Dr V K Modi, head of department of meat technology at the Central Food Technology Research Institute in Mysore, India: http://articles.timesofindia.indiatimes.com/2012-03-27/food-reviews/30675282_1_halal-meat-slaughter-animal

      මිනිස්සු මරාගෙන මැරෙන ලෝකයක ඒ නිසා පැත්තක ඉන්න ළමයි හා කාන්තාවන් මිය යද්දි කුකුලෙක් මරද්දි දැනෙන වේදනාව ගැන විවාද වීම ඊශ්‍රායල පලස්තීන යුද්ධය ගැන කතා කරනවා වගේ කියලා මට හිතෙන්නෙ.

      ****

      කවුළුව,

      CSI ප්‍රබන්ධයේ තිබ්බාට මහා පරිමාණ කම්හලක දී එහෙම stun කරන තැන කුකුලෙක් යන තරමට වූ ආවරණයක් තුලින් දුවනා වූ බෙල්ට් එකේ විදුලිය දුවන නිසා මිනිහෙක්ගේ පය ලිස්සා ගිහින් ඒකේ ඇතුලට අත දාලා කරන්ට් එක වද්දා ගත්තොත් මිසක් ඇතුලකට වැටෙන්න තැනක් නැහැ. හැබැයි බෙල්ල කැපු කුකුලාගේ පිහාටු ඉවත් කරන්න දාන උණුවතුර බොයිලේරුවට වැටුනොත් නම් මිනිහෙක් මැරේවි කියලා හිතන්න පුළුවන්.

      Delete
    4. http://www.youtube.com/watch?v=jIr-vsgp6Ig

      Delete
    5. ගොඩක්ම ස්තූතියි අරුණි මේ පැහැදිලි කිරීමට. නොදන්න දෙයක් ඉගෙන ගත්තා.

      Delete
  60. කන්න ඕන අය කබරගොයා තලගොයා කරගෙන හරි කනවා.. මාත් කාලෙක ඉඳන්, මස්, මාළු, කරවල, බිත්තර ආදී සියල්ලක්ම අවම වශයෙන් තමයි පාවිච්චි කරන්නේ.. හැම විටම බලාපොරොත්තු වෙන්නේ නිර්මාංශ ආහාර වේලක්.. ඒත් බත් පතට මාංශ කලවං වුණැයි කියලා අහක දාන්නේ නෑ.. ඒක හැමෝටම පහසුයි.. සම්පූර්ණයෙන් නිර්මාංශ වුණාම කෑම හදන අය අමාරුවෙ වැටෙනවා.. ඒ වගේම කණක් ඇහිලා ඉන්න නෑ.. මස් කන්න, බිත්තර කන්න, නැත්නම් ඇඟ දුර්වල වෙනවා.. වගේ අදහස් වලින්..

    ReplyDelete
    Replies
    1. මම ඉන්න දේශයේ හැටියට නම් ඉතින් වැඩි හරියක්ම කන්න වෙන්නෙ චිකන්, ලෑම්බ් හරි මට්න් හරි තමයි....! ඔන්න කවුරු හරි යාළුවෙක්ගේ බිර්ත්ඩේය් එකක් හරි වෙනයම් පාර්ටියක් හරි උනත් කරන්නෙ කොහේ හරි පබ්ලික් පාර්ක් එකකට සෙට් වෙලා බාබකිව් පාරක් දාන එක.....!

      Delete
  61. මම බයිබැක් විදියට බ්‍රොයිලර්ස් හැදුව.දවස් හතළිහක් පිරුනම සත්තුදෙදාහක් කම්පනියට අරංයනව.දෙතුන් පාරකට පස්සෙ අපිවත් එක්ක ගියාබලන්න.එතැනදී අයිය කියපු විදියට තමාමරන්නෙ.එකෙක් කුකුළාගේ බෙල්ලෙන් අල්ලගන්නව.අනික පිහිය තියල අදිනව.ඊට පස්සෙ ටැන්කියකට දානව.සතා දඟලනවා.උන් දෙන්නට දෙදාහෙම බෙලිකපන්න පැයයිගියෙ.ඊටපස්සෙ මම ඕනකමින්ම බංකොලොත් උනා.

    ReplyDelete
    Replies
    1. විමුක්ති,

      කුඩා පරිමාණයේ කුකුල් ගොවිපලකට මේ වගේ stun පිහියක් ගත්ත නම් වැඩේ වැඩිය දැඟිලිල්ලක් නැතිව කරගන්න තිබ්බා.

      http://www.cornerstone-farm.com/equipment/poultry-accessories-chicken/stun-knife/stun-knife

      Delete
    2. මම කලේ බයිබැක්.ඒක ලංකාවේ ප්‍රධාන සමාගමක්.නමුත් අර විදියට තමා මරන්නෙ.දැන්නම් වෙනස් වෙලා ඇති.ඔයකිව්වෙ 2004 තත්වේ..

      Delete
  62. අද මං වීඩියෝවක දැක්කා Kentucky Fried Cruelty කියලා. ඔය අකුරු තුනේ බිරියානි වලට අර කුකුල්ලු බෙල්ට් වල යවන හැටි එහෙම පෙන්නනවා. එක අතකට ඒක වැරදිත් නෑනොවැ.

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව... නැත්නම් කොහොමෙයි හාවියෝ කුකුල් මස් කන්නේ.....?

      Delete
  63. දානය හරිම හොඳයි ඒ උනාට කුකුල්ලු දානය නම් ටිකක් අප්සෙට් වගේ නේද

    ReplyDelete
  64. මමත් නිර්මාන්ශිකයි. හැබැයි සම්පූර්ණයෙන්ම නෙවෙයි. මොඩ් එකට එහෙම නෙවෙයි. අප්පිරියාව නිසා. ඒත් ඉතින් බිත්තර වත් නොකා හිටපු මට බිත්තර කන්න උණා දුව හම්බවෙන්න ඉන්න දවස්වල... ඩොක්ටර්ස්ලා හැම වෙලාවෙම මට කියන්න ගත්තා කැල්සියම් මදි.බබාට පෝෂණෙත් මදි මස් මාලු නොකෑවාම කියලා.ඉතින් අමාරුවෙන් හරි බිත්තර කන්න පටන් ගත්තා.කොහොමත් ඉතින් මම කේක් වගේ දේවල් කනව.බිත්තර දානවා කියලා කේක් කන එක නම් අතෑරියෙ නැහැ.... :D ඒත් මස් මාළු කරවල හාල්මැස්සෝ උම්මලකඩ වගේ දේවල් කන්න නම් හිත හදා ගන්න බැරි උණා.
    මට මස් මාළු කන්න බෑ වගේම උයන්නත් බෑ අප්පිරියාව නිසා.

    ReplyDelete
  65. ගෑනු උදවියත් සත්තු මරනවද මම එහෙම අහල තිබුනට මට විශ්වාස කරන්න බෑ.එක්කෙනෙක් දෙන්නෙක් මට කියල තියනව මම විශ්වාස කලේ නෑ

    ReplyDelete
  66. මම හරක්, කුකුලො ඌරො මරණ එක දැකල තමා තුන් ජතියම කන එක නැවැත්තුවේ, ඒ සතෙක් මරණ එක දැකල තවත් මස් කන්න පුලුවන් නම් ඒ මිනිස්සු කිව්වට මනුස්ස ආත්මයේ ඉපදුන තිරිසනුන් විතරයි, දැන් කාට හරි අහන්න පුලුවන් කරෝල මාලු කන එක නවත්තල නැත්තෙ උන් මරණව දැකල නැති නිසාද කියල, නෑ ඒක නෙවෙ අපේ අම්මගෙන් බේරෙන්න බෑ මොනවත් කන්නෙ නැති එකේ මාළු වත් කන්න කියල, ඒ ඉතින් අම්මලගේ දරු සෙනෙහසටනේ, මම එත් එකත් කන එක නවත්තන්න ඉන්නෙ, හැමොඉම නැවත්තුවොත් අමුතුවෙන් සත්තුන්ට අභය ඩ්ජ්හානය දෙන්නෙ ඕනි වෙන්නෙ නෑනෙ, එත් ඉතින් හම්බයොත් එක්ක තමා බැරි, මුන්ට සත්තු පේන්නෙ උන්ට කන්නම හැදිච්ච ජාතියක් විදිහටනෙ,

    ReplyDelete

Related Posts with Thumbnails